ලෝක ලාදුරු දිනය හෙට

ලෝක ලාදුරු දිනය හෙට

ලෝක ලාදුරු දිනය හෙට (30) යි. ලාදුරු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණ වෙයි. ලෝක ලාදුරු දිනය නිමිත්තෙන් පැවැත්වෙන ජාතික වැඩසටහන පොලොන්නරුව මැදිරිගිරිය දියසෙන්පුර විහාරස්ථානයේදී චර්ම රෝග සායනයක් ලෙස අද (29) පවත්වයි. ඊට අමතරව එම දිනය නිමිත්තෙන් හැඳල ලාදුරු රෝහලේ දැනට නේවාසිකව සිටින රෝගීන් සමඟ එක්ව කතාබහ කිරීමේ සහ එම රෝහලේ ඓතිහාසික තොරතුරු සොයා බැලීමේ නිරීක්‍ෂණ චාරිකාවක් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ මෙහෙයවීමෙන් ඊයේ (28) සිදු කැරිණි.

ලාදුරු රෝගය ශ්වසන මාර්ගයෙන් බෝ වන නමුත් එය ඉතා පහසුවෙන් බෝ නොවන රෝගයක් බව විශේෂ කරුණකි.  එනිසා ලාදුරු රෝගීන් සමාජයෙන් කොන් කිරීම නොකළ යුත්තකි. සෑම පුද්ගලයන් දස දෙනකුගෙන් නව දෙනෙකුටම ලාදුරු රෝගයට එරෙහි ස්වභාවික ප්‍රතිශක්තියක් ඇත. එනම් ජනගහනයෙන් සියයට අනූවකට ම ලාදුරු රෝගයට එරෙහි ස්වභාවික ප්‍රතිශක්තියක් තිබේ. මෙම සියයට අනූවක පිරිස් බෝ වන ලාදුරු රෝගය සහිත රෝගියකු ඇසුරු කළ ද රෝගය බෝ නොවේ.

එසේම ලාදුරු රෝගීන් දස දෙනකුගෙන් අට දෙනෙක් ලාදුරු රෝගය බෝ නොකරන අය වෙති. එම බෝ නොවන වර්ගයේ ලාදුරු රෝගියකු වුවද ප්‍රතිකාර ආරම්භ කළ පසු එම රෝගියාගෙන් අන් අයට රෝගය බෝ නොවේ. ස්ත්‍රී හෝ පුරුෂ භේදයක් නොමැතිව මේ රෝගය වැළඳීමේ ප්‍රවණතාව පවතී. නූතන බහු ඖෂධ ප්‍රතිකර්ම ක්‍රමය නිසා ලාදුරු වැළඳුණු අයකු නිට්ටාවටම සුව කළ හැකිය. මේ රෝගය මුල් අවස්ථාවේ ම හඳුනා ගැනීමෙන් ලාදුරු නිසා ඇති වන විකෘතිතාවයන් වළක්වා ගත හැකි වෙයි. ප්‍රතිකාර ගන්නා පුද්ගලයකුට සාමාන්‍ය ජීවන රටාව එලෙසින් ම ගත කළ හැකි ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා