ශාන්ත ජෝන් මාළු වෙළෙඳපළ අවුල ලිහෙයි

දිනමිණ පුවත ඵලදරයි

ශාන්ත ජෝන් මාළු වෙළෙඳපළ අවුල ලිහෙයි

’පිටකොටුව ශාන්ත ජෝන් මාළු වෙළෙඳ පළ පරිපාලනය දුර්වල වෙලා’ මැයෙන්, 2010.12.29 දින දිනමිණ කළ හෙළිදරව්ව පුවත්පතේ පළවී පැය 24ක් ගතවීමට මත්තෙන් කොළඹ නගර සභාවේ පශු වෛද්‍ය නිලධාරියකු පිටකොටුව මාළු වෙළෙඳ පළ පරීක්ෂාවට පැමිණ අනවසර ස්ථානවල විකිණීමට තබා තිබූ මාළු කිලෝ 70 ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ වෛද්‍යවරයා එහි පැමිණ ඇත්තේ දහවල් 11 ට පමණ වන අතර දහවල් කාලයේ මෙසේ නීති විරෝධී ක්‍රියා සිදුවන්නේ නම් මාළු කඩයෙහි විශාල තදබදයක් ඇති උදේ 6 ත් 8 ත් අතර කාලය තුළ කෙතරම් නීති විරෝධී ක්‍රියා වේදැයි සිතා බැලීම වටිනා බව නම සඳහන් නොකළ මාළු වෙළෙන්දෙක් පැවසීය. දිනමිණ පුවත පළවූ දාට පසුදින පැමිණ අනවසර ස්ථානවල මාළු අලෙවිය වටලෑම් කළත් ඊට පසු කිසිවෙක් මෙහි සිදුවන දේ සොයා බැලීමට නොපැමිණි බවද මාළු වෙළෙන්දෝ කියති.

පිටකොටුව මාළු වෙළෙඳ පළේ අක්‍රමිකතා නැති කර දූෂිත පාලනය යහපත් පාලනයකට නතු කිරීමට උදේ 6 ත් 8 ත් අතර මෙහෙයුමක් කර බලන්නැයි ද මාළු වෙළෙඳුන් කොළඹ නගර සභාවේ පශු වෛද්‍ය දෙපාර්තමේන්තුවට දැනුම් දී සිටී. එම කාලය තුළ මාළු වෙළෙඳ පොළ තුළ ඇවිදගෙන යාමටවත් බැරි තරමට අනවසර ස්ථානවල හා ගමන් මාර්ගවල මාළු තැන්පත් කර විකුණන අතර පාරිභෝගික ගමන් මාර්ගය හිතවතුන් කිහිප දෙනෙකුට සොච්චම් මුදලකට තාවකාලික පැවරුම් කර ඇති නිලධාරීන්ට මෙහි රාජකාරියක් කිරීමට තබා වෙළෙඳ සැල තුළට පැමිණීමටවත් නොහැකි බව තොග මාළු කඩ හිමියෙක් ‘දිනමිණ’ට පැවසීය.

“දිනමිණ පත්‍රයෙහි පළවූ වාර්තාව ඉතා සත්‍ය වාර්තාවක්. ඒ වාර්තාව දැකල එක දවසක් මද්දහනෙ පශු වෛද්‍යවරයෙක් ඇවිත් කළේ විහිලු සහගත වැඩක්. ඔය වගේ විහිලු දේ නොකර ඒ නිලධාරීන් උදේ 8 ට ඉස්සරවෙලා ඇවිත් නියම ලෙස රාජකාරියක් කරන ලෙස ඉල්ලා සිටින්නට කැමැතියි” තවත් මාළු වෙළෙඳ සැලක හිමිකරුවකු සඳහන් කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා