කලාපයට උචිත වර්ග තෝරා ගන්න

කලාපයට උචිත වර්ග තෝරා ගන්න

ඹ වගාවෙන් ඉහළ අස්වැන්නක් ලබා දෙන්නේ අඩු වාර්ෂික වර්ෂාපතනයක් ඇති ප්‍රදේශවලය. නමුත් වාර්ෂික වර්ෂාපතනය අධික තෙත් කලාපයේද අඹ සාර්ථකව වගා කළ හැකියි.

ජලය හොඳින් බැසයන ගැඹුරු පසක් අඹ වගාවට සුදුසු වුවද, ඉතා සරුසාර පසක් අඹ වගාවට අවශ්‍ය නොවේ. නමුත් අඹ පැළ සිටුවා පළමු වසර කිහිපය තුළදී හොඳ වර්ධනයක් ඉතා ඉක්මනින් ලබා ගැනීම සඳහා සාරවත් පසක් ලබාදීම ප්‍රයෝජනවත් වේ.

තමන් වාසය කරන ප්‍රදේශය හෝ කලාපය අනුව අඹ වගා කර ගැනීම සඳහා ගොවීන් උනන්දු විය යුතුයි. කෘෂිකර්ම පලතුරු භෝග පර්යේෂණ හා සංවර්ධන ස්ථානයේ ස්ථානභාර පර්යේෂණ නිලධාරි ආචාර්ය සුභ හීන්කෙන්ද මහතා සමඟ අඹ වගාව සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය කරුණු මොනවාද යන්න පිළිබඳ කළ සාකච්ඡාවකි.

ඒ ඒ කාලය අනුව ඊට සුදුසු අඹ ප්‍රභේද තෝරා ගැනීමෙන් සාර්ථක අඹ වගාවක් මෙන්ම සාර්ථක අස්වනු ද ලබාගත හැකිය.වියළි කලාපීය පාරිසරික තත්ත්වයන්ට ගැළපෙන අඹ ප්‍රභේද තෙත් කලාපීය වර්ෂාව අධික පරිසරවලට සුදුසු නොවේ. ඊට හේතුව එම ප්‍රභේදවල පරාගනය දුර්වල වීමයි. වර්ෂා සමයේදී මල් පිපීම ඊට හේතුවයි.

එසේම විවිධ කායික විද්‍යාත්මක ගැටලු මතු කරමින් කදේ පොත්ත පුපුරා යුෂ ගලා යාමෙන් ගස දුර්වල වීමත් විවිධ රෝග වැඩීමට සුදුසු පරිසර තත්ත්ව ඇතිවීමත් සඳහන් කළ හැකිය. මේ නිසා ක්‍රමයෙන් අඹ ගස් දුර්වල වී මල් පිපීම සහ ඵල දැරීම දුර්වල වේ.

ඒ අනුව ඒ ඒ කලාපවලට නිර්දේශිත අඹ ප්‍රභේද පමණක් වගා කිරීම වැදගත්ය. එවිට ගුණාත්මක බවින් පිරි ඉතා හොඳ පලදාවක් ලබාගත හැකිය. කර්තකොලොම්බන්, විලාඩ්, වෙල්ලෙයිකොලොම්බන් මල්වාන ගිරා අඹ, බෙටි අඹ, කොහු අඹ, ආදී වශයෙන් අඹ වර්ග රැසක් අපේ රටේ තිබේ.

මේවා අතරින් තෙත් කලාපයේ වගා කිරීමට සුදුසු අඹ ලෙස තෝරා ඇත්තේ, වෙල්ලෙකොලොම්බන්, දම්පර, ගිරා අඹ, පැපොල් වැනි අඹ වර්ගය.වියළි කලාපය හෙවත්, මොණරාගල, අනුරාධපුර, පොළොන්නරුව, හම්බන්තොට ආදී ප්‍රදේශවල වගා කිරීම සඳහා ඉතා සුදුසු අඹ වර්ගයන් ලෙස ගිරා අඹ කර්තකොලොම්බන්, නීලම්, දම්පර ආදී අඹ වර්ග සුදුසු වේ.

අතරමැදි කලාපය සඳහා බෙටි අඹ Tom Ejc අඹ සහ වියළි කලාපයේ වගා කිරීමට සුදුසු සියලුම අඹ වර්ග වගා කිරීමෙන් සාර්ථක ඵල නෙළා ගත හැකිය. Tom Ejc අඹ මෙරට වගා කරනුයේ මෑත භාගයේ සිටය. එම අඹ අපනයනයට සහ වෙළෙඳ ව්‍යාපාරය සඳහා ඉතා හොඳ අඹ වර්ගයකි. සාමාන්‍ය ලෙස අඹවල තත්ත්වය පිළිබඳ තොරතුරු කැටිකොට මෙසේ දැක්විය හැකිය.

වෙල්ලෙයි කොලම්බන්

ඉතාම ජනප්‍රිය ප්‍රභේදයක් වන මෙම අඹ වර්ගය බහු කළලතාව පවතින නිසා බීජ පැළවලින්ද ප්‍රවාරණය කර ගත හැකි වේ. විශාලව පැතිරෙන ශක්තිමත් ගසක් වන මෙහි පත්‍ර දාරය රැලි සහිතය. පොකුරක ගෙඩි 2-3 වන අතර එක් ගෙඩියක් ග්‍රෑම් 300-400 පමණ බරය. ඉදෙන විට පොත්ත කහවන් කොළ පැහැය ගනී. මාංශලයේ කෙඳී අඩුය. මිහිරිය. ඵල හටගන්නේ, අප්‍රේල් - ජූලි කාලවලදීය. ගසේ වයස අවුරුදු 10 ඉක්ම වූවද හොඳීන් වැඩුණු ගසකින් වසරකට ගෙඩි 1000-1500 ලබාගත හැකිය.

දම්පර

මෙයද බහු කළලතාව සහිත බැවින් බීජ පැළවලින්ද ප්‍රචාරණය කරගත හැකිය. දිගටි අණ්ඩාකාර ඵල ඉදෙන විට දීප්තිමත් රන්වන් තැඹිලි පැහැයට හැරේ. මාංශලය දීප්තිමත් රන්වන් රන්වන් කහ පැහැයට හැරෙන අතර ටර්පන්ටයින් සුවඳ වහනය වේ. ගෙඩියක බර ග්‍රෑම් 300-350 පමණ වේ. අප්‍රේල් - ජූලි මැද කාලයේ ඵල දරන දම්පර අස්වැන්න 1000-1500 වේ. ගසේ වයස වැඩි වන විට අස්වැන්න ඉතා විශාල ලෙස වැඩිවේ.

ගිරා අඹ

ඉතා වැඩි ප්‍රතිශතයකින් යුත් බහු කළලතාව නිසා බොහෝ විට බීජ පැළවලින්ද බෝ කර ගත හැකිය. පැතිරී වැඩෙන විශාල ශක්තිමත් ගසක් බැවින් ක්‍රමවත්ව අස්වනු ලැබේ. ග්‍රෑම් 200-250 බර ඇති ගෙඩියේ විශේෂිත ලක්ෂණය වන්නේ් කෙළවර හොටයක් ලෙස නැමී තිබේ. ඉදෙන විට කහවන් කොළ පැහැයට හැරේ. මාංශලය ඉදෙන විට රන්වන් කහපාටට හැරෙයි. මද වශයෙන් ඇඹුල් රසැති ගිරා අඹ ඉතා මිහිරියි. පළතුරු මැස්සාගේ හානියට ගොදුරු වීම ඉතා අඩු අතර අස්වැන්න වරකට ගෙඩි 700-1200 වේ. ඵල වාරය අප්‍රේල් ජූලි වාරයේ මැද කාලයයි.

නීලම්

සාමාන්‍යයෙන් අවුරුද්දකට දෙවරක් ඵල දරන මෙම ප්‍රභේදයේ ගස් මධ්‍යම ප්‍රමාණයේ උසකට වැඩෙන අතර ශක්තිමත්ව අතු විහිදුවයි. වසරක් පාසා විශාල අස්වැන්නක් ලබාදෙයි. රැළි සහිත දාරයක් ඇති පත්‍ර මධ්‍යම ප්‍රමාණයෙන් යුක්තයි. ඕවලාකාර හැඩති අඹ ගෙඩිය ඉදුනද වැඩි කාලයක් තබා ගත හැකිය. පලතුරු ගෙඩි 1200-1500 වැවෙන අතර අප්‍රේල් - ජූලි අග සහ නොවැම්බර් ජනවාරි මැද ඵල හට ගනී.

කොහු අඹ

බහු කළලාතාවය අධික බීජ නිපදවන අතර ග්‍රාහක පැළ නිපදවීම සඳහා ඉතා හොඳ ප්‍රභේදයකි. විශේෂයෙන් වගා නොකළද ඉතා පහසුවෙන් වැඩේ. ශක්තිමත්ව ඉහළට වැඩෙන විශාල ගසක් බැවින් අස්වැන්න වරකට ගෙඩි 2000- 3000 ක් පමණ වන අතර අප්‍රේල් ජූලි වාරය පුරාම ඵල දරයි.

වල් අඹ

බහු කළලතාවය සහිත බීජ නිපදවන වල් අඹ ප්‍රභේදයද හොඳ ග්‍රාහකයකි. විශේෂයෙන් වගා නොකරන අතර ස්වභාවිකව ඉතා සරුවට විශාල ගසක් ලෙස වැඩෙයි. විශාල අස්වැන්නක්, ලබා දුන්නද මාංශලයේ කෙඳි හා අම්ල ප්‍රමාණය වැඩිය. ගසක ගෙඩි 2000-3000 ක් හට ගනී. බොහෝ අඹ ප්‍රභේදවල ඒවාට අවේණික වූ උසස් ගුණාත්මයක් රසයක් හා සුවඳක් ඇත.

එවැනි අඹ ඵල ලබා ගැනීම සඳහා අඹ පැළයේ සිට ඉතා හොඳින් අඹ ගස වගා කළ යුතුය. මේ සඳහා මූලිකව හොඳ තත්ත්වයේ අඹ පැළ සොයා ගත යුතු අතර පැරණි අඹ ගස් කප්පාදු කොට පොහොර යොදා පෝෂණය කළ යුතුය. හොඳ අඹ පැළයක් යනු කුමක්ද යන්න හඳුනා ගත හැකි හොඳම මාර්ගය වන්නේ කහපාට ලේබලයක් සහිත පැළයක් වීමයි. මේ පිළිබඳ සියලු තොරතුරු ගන්නෝරුව කෘෂිකර්ම පළතුරු භෝග පර්යේෂණ හා සංවර්ධන ස්ථානයෙන් ලබාගත හැකිය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා