ගොවිතැනට ශක්තියක් වූ පොහොර සහනාධාරය

ගොවිතැනට ශක්තියක් වූ පොහොර සහනාධාරය

සාම්ප්‍රදායික කෘෂිකර්මය මත පදනම් වූ ආර්ථිකයකින් යුත් ශ්‍රී ලංකාව වර්තමානයේ ස්වයංපෝෂිතභාවය ඉක්ම ගිය අතිරික්ත වී නිෂ්පාදනයක් කරා රැගෙන යෑමට රජය ලබා දුන් පොහොර සහනාධාරය ඉවහල් විය.

වසර 2005 නොවැම්බර් 17 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයගත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ජනතාව හමුවේ තැබූ ප්‍රතිඥා මහින්ද චින්තන වැඩපිළිවෙළට අනුව යමින් එලෙසම ඉටු කරමින් පොහොර සහනාධාරය ක්‍රියාත්මක කෙළේය. එදා වසර 2005 පොහොර සහනාධාරය ලෙස රජය වැය කළ මුදල රුපියල් මිලියන 6285.50 කි.

මෙලෙස බලයට පත් වහාම පොහොර සහනාධාරය ක්‍රියාත්මක කිරීමට රජය, සිත යොමු කළේ කෘෂිකර්මාන්තය, ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට 70 ක් පමණ වන ග්‍රාමීය ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය ලෙස සැලැකෙන නිසාය.

 කොළඹින් දුර බැහැර ඈත පිටිසර ගොවිබිම්වල ජනතාවට ස්වශක්තියෙන් නැඟී සිටීමට ඔවුහු ශක්තිමත් ආර්ථික පසුබිමක උරුමකරුවෝ බවට පත් කිරීමට, පොදුවේ අප රට දියුණු කිරීමට අනිවාර්යයෙන් ම රටේ කෘෂිකර්මාන්තය නැංවිය යුතුමය. ඒ අදහස පෙරදැරිව පළමුව වී ගොවිතැනට පොහොර සහනාධාරය ලබා දීමට රජය ක්‍රියා කෙළේය.

පොහොර සහනාධාරය ලබාදීමට පෙර වසර 2000 දී හෙක්ටයාර් 8,78,000 ක පැතිර තිබූ වී වගාවෙන් ලැබූ සාමාන්‍ය වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 2.86 ක් විය. එසේ වූ හෙයින් සමස්ත දේශීය අවශ්‍යතාවය සැපැයීමට සහල් මෙට්‍රික් ටොන් එක්ලක්‍ෂ දසදහසක් පිටරටින් ගෙන්විය යුතුව තිබුණි.

වසර 2005 සිට 2009 දක්වා කාලසීමාව තුළ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 3.13 සිට 3.25 දක්වා පරාසයක දෝලනය වෙමින් අප රටට සහලින් ස්වයංපෝෂිත මට්ටම කරා ළඟාවීමට හැකි විය.

වසර 2010 දී වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 4 ඉක්මවමින් ආරක්‍ෂිත තොගය ලෙස මාස දෙකක සහල් අවශ්‍යතාවය පවත්වා ගැනීමට සහ මෙට්‍රික් ටොන් ලක්‍ෂයක සහල් අතිරික්තයක් පවත්වා ගැනීමට රට සමත් වීය. පොහොර සහනාධාරය ලබාදීම මගින් වී නිෂ්පාදනය ඉහළ නැංවීම, 2007 වසරේ සිට සෑම කන්නයකදීම වී වල සහතික මිල කිලෝග්‍රෑම් 1 කට රුපියල් 28 – 30 අතර විය.

වසර 2006 දී වී වලට ලබා දුන් පොහොර සහනාධාරයට රජය වැය කළ මුදල රුපියල් මිලියන 10,696 කි. එය 2007 දී 10,167 කි. 2008 දී වැය කළ මුදල රුපියල් මිලියන 24,382 කි. වසර 2009 දී රුපියල් මිලියන 23112 ක් ද, 2010 දී රුපියල් මිලියන 22,344 ක් ද, වසර 2011 දී රුපියල් මිලියන 36,960 ක් ද, පොහොර සහනාධාරයට රජය මුදල් වැය කොට තිබේ.

මෙලෙස වසරින් වසර පොහොර සහනාධාරයට රජය මුදල් වැඩි වශයෙන් වැය කළත් කිලෝග්‍රෑම් 50 පොහොර මිටියක් රුපියල් 350/- ක තරම් මිලකට ගොවි ජනතාවට ලබාදීම අතනොහැරීමට රජය වගබලා ගෙන තිබේ. දිනෙන් දින ලෝක වෙළෙඳපොළේ යූරියා, ටී. එස්. පී, එම්. ඕ. පී. වැනි පොහොර මිල ඉහළ ගියත් රජය ඒ වියදම දරාගනිමින් ගොවි ජනතාවට සහනය ලබාදීමට ක්‍රියා කළේ, එය කරදරයක් හෝ වැය බරක් හෝ ලෙස නොසිතා “අනාගත ආයෝජනයක්” ලෙස කල්පනා කර බලමිනි.

රජය වී වලට ලබා දුන් පොහොර සහනාධාරය සලකා බලන විට එය වී කිලෝ එකක් නිෂ්පාදනය කිරීමට රුපියල් 6.34 ක් ලෙස ගණන් බලා තිබේ. වී වලට රජය සියයට 90 ක පොහොර සහනාධාරයක් ද, එළවළු හා අනෙකුත් බෝගවලට සියයට 65 ක සහනාධාරයක් ද රජය ලබා දේ.

මේ සියලු සහනාධාර ලබා දෙමින් ගොවිතැන නැංවීමට ක්‍රියා කරන රජය ඉදිරියේදී රසායනික පොහොර භාවිතයෙන් තොරව කොම්පෝස්ට් පොහොර වැඩි වශයෙන් භාවිත කරන ගොවිතැනක් කරා ලාංකීක ගොවි ජනතාව රැගෙන යෑමට කටයුතු යොදා තිබේ. එය පොහොර සහනාධාරයට වැය කරන අධික වියදම අඩු කිරීමටත්, වස විෂවලින් තොර නැවුම් ආහාර ද්‍රව්‍ය ජනතාවට ලබාදීමටත් හැකි වේ යැයි අරමුණ ඇතිව ක්‍රියාත්මක කරන්නකි.

අතිරික්ත සහල් අපනයනය කිරීමට දකුණේ, රජරට, නැඟෙනහිර හා උතුරේ අපනයන කලාප 4 ක් පිහිටුවීමට රජය මුදල් වෙන්කොට ඇත. ඊට අමතරව උසස් බීජ, පසු අස්වනු තාක්ෂණය ගොවි ජනතාවට හඳුන්වා දීමට පියවර ගෙන ඇත. මේ සියලු උත්සාහයන්ගේ අවසාන ඉලක්කය අතමිට සරු වූ ගොවි පරපුරක් බිහිකිරීමයි. ඒ පැතුම ඉටුවන බව අපට නම් සැක නැත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා