ඔබේ ගෙවත්තෙන් මී පැණි ලබා ගනිමු

ඔබේ ගෙවත්තෙන් මී පැණි ලබා ගනිමු

තා විශිෂ්ට ඖෂධ ගුණයන්ගෙන් පිරි මී පැණිවලට ආයුර්වේදයේ ප්‍රමුඛස්ථානයක් හිමි වී තිබේ. එසේම ආහාර සංරක්ෂණයෙහිලා ඉතා වැදගත් කාර්යභාරයක් මී පැණිවලින් ඉටුවේ. එසේම හොඳ ආදායම් මාර්ගයක් ලබාදීමට මී පැණිවලට පුළුවන.

එබැවින් ගෙවත්තේ මී මැස්සන් ඇති කිරීම විනෝදයට මෙන්ම ආදායමක් ලබාගැනීම සඳහාත් එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීම සඳහාත් සිදුකළ හැකිය. මී මැසි ගහණයට අයත් මී මැසි වර්ග තුනක් ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ දක්නට ලැබේ. බඹරු, දඬුවැල් මැස්සා සහ මී මැස්සා මෙම ප්‍රධාන වර්ග තුනය.

මීට අමතරව සුළු පැණි ප්‍රමාණයක් නිපදවන කන මී මැස්සා ද වේ. එළිමහනේ තනි වදයක් බඳින හා තැනින් තැන කලින් කලට සංක්‍රමණය වීමේ ස්වභාවික ගති පැවතුම් ඇති බැවින් බඹරා ගෘහස්ථව ඇති කළ නොහැකිය. එසේම බඹරු දරුණු සතෙකි. දඬුවැල් මැස්සා ද බඹරා මෙන් කලින් කල තැනින් තැන සංක්‍රමණය වන්නෙකි. අඩඅඳුරු ස්ථානවල පිහිටි පහත් අතුපතර මත වදයක් බඳී. එය කුඩා වදයකි. මෙම පැණි උසස් පැණියක් ලෙස සැලකුවද ලබාගත හැකි පැණි ප්‍රමාණය ඉතා සුළුය.

මී මැසි වර්ග

අප ඇති කරන මී මැස්සා ඉහත සඳහන් මී මැසි වර්ග දෙකටම වඩා හාත්පසින්ම වෙනස් ජීවන රටාවක් ගත කරන සතෙකි. සම්පූර්ණ අඳුරු ස්ථාන ප්‍රියකරන මෙම කෘමියා එක් ස්ථානයක බොහෝ කාලයක් රැඳී සිටිමින් එකිනෙකට සමාන්තරව ක්‍රමනුකූල ලෙස වද කීපයක්ම ගොඩ නගති. ගස් බෙන, තුඹස්, ගල්වැටි හෝ එවැනි ඉඩ පහසුකම් ඇති අඳුරු ස්ථානවල තම ජනපද පිහිටුවා ගනී. මෙම ජීවන රටාව නිසාම මී මැස්සන් ගෘහස්ථව ඇති කිරීමට පුළුවන.

මී මැසි ගහනයට අයත් නොවූවද කන මී මැස්සාද සුළු පැණි ප්‍රමාණයක් නිපදවන වැදගත් සතෙකි. පැණි නිපදවීමේලා ආර්ථික වටිනාකමක් නොමැති වුවද බෝග පරාගනයෙහිලා ගොවියාට ඉතාමත් ප්‍රයෝජනවත් කෘමියෙක් ලෙස කන මී මැස්සා සැලකේ. ගෘහස්ථාව අප ඇති කරන මී මැස්සා එපිස්සෙරානා ඉන්දිකා (APISSERANA INDIKA) යන විද්‍යාත්මක නමින් හැඳින්වේ.

බටහිර රටවල යුරෝපා මී මැස්සා සමඟ සංසන්දනය කළහොත් මෙරට මී මැස්සා කුඩාය. ජනපදයක සිටින මැස්සන් සංඛ්‍යාවද අඩුය. යුරෝපා මී මැසි ජනපදයක මැස්සන් 80000 - 120000 පමණ දැකිය හැකි වුවද ලංකාවේ ජනපදයක මැස්සන් ඇත්තේ මැස්සන් 2500-10000 ක අතර සංඛ්‍යාවකි. ඉතාමත් විශාල ජනපදයක උපරිම වශයෙන් 20000 කි. මේ හේතුවෙන් නිපදවනු ලබන පැණි ප්‍රමාණයද අඩුය. සාමාන්‍යයෙන් මෙය පැණි කි.ග්‍රෑ. 1 1/2 ක් 2 ක් පමණ වේ.

ඉතාමත් හොඳ ප්‍රදේශයක ක්‍රමානුකූල ලෙස පාලනය කිරීමෙන් උපරිම වශයෙන් කි.ග්‍රෑ. 8 ක හෝ 10 ක් පමණ පැණි ප්‍රමාණයක් ලැබිය හැක. මී මැසි ජනපදයක් ඇති කිරීම සඳහා තිබෙන තැනකින් එය ලබාගත යුතුය. එසේ නොමැති නම් රංචු බෙදී යන කාලයට මී මැස්සන් ගෙන්වා ගැනීම සඳහා උපක්‍රම යෙදිය යුතුය. ඒ සඳහා හට්ටි, මුට්ටි, කළ, බෙන හා කොටස් තැබීම කරනු ලැබේ. මෙයින් කළ තැබීම ජනප්‍රියම ක්‍රමය වේ. කළයට දුම්මල දුම් අල්ලා තැබීමෙන් වැඩි ආකර්ශනයක් ඇතිවේ.

මෙසේ කළයකට පැමිණෙන මී මැස්සන් ජනපද තැනීමෙන් පසු කළය කඩා මී මැසි පෙට්ටියකට ජනපද ලබාගත හැක. එනම් මී මැසි පෙට්ටියක ජනපද තැන්පත් කළ හැකිය. මේ අන්දමට කළය වෙනුවට කට පළල හට්ටි දෙකක්ද මූණට මුහුණලා තැබීමෙන්ද මී මැස්සන් ආකර්ශණය කරගත හැකිය. මෙවැනි අන්දමට සකසන කළය හෝ හට්ටි දෙක අඩි 5-6 ක් උස් වූ තැනකින් තැබිය යුතුය. මේ සඳහා සිසිල් සෙවළ සහිත පරිසරයක ඇති ගසක දිරාපත් නොවූ කරුවක් ඉතාමත් යෝග්‍ය වේ.

මී මැසි පාලනය

විද්‍යාත්මක හා වාණිජ ලෙස මී මැසි පාලනයකට පිවිසෙන අයෙකුට උපකරණ කිහිපයක් අවශ්‍යය. මී මැසි පෙට්ටිය, දුම් විසුරුව, මැස්සන් ගෙන යන පෙට්ටිය, පැණි නිස්සාරකය හා මුහුණු ආවරණය මින් ප්‍රධානතම උපකරණයන්ය. ස්වභාවිකව තැන්පත් වී ඇති ජනපදයක් ලබා ගැනීම වාසිදායකය. එසේ නොමැති නම් ජනපදයක් හෝ දෙකක් මිලදී ගත හැකිය. එසේ නොමැති නම් මී මැසි ඇති කරන අයෙකුගේ ජනපදයකින් කොටසක් වෙන්කර ගැනීමෙන් ජනපද ලබා ගැනීමට පුළුවන.

ස්වභාවිකව තැන්පත් වී ඇති ජනපදයක් පහසුවෙන් මී මැසි පෙට්ටියක තැන්පත් කිරීමට පුළුවන. ඒ සඳහා අවශ්‍ය වන්නේ් සුළු ප්‍රායෝගික දැනුමක් පමණි. උදේ වරුවේද මී මැසි ජනපද අල්ලා තැන්පත් කළ යුතුය. මේ සඳහා ඉහත සඳහන් කළ උපකරණ යොදාගත හැක. මේ සඳහා තවත් අයෙකුගේ සහාය අවශ්‍ය වේ. ස්වභාවික මී මැසි ජනපදය ඇති ස්ථාන අවට පවිත්‍ර කරගත යුතුය.

දුම් ස්වල්පයක් ඇල්ලීමෙන් තාවකාලිකව වද තුළින් මී මැස්සන් ඉවත් කරමින් එකිනෙක වද කපාගෙන මී මැසි පෙට්ටියේ රාමුවල බැඳගත හැක. මේ සඳහා සිහින් සෙ.මී. එකක් පමණ පළල කෙසෙල් පට්ටා හෝ සිහින් ගෝනි නූල් භාවිතා කිරීමට පුළුවන. බිත්තර කීට හා කෝෂ අවස්ථාව ඇති වද පමණක් රාමුවලට ඇතුළත් කර ගැනීම වැදගත්ය.

මෙසේ සියලුම වද කොටස් රාමුවලට තබා බැඳ අවසන් පසු මැස්සන් අතින් ගෙන පෙට්ටියට ඇතුළත් කර ගැනීමට පුුළුවන. මැස්සන් එකතු කර ගන්නා විට බොහෝ අවස්ථාවලදී රැජිනද ඒ සමඟ ලබා ගැනීමට පුළුවන. පැණි පරාග රැස් කිරීමට උදෙන්ම පිවිසුනු වැඩකාර මැස්සන් ආපසු එම ස්ථානයට පැමිණන තෙක් එම ස්ථානයේම පෙට්ටිය තැබිය යුතුය. අඳුර වැටීමෙන් පසු ස්ථිර ස්ථානයකට ගෙනවිත් තැන්පත් කරගත හැකිය.

මී මැසි පෙට්ටියක් අවශ්‍ය වන්නේ මී මැස්සන් පාලනය කිරීමට ඇති පහසුවටය. ස්වභාවිකව මී මැස්සන් ගත කරනු ලබන ජීවන රටාව ඇසුරු කරගෙන විද්‍යානුකූලව සැකසූ මී මැසි පෙට්ටියක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මහජනතාවට හඳුන්වා දී ඇත. පතුලේ ලෑල්ල, පිලාකුටිය, පැණි කුටි, ඇතුල් කවරය, මුදුන් ලෑල්ල හෙවත් ලෑල්ල හෙවත් වහළය, පිලා රාමු, පැණි රාමු, ව්‍යාජ රාමුව හා ගේට්ටුව නම් වූ කොටස් දහයකින් මෙය සමන්විතය.

මී මැසි රැජින

ජනපද හැසිරවීම සඳහා රසායනික ද්‍රව්‍යයන් කිහිපයක් උපයෝගී කරගන්නා මී මැස්සා එදිනෙදා වැඩ කටයුතුවල ඉවහල් කරගන්නේ ඔවුන් සතු තියුණු ඉවය. ජනපදයක් ලෙස ක්‍රියාත්මක වන්නේ විශේෂයෙන්ම එහි සිටින රැජිනගේ ශරීරයේ ඇති විශේෂ වූ රසායනික ද්‍රව්‍යයන්ය. මෙයට රැජින සුවඳ යැයි කියනු ලැබේ. මෙය පෙරමෝණයකි. මී මැසි ජනපදයක මැසි වර්ග තුනක් සිටියි. රැජින වැඩකාර මැස්සියන් හා පිරිමි මැස්සන්ය.

රැජින හා වැඩකාර මැස්සියන් සෑම කාලසීමාවකදීම දක්නට ලැබුණද පිරිමි මැස්සන් බෝවන්නේ විශේෂ කාලසීමාවකදී පමණි. රැජින ජනපදයේ ප්‍රධානියා ලෙස සැලකේ. ජනපදයක වැඩි වශයෙන් සිටින්නේ වැඩකාර මැස්සියන්ය. මෙලොව එළිය දුටු දින සිට මරණය තෙක් ජනපදයේ සියලු වැඩ කටයුතු කරන්නේ මොවුන්ය. සංසේචනය නොවූ බිත්තරයකින් බිහිවන්නේ පිරිමි මැස්සෙකි. මොවුන්ගෙන් සිදුවන එකම කාර්යය නම් අලුතින් බිහිවන රැජිනත් සමඟ පට්ටි වැටීම පමණි.

මී මැසි ජනපද පරීක්ෂාව හා නඩත්තුව මැනවින් ඉටුකළ යුතුය. මී මැසි ජනපදයක් පාලනය කරන්නා විසින් මී මැස්සාට කුමන ආකාරයේ උදව්වක් අවශ්‍ය වන්නේද යන්න සොයා බැලීමටය. නිතර නිතර ජනපද පරීක්ෂා කිරීම අවශ්‍ය නොවේ. එය මී මැස්සනට හානිකරය. අවශ්‍ය අවස්ථාවලදී පමණක් පරීක්ෂා කළහොත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට ජනපද පරීක්ෂා කළ යුත්තේ උදේ වරුවේය. තවද අඳුරු වැහි වලාවෙන් බර වූ වැහි සමයක. තද සුළං ඇති අවස්ථාවක ජනපද පරීක්ෂා කිරීමෙන් වැළකී සිටිය යුතුය. ජනපද පරීක්ෂාවේදී පිරිසිදුකමත්, සංසුන්කමත් අවශ්‍යය. මී මැස්සන්ට හානි නොවන පරිදි සෑම කාර්යයක්ම කිරීමට සිහියේ තබාගත යුතය.

ඖෂධිය ගුණ

ස්වභාවික වශයෙන් මී මැස්සෝ කාල පරිච්ඡේද තුනක් ගත කරති. එනම් වර්ධක අවධිය, පැණි වාරය හා අහේනි කාලයයි. මේ එක් එක් අවධිවල කළයුතු කාර්යයන් විවිධ වේ. මී මැස්සා විසින් ලබාගන්නා මල් පැණි උගේ ශරීරයේ රසායනික ප්‍රතික්‍රියාවකට භාජනය කිරීමෙන් පසු මී පැණි බවට පත්වේ. මී පැණිවල වැඩි වශයෙන් ඇත්තේ සරල සීනිය. මේ නිසා මී පැණි ශරීරයට ඉක්මණින් උරාගත හැකි පෝෂ්‍ය ආහාරයක් වේ. එම නිසා ඖෂධයක් වශයෙන් මී පැණි නොයෙකුත් රෝගාබාධයන්ට නිර්දේශ කරනු ලැබේ. පසුව එහි ඇති ජලය අඩුකර ගැනීමෙන් පසුවද කුහර ඉටි පියනකින් ආවරණය කරනු ලැබේ. මෙසේ ආවරණය කළ පැණි මේරු පැණි ලෙස හැඳින්වේ. මී පැණි ලෙස නිස්සාරණය කළයුත්තේ මෙම පැණිය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා