සරසවි අඩපණ කරන ඇතැම් ඇදුරෝ පෞද්ගලික සරසවිවල වැඩ

සරසවි අඩපණ කරන ඇතැම් ඇදුරෝ පෞද්ගලික සරසවිවල වැඩ

- පියසිරි විජේනායක

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය අඩපන කරමින් වර්ජනයේ යෙදෙන ඇතැම් ආචාර්යවරු පෞද්ගලික විශ්වවිද්‍යාල වල ඉගැන්වීම් කරන බවට ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පියසිරි විජේනායක මහතා චෝදනා කරයි.

ආචාර්යවරුන් රාජ්‍ය විශ්වවිද්‍යාල වසා දමා පෞද්ගලික විශ්වවිද්‍යාල බිහි කිරීමේ කාර්යයට සහාය දක්වන බවද හෙතෙම පැවසීය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ සමිති සම්මේලනයේ ප්‍රධානීන් ජාත්‍යන්තර සංවිධානවල සහයෝගයෙන් දේශපාලන කොන්ත්‍රාත්තුවක් ඉටු කරමින් සිටින බවත්, ඒ සඳහා ආචාර්යවරුන් ගේ බහුතර කැමැත්තෙන් තොරව මේ වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවත් විජේනායක මහතා පැවසීය.

එම සමිති සම්මේලනය රාජ්‍ය නොවන සංවිධාන හා, ඇතැම් දේශපාලන පක්‍ෂවල න්‍යාය පත්‍රයන්ට අනුව කටයුතු කරන අතර එවැනි සමිති සම්මේලන සමග රජය කිසිදු ගිවිසුමක් අත්සන් නොකළ යුතු යැයි ද ඒ මහතා අවධාරණය කෙළේ ය.

ජනතා කැමැත්තෙන් ජනතා ඡන්දයෙන් බලයට පත් වූ රජයක් කිසිදු දිනක සමිති සංගම් ඉදිරිපත් කරන කොන්දේසි හා ගිවිසුම් වලට අත්සන් නොකළ යුතු බව ද කීය. ජාතික සංවර්ධනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ වගකීම රජයත් ජනතාවත් සතු බවද හෙතෙම අවධාරණය කෙළේ ය. පියසිරි විජේනායක මහතා මේ කරුණු අවධාරණය කෙළේ ඊයේ (28) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා