මොණරාගල - නක්කල සතිපොළ වහලා රුපියල් ලක්ෂ 30 ක් අපතේ

මොණරාගල - නක්කල සතිපොළ වහලා රුපියල් ලක්ෂ 30 ක් අපතේ

(2012/08/29/14:10) මොණරාගල බඩල්කුඹුර ප්‍රාදේශීය සභාව මගින් නක්කල නගරාසන්නයේ ඉදිකර ඇති සතිපොළේ ගොඩනැගිලි රැසක් වසර හතරක පමණ කාලයක් තිස්සේ කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වසා දමා ඇති හෙයින් ඒවා විනාශයට පත්වෙමින් ඇත.

නක්කල ප්‍රදේශයේ ගොවි ජනතාවගේ කෘෂි නිෂ්පාදන අලෙවි කර ගැනීමට පහසුකම් ලබාදීම මේ සතිපොළ ආරම්භ කිරීමේ අරමුණ විය. එහෙත් නක්කල නගරයේ ජනතාවගේ විරෝධය නිසා එම අරමුණ ඉටුකර ගැනීමට නොහැකි වී ඇත. එහෙයින් 2008.04.23 විවෘත කළ සතිපොළ විවෘත කර මාස තුන හතරකින් වසා දැමීමට සිදු වී තිබේ.

නක්කල නගරය කුඹුක්කන්ඔය නැගෙනහිර ඉවුරෙහි පිහිටා ඇත. එය මොණරාගල ප්‍රාදේශීය සභාවට අයත් වේ. සතිපොළ කුඹුක්කන්ඔය බටහිර ඉවුරේ ඉදිකර ඇති හෙයින් එය බඩල්කුඹුර ප්‍රාදේශීය සභාවට අයත් විය. සතිපොළේ අසාර්ථකත්වයට මේ පිහිටීම බෙහෙවින් බලපා ඇත. මේ නිසා සතිපොළ ඉදිකිරීමට වැය කර ඇති රුපියල් ලක්ෂ තිහක පමණ මුදල කිසිදු ප්‍රයෝජනයකට නැතුව විනාශයට පත් වී තිබේ.

බඩල්කුඹුර ප්‍රාදේශීය සභාවේ ලේකම් එච්. එම්. දිසානායක මහතා - මේ සතිපොළ පවත්වාගෙන යාමට තෙවරක් ටෙන්ඩර් කළ නමුත් කිසිවෙකු ඉදිරිපත් වුණේ නෑ. මෙය නැවත විවෘත කිරීම පිළිබඳ සභාපතිතුමා නක්කල නගරයේ ජනතාව සමඟ සාකච්ඡා කරනවා.

එය සාර්ථක වුණොත් සතිපොළ නැවත විවෘත කළ හැකියි. එසේ නොවුණ හොත් කුඹුක්කන් ඔය ආශි‍්‍රතව නිවාඩු නිකේතනයක් ඉදිකර මේ ගොඩනැගිලි එහි ප්‍රයෝජනයට ගැනීමට සැලසුම් කර තිබෙනවා. ඒ සැලසුම් අනුමත කර මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට පළාත් සභාව වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නවා.


 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා