නො දැන කරන පව්කම්වලිනුත් විපාක ලැබේ ද?

නො දැන කරන පව්කම්වලිනුත් විපාක ලැබේ ද?

පසුගිය කලාපය හා බැඳේ.

සත්ත්වයන් ගේ නායකත්වයට හා ඔවුන් ලබන සැප දුක්වලට හේතුව කර්ම බලය ද? ග්‍රහ බලය ද?

ලෝකයෙහි මනුෂ්‍යයන්ට සැප දුක් ඇති කරන ඇසට නොපෙනෙන ‘කොහි තිබෙනවා ද කෙසේ තිබෙනවාද’ කියා දැන ගත නො හෙන හේතු කොටසකුත් ඇති බව නුවණින් ලෝතතු සලකා බලන්නකුට දත හැකිය. පරෙස්සම් නොවීම රෝග හටගැනීමේ හේතුවක් බව කවුරුත් දනිති. සමහර කෙනකුට කෙසේ පරෙස්සම් වුවත් නිරෝගීව වාසය කරන්නට නො ලැබෙන බවත්, සමහර කෙනකුට කිසිම පරෙස්සමක් නැතිව නිරෝගීව බොහෝ කලක් ජීවත් විය හැකි බවත්, නුවණින් ලෝකය දෙස බලත හොත් දැකිය හැකි වනු ඇත.

ලබාගත් මිල මුදල් ආදි දේවල් සමහර කෙනකුට කොහොමවත් පරෙස්සම් කරගත නො හැකි බවත්, සමහර කෙනකුට අයත් දේවල් පරෙස්සම් නො කළත් රැකෙන බවත් දත හැකි වනු ඇත. සමහර කෙනකුන් වරද නො කර කෙසේ පරෙස්සම් වී සිටියත් අප කීර්තියට පත් වන බවත්, එබඳු අය ගේ නිවරද පවා වරද වශයෙන් ගෙන අන්‍යයන් ගර්හා කරන බවත්, සමහර දෙනකුන් නොයෙක් පව් කම් කරමින් ම කීර්තිමත්ව වෙසෙන බවත්, එබඳු අය කරන පව් පවා ලෝකයා හොඳ හැටියට සලකන බවත් නුවණින් ලෝකය දෙස බලතහොත් දැකිය හැකි වනු ඇත.

මාපියන් විසින් බොහෝ වියදම් කොට පාසල් යැවූ නමුත් මොනම දැන උගත්කමක්වත් නැතිව මෝඩයන් ලෙස ඉන්නා අයත්, උපකාර කාරයන්නැතිකමින් විද්‍යස්ථානයකට ඇතුළුව උගෙනීමක් නො ලබා ම මහ ප¼ඩිවරයන් වී ඉන්නා අයත් ලෝකයෙහි ඇත්තාහ. මාපියාදීන්ගෙන් බොොහ් වස්තුව ලබාද දිළිඳුව ඉන්නා අයත්, කිසිවකුගෙන් කිසිම උදව්වක් නො ලබා ම මහ දනිසුරන් වී ඉන්නා අයත් ලොව ඇත්තාහ. උත්සාහය ධනවත් වීමේ හේතුවක්ලෙස සැම දෙනාම පිළිගන්නාහ. සමහරු ධනවත් වීමට බොහෝ උත්සාහ කෙරෙති.

එහෙත් ඔවුනට ඒ අදහස මුදුන්පත් කර ගත හැකි නො වේ. මහත්වූ උත්සාහයෙන් යමක් ලබා ගත්තත් එය කවරාකාරයකින් හෝ ඔවුන්ගෙන් නැති වන්නේ ය. අනිකකු විසින් ධනය දුන්නත් එය ඔවුන් වෙත නො රැඳේ. සමහරු උත්සාහයක් නැතිව ම ධනවත් වෙති. මේ ආදි කරුණු ගැන සලකා බලතහොත් මනුෂ්‍යයන් හට සැප දුක් ලබා දෙන නො පෙනෙන හේතු කොටසකුත් ඇති බව තේරුම් ගත හැකිය. කර්මබලය ග්‍රහබලය යන දෙකම ඒ නො පෙනෙන හේතුවලට අයත් ය. සත්ත්වයන් ගේ නානත්වයට හා ඔවුන් ලබන සැප දුක්වලට හේතු සෙවූ බුද්ධාදීහු කර්මබලය පැවසූහ. එය ගැන සෙවූ ඇතැම් ඍෂීහු ග්‍රහ බලය දුටහ.

‘කර්මය කුමක්ද?’ යන බව මෙහි කලින් කියා ඇත. ග්‍රහබලය ගැන මෙහි විස්තරයක් කලින් කර නැත. මේ ප්‍රශ්නය විසඳීමේ දී ‘ග්‍රහබලය යනු කුමක් ද?’ යන බව දැක්විය යුතු ය. රවි - චන්ද්‍ර - කුජ - බුධ - ගුරු - ශුක්‍ර - ශනි - කියා ග්‍රහ නාමයෙන් ජ්‍යෝතිශ්ශාස්ත්‍රයෙහි හඳුන්වන අහසෙහි හැසිරෙන වස්තු සතක් ඇත්තේ ය. නැකත් නාමයෙන් හඳුන්වන තවත් තාරකා සමූහයක් ද ඇත්තේ ය. රාශි නමයෙන් හඳුන්වන තවත් කුඩා තාරකා මහත් සමූහයක් ද ඇත්තේ ය.

ඒ සියල්ලෙහි ම ඇති බලයට සාමාන්‍යයෙන් ග්‍රහ බලය යි කියනු ලැබේ. අහසෙහි හැසිරෙන්නා වූ ඒ වස්තූන්ගෙන් නික්මෙන ආලෝක ධාරා පොළොවට වැටෙන්නේය. ඒ ආකාශ වස්තූන් ගේ හැසිරීම අනුව ඒවායේ රශ්මි ධාරා පොළොවට නොයෙක් ආකාරයෙන් වැටෙන්නේ ය. ග්‍රහයන්ගෙන්ද, නැකත්වලින්ද, රාශි තාරකාවලින්ද පොළොවට එන රැස්වල එකිනෙකට වෙනස් නොයෙක් ගුණ ඇත්තේ ය. ග්‍රහරශ්මි සංයෝගයෙන් වන ගුණයන් අනුව ඒ ඒ ගුණ ඇති කාලයන්හි පොළොවෙහි උපදින තැනැත්තා රජෙක් ද වන්නේය. සෙන්පතියෙක් ද වන්නේය.

සිටුවරයෙක් ද වන්නේය. පැවිද්දෙක් ද වන්නේය. ශාස්ත්‍රඥයෙක් ද වන්නේය. මෝඩයෙක් ද වන්නේය. අන්ධයෙක් ගොළුවෙක් බිහිරෙක් කොරෙක් කුදෙක් ද වන්නේය. තවත් නොයෙක් ආකාර ද වන්නේය. මෙය සත්‍යයක් බව ඒ ඒ අය ගේ කේන්ද්‍ර පරීක්ෂා කිරීමෙන් දත හැකි ය. ග්‍රහයන් ගමන් කිරීමේ දී වෙනස් වෙනස් වී පොළොවට වැටෙන ග්‍රහ රශ්මිවල සැටියට කලින් කල පුද්ගලයා වෙනස් වෙනස් ලෙස සැප දුක් ලබන්නකු වන බවද, හොඳ නරක වැඩ කරන්නකු වන බව ද කේන්ද්‍ර පරීක්ෂා කිරීමෙන් දත හැකි ය.

ග්‍රහබලය සත්ත්වයන් ගේ නානත්වයට හා සැප දුක්වලට හේතු වේ නම්, බුදුන් වහන්සේ “කම්මස්සකා මානව සත්තා කම්මදායාදා කම්මයොනි කම්මබන්ධු කම්මපටිසරණා කම්මං සත්තෙ විභජති යදිදං හීනප්පණිතතාය” යි “කර්මය සත්ත්වයන් ගේ නානත්වයට හේතුව“ බව වදාළේ මක්නිසාද? යන ප්‍රශ්නය මෙහිදී නගින්නේය. බුදුන් වහන්සේ එසේ වදාළේ ඒ බල දෙකින් කර්ම බලය ම ප්‍රධාන වන බැවිනි. බීජය - පස - වතුර - පෝර යන මේ සියල්ල ම ගස ඇතිවීමේ හේතු ය.

එහෙත් පස - වතුර - පෝර යන මේවාට බීජයක් නොමැති නම් ගසක් ඇති නො කළ හැකි බැවින් ගස ඇතිවීමේ ප්‍රධාන හේතුව බීජය බව කිය යුතු ය. එබැවින් බීජයෙන් ගස ඇති වන්නේ ය’ යි කියනුලැබේ. එමෙන් රාගාදී නොයෙක් ආකාර පුද්ගලයන් උපදනා ග්‍රහ යෝග කොතෙක් ඇති වුවත් කර්මයක් නො මැතිව ග්‍රහ බලය ම පුද්ගලයකු ඉපදවීමට සමත් නො වේ. කර්මානුරූපව උපදනා සත්ත්වයන් නැති කල්හි උසස් පහත් පුද්ගලයන් ඉපදීමට සුදුසු ග්‍රහයෝග කෙතෙක් යෙදුනත් පුද්ගලයකු ගේ ඉපදීමක් සිදු නො වීම ඒවා ඉක්ම යන්නේ ය. එබැවින් කර්මය ම සත්ත්වයන් ඉපදීමේ ප්‍රධාන හේතුව බව කිය යුතු ය. බුදුන් වහන්සේ කර්මය සත්ත්වයන් ගේ නානාත්වයට හේතුව බව වදාළේ එහෙයිනි.

බීජයට ගසක් ඇති කිරීමට පස වතුර පෝර යන මේවායේ උපකාරය වුවමනා වන්නාක් මෙන් ම කර්මයට ද රාජාදී පුද්ගලයන් ඇති කිරීමට ග්‍රහයෝගවල උපකාරය වුවමනාය. එබැවින් රජකමක් ලබා දෙන කර්මයෙන් ඒ කර්මය කළ තැනැත්තා රජුන් ඉපදීමට සුදුසු ග්‍රහයෝග ඇති වේලාවක දී උපදවනු ලැබේ. ඇමතියන් සෙන්පතියන් හේවායන් ධනවතුන් දුප්පතුන් නුවණැතියන් මෝඩයන් රූ ඇතියන් විරූපීන් උපදවන කර්මවලින් ද ඒ ඒ කර්ම කළ අය ඒ ඒ ග්‍රහයෝග ඇති කාලවල දීම උපදවනු ලබන්නාහ.

උපන් සත්ත්වයාහට වරින් වර ලැබෙන සැපදුක් වලටත් කර්මය ග්‍රහබලය යන දෙක ම හේතු වේ. හොඳ ග්‍රහ යෝග යෙදෙන කාලවල දී කුසල කර්මයෝ විපාක දෙති. එයින් සැප ලැබේ. නරක ග්‍රහයෝග ඇති කාලවලදී අකුසල කර්මයෝ විපාක දෙති. එයින් දුක් ලැබේ. ඇතැම් ග්‍රහයෝග නිසා සත්ත්වයා ගේ සිත පවට නැමී පව්කම් කරන්නට පටන් ගනී. ඇතැම් ග්‍රහයෝග නිසා සත්ත්වයා ගේ සිත පිනට නැමී පින් කරන්නට පටන් ගනී. මිනිසා කලින් කල පව් කරන්නට පටන් ගන්නේ මේ නිසාය.

නො දැන කරන පව්කම්වලිනුත් විපාක ලැබේ ද?

පරලොවක් ඇති බව අසා නැති, පින් පව් ගැන අසා නැති, පින් පව්වල විපාක අසා නැති සමහරු ඒ නො දැනීම නිසා පවක් කරමිය යන හැඟීමක් නැතිව සතුන් මරති. සොරකම් කරති. කාමයෙහි වරදවා හැසිරෙති. බොරු කියති. මත්පැන් බොති. උතුමන්ට අගෞරව කිරීම් ආදී තවත් නොයෙක් පව්කම් කරති. නො දැන කරන පව්කම්ය කියන්නේ ඒවාට ය. ලෝකයෙහි නො දැන කරන වරදට සමාව දෙන සිරිතක් ඇත්තේ ය. දඬුවම් දුන්නත් එය ලිහිල් කොට දෙන ස්වභාවයක් ඇත්තේ ය.

මේ ප්‍රශ්නය අසන්නේ ඒ ලෝකස්වභාවය අනුව ය. ලෝකයෙහි වරද කළවූන්ට දඬුවම් කරන රාජාදීන් ඇතිවා සේ, පින්පව්වල විපාකය ගෙන දෙන – ඒවාට අධිපතියෙක් නැත්තේ ය. පව්වලට විපාක ඇති කරන පුද්ගලයකු ඇති නම්, නො දැන කරන පව්වලට ඔහුගෙන් සමාවක් ලබන්නට ද ඉඩ ඇත්තේ ය.

අඳුරු කාමරයක පහනක් දැල්වුව හොත් ඒ හේතුවෙන් එහි ආලෝකයක් ඇති වේ. ඒ ආලෝකය ඇති කරන පුද්ගලයෙක් නැත. පහන නිවු කල්හි ඒ හේතුවෙන් එහි නැවත අඳුර ඇති වේ. කාමරයට අඳුර ගෙනෙන පුද්ගලයෙක් නැත. එමෙන් පින් පව් කළවූන්ට පින කළ නිසා එහි බලයෙන් ඉෂ්ට විපාකත්, පව් කළවූන්ට පව නිසා එහි බලයෙන් අනිෂ්ට විපාකත් ඇති වෙනවා මිස ඒවා ඇති කරන පුද්ගලයකු නැත්තේ ය. එබැවින් නො දැන කළ පාපයට සමාවක් නො ලැබිය හැකි ය.

රාත්‍රියේ කාමරයක දැල්වෙන පහන නිවුවහොත්, අඳුර ඇති වන බව නො දැන නිවුවත් දැන නිවුවත්, අඳුර ඇතිවීම පිළිබඳ වෙනසක් සිදුවන්නේ නැත. එමෙන් පාපය දැනගෙන කළත් නො දැන කළත් විපාකය ඇති වීම සම්බන්ධයෙන් වෙනසක් සිදු නො වේ.

මතු සම්බන්ධයි

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා