සෝවාන් වීමට නම්...

සෝවාන් වීමට නම්...

පසුගිය සතියෙන්...

මනසිකාරය කියන්නේ මෙනෙහි කිරීම. මෙනෙහි කරනවා කියන්නේ සිත තුළ සිතිවිලි පහළ වීම. මෙනෙහි කිරීම් දෙකක් තිබෙනවා. යෝනිසෝ මනසිකාරය - නුවණින් මෙනෙහි කිරීම. අයෝනිසෝ මනසිකාරය - නුවණ නැතිව මෝඩකමින් මෙනෙහි කිරීම.

“තත්ථ කතමෝච භික්ඛවේ යෝනිසෝ මනසිකාරෝ?” “කුමක් ද මහණෙනි යෝනිසෝ මනසිකාරය කියන්නේ?

“අනිච්චේ අනිච්චන්ති, දුක්ඛේ දුක්ඛන්ති, අනත්තනී අනත්තාති, අසුභේ අසුභන්ති, යෝනිසෝ මනසිකාරෝ, පථ මනසිකාරෝ, සච්චා පටික්කූලේනවා චිත්තස්ස ආවට්ටනා, අන්වාවට්ටනා ආභෝගෝ සමන්නාහාරෝ මනසිකාරෝ අයං වුච්චති භික්ඛවේ යෝනිසෝ මනසිකාරෝ” කියා බුදු රජාණන් වහන්සේ එය විස්තර කළ තැනක් තිබෙනවා විභංග ප්‍රකරණයේ.

අනිත්‍ය වූ සංස්කාර අනිත්‍ය වශයෙන්ම දකිනවා නම් එය යෝනිසෝ මනසිකාරයක්. අනිත්‍ය දේවල් නිත්‍ය වශයෙන් දකිනවා නම් එය යෝනිසෝ මනසිකාරයක් නො වෙයි. මොනවාද මේ අනිත්‍ය දේ කියන්නේ? තමන්ගේ රූපය අනිත්‍ය යි. තමන්ගේ වේදනාව අනිත්‍ය යි. (තමන්ගේ කියන්නේ සම්මුති වශයෙන්) තමන්ගේ සංඥාව අනිත්‍ය යි. තමන්ගේ සිත තුළ තිබෙන සංස්කාර අනිත්‍ය යි. තමන්ගේ සිතේ පහළවන විඤ්ඤාණය - දැනීම් සියල්ල අනිත්‍ය යි. මේ ලෝකයේ සියලුම සත්වයන් මේ ආකාරයෙන් කොටස් 5 කට බෙදන්නට පුළුවන්. පංචස්කන්ධ වශයෙන්, රූප - වේදනා - සංඥා - සංස්කාර - විඥාන කියා. මේ පංචස්කන්ධයක් සහිත ලෝකයේ ඇති සෑම ධර්මයක්ම අනිත්‍ය යි. රූපස්කන්ධය කීවාම පණ ඇති, පණ නැති සියල්ලම ඊට ඇතුළත්.

දුක්ඛේ දුක්ඛන්ති

මේක දුකක්. මේ රූපස්කන්ධය පවතින තාක් ලැබෙන්නේ සැපක් නො වෙයි දුකක්ම යි. කවන්නට ඕනෑ. පොවන්නට ඕනෑ. නිදි කරවන්නට ඕනෑ. රැකීරක්ෂා කරන්නට ඕනෑ. ඒ කොයිතරම් දේ කළත්, මේ කයින් කිසිම කෙළෙහිගුණයක් ලැබෙන්නේ නෑ. නිරන්තරයෙන්ම දුක් ලබා දෙනවා. ඉඳ ගෙන ඉන්නත් බෑ දුක්. හිට ගෙන ඉන්නත් බෑ දුක්. නිදාගෙන ඉන්නත් බෑ දුක්. සියල්ලම දුක්. මේ දුක් නැති කරන්න එහාට මෙහාට ඇඹරි ඇඹරී, ඉරියව් මාරු කර කර, කෑම බීම දිදී, බේත් හේත් ආදිය ගිල්ල ගිල්ලා, අප මේ ශරීරය නඩත්තු කරනවා. මේකා මහා වධකයෙක්. හරියට තමන් මරන්නට එන වධකයෙක් වගේ. වධකයෙක් නම් ඉතාම හොඳයි. එක සැරයක් ආවා. කෙටුවා, මැරුවා.

මේ ශරීරය එහෙම නො වෙයි. උපන් දවසේ ඉඳලා මේ දක්වා, වධකයෙක් වධ දෙනවා වගේ වධ දෙනවා. සමහරවිට ඇස්වලට ගහනවා. ඇස් අන්ධ වෙන්න. අත්වලට ගහනවා අත් කැඩිල බිඳීලා යන්න. කකුල්වලට ගහනවා කකුල් කැඩෙන්න. සමහරවිට ගහනවා ඔත්පල වෙලා නැගිටින්න බැරි වෙන්නට. සමහර විට අංශභාග වැනි තත්ත්වයන්ට පත් කරලා නැගිටින්නට බැරි වෙන්න ගහනවා. ඔය විධියට වධ දීලා, වධ දීලා මරන්නෙත් නිකම් නො වෙයි. දස දුක්, දස වධ දීලා.

මේ පංචස්කන්ධ ලෝකය පවතින එක ඒකාන්ත වශයෙන් දුකක්. දුක්ඛ සත්‍යය කියන්නේ මේක. මේක දුක්ඛ සත්‍යය කියල දන්නේ නැති කම නිසා, ඇලි ඇලී, ගැලි ගැලී ආශා කරලා, මේවා බදාගෙන කටයුතු කරනවා. ඉතින් ඒ පුද්ගලයාට මේක අතහැරීමෙන් ලබන නිවන ලබන්නට කවදාවත් බැහැ. මොකද? දුකක් වූ දුක්ඛ සත්‍යයක් වූ මේ පංචස්කන්ධ ලෝකය සැපක් ය, යහපත් දෙයක් ය, කියා යම් කිසි කෙනෙක් වැරදි විධියට ග්‍රහණය කරගෙන ඉන්නවා නම්, ඔහුට මෙය අත්හරින්නට කිසිසේත්ම කැමැත්තක් රුචියක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ පංචස්කන්ධ ලෝකය අතහැර නිවන් ලබන්නට නම් එය දුකක් වශයෙන් දකින්නට ඕනෑ. “දුක්ඛේ දුක්ඛන්ති යථා භූතං පජානාති” දුක දුකක් වශයෙන්ම, ඇත්ත ඇති සැටියෙන්ම දකින්නට ඕනෑ. එය යෝනිසෝමනසිකාරයක්. නුවණින් දැකීමක්.

වැරදි ආකාරයෙන් දකිනකොට ඕකෙ අනික් පැත්ත. “මේවා සැප යි, සැප යි” කියා හිතනවා නම්, එය යෝනිසෝමනසිකාරය නො වෙයි, අයෝනිසෝමනසිකාරය. මෝඩකමින් කල්පනා කිරීම. සැප වේදනාවක් ලැබුවත් දුකක්, “සුඛා වේදනා දුක්ඛතෝ දට්ඨබ්බා” කියා බුදු රජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා.

ඔබ සිතන්නට පුළුවන්, “දැන් අපට සැප තිබෙනවා නේද? නොයෙක් ආකාරයේ ස්පර්ශ ලබලා සැප විඳිනවා. රූප දැකලා සැප විඳිනවා. ගඳ සුවඳ විඳලා, දිවෙන් රස විඳලා, කයෙන් ස්පර්ශ ලබලා, නොයෙක් ආකාරයෙන් සැප විඳිනවා නේද” කියලා. මේක ඒකාන්ත වශයෙන් දුකක් ලෙස දකින්නට කියා බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙනවා.

ඔය කියන සැප නිකම් ලැබෙන්නේ නැහැ. හොය හොයා යන්නට ඕනෑ. එයට අවශ්‍ය දේ සම්පාදනය කර ගන්නට ඕනෑ. ඒ සැප ලැබුවත් එවෙලේම, එතැනම නැති වී යනවා. ඒ සැපයට ආශා කරපු නිසා සංසාරය පුරා දුකින් දුකටම පත් වෙනවා. සමහරවිට ඒ ආශාව නිසා පේ‍්‍රත ලෝකවලට ඇද වැටිලා කල්පය පුරාම දුක් විඳිනවා. මේ ආකාර සංසාර දුක් විඳ විඳ ආවේ මේ ආශාවන් නිසා. සුඛ වේදනාවට ඇලීම නිසා. මේ පංචස්කන්ධය දුකක් වශයෙන් අවබෝධ නො කළ නිසා. මේ ආකාරයෙන් දුක දුකක් වශයෙන්ම දකින්නට ඕනෑ, නිවන් යෑමට බලාපොරොත්තු වන අය.

අනත්තනි අනත්තාති

ආත්ම නො වන, මම නො වන, මගේ නො වන, සත්වයෝ පුද්ගලයෝ නො වන මේ සංස්කාර ධර්ම ඒකාන්ත වශයෙන් ම අනාත්ම ලෙස තමාට අවබෝධ විය යුතු යි. සාමාන්‍ය ජනතාව තමන්ගේ ඇඟ අරගෙන, සිත අරගෙන, “මේ මිනිහෙක්, මේ ගැහැණියක්, මේ සත්වයෙක්, මේ පුද්ගලයෙක්, මේක ආත්මයක්, මේ මම.” කියා හිතාගෙන තමයි, කටයුතු කරන්නේ. ඉතින් සමහරුන්ට කිව්වොත් “මේක ආත්මයක් නො වෙයි, මම නො වෙයි.. මගේ නො වෙයි” කියලා, “ඒ හාමුදුරුවෝ ආත්මයක් නො වෙයි කියනවා, මම නො වෙයි කියනවා. මගේ නො වෙයි කියනවා” කියමින් හිනාවෙවී යනවා.

එහෙම අවස්ථා රාශියක් මට හමු වී තිබෙනවා. මෝඩකම නිසා ඒ අයට තේරෙන්නේ නැහැ. ඒ නිසයි, ඒ තරම් දැඩි වශයෙන් ග්‍රහණය කර ගෙන සිටින්නේ. ඒ නිසා තමන් තේරුම් ගන්නට ඕනෑ, මේක කිසි සේත්ම තමන්ට ඕනෑ විධියට හසුරුවන්නට හැකි ධර්ම නො වෙයි. තමන්ට ඕනෑ විධියට පවතින ධර්ම නො වෙයි. හේතු මත ඇති වන ඵල ධර්ම මිස, අන් කිසිවක් නො වෙයි. “මේවා හේතු ඵල, අනාත්ම ධර්ම” කියා තමාට වැටහෙනවා නම්, අවබෝධ වෙනවා නම්, අනාත්ම ධර්ම අනාත්ම වශයෙන්ම වැටහෙනවා නම්, ඒක යෝනිසෝ මනසිකාරයක්. එසේ නැතිව මේවා ආත්ම වශයෙන් සලකනවා නම්, එය අයෝනිසෝ මනසිකාරයක්.

උදාහරණයකට අපි හිතමු. අප රූපවාහිනී දර්ශනයක් හෝ චිත්‍රපට දර්ශනයක් බලා සතුටු වෙනවා ය කියා. අප හිතනවා නම් මෙතන සතුටුවන්නේ මම කියා, එය යෝනිසෝ මනසිකාරය නො වෙයි. අයෝනිසෝ මනසිකාරයක්, මෝඩකමක්. ඉතින් ඇස තිබෙනවා. රූපය තිබෙනවා. ඇස යි රූපයයි ගැටීම නිසා සිතක් පහළ වෙනවා. ඒ සිත නැති වුණා. තව සිතක් ආවා. ඔය විදියට හේතු නිසා පහළ වන ඵල ධර්ම ක්‍රියාදාමයක් තමයි. මෙතන තියෙන්නේ. මෙය නො දත් ලෝක සත්වයා මෝඩකම, අවිද්‍යාව තිබෙන තාක් කල් මෙයට රැවටී අවිද්‍යාවෙන් අඳුරටම යනවා. ඒ නිසා මේ අනාත්මය අනාත්මය වශයෙන් දකිනවා නම්, ඒක යෝනිසෝ මනසිකාරයක්.

අසුභේ අසුභන්ති

අශුභ සංස්කාර අශුභ වශයෙන් දැකීම යි. මේ අශුභ සංස්කාර යනුවෙන් අදහස් කරන්නේ කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇස්, ඇටමිදුලු ආදී වශයෙන් දෙතිස් කුණප කොට්ඨාස අරගෙන “මේ ශරීරය අශුභ යි. අශුභ යි” කියා සිතන එක පමණක් නො වෙයි. ඒකත් අශුභයක් තමයි. ශරීරය ශුභ වශයෙන් මතුපිට සමෙන් වැහිලා තිබෙනවා. මේ මතුපිට සම ඉතාම සියුම් දෙයක්. ඒ සම ඉවත් කළොත්, ඇතුළේ තිබෙන හැම දෙයක්ම දුගඳයි. හැම දෙයක් ම පිළිකුල්. හැම දෙයක්ම බලන්නවත් බැහැ. උදාහරණයක් වශයෙන් මෙ තැන ඉන්න කෙනකුගේ බඩ පැලුවා යැයි සිතමු. එවිට ඇතුළේ තිබෙන දේවල් එළියට ගත්තොත්, අර පාර හරියේ ඉන්නටවත් බැරි වෙයි. ඒ තරම් ගඳක්, ජරාවක්. අප හැම දෙනාගේම ශරීර එහෙම තමයි. ඉතින් ඒ තත්ත්වය තේරුම් ගැනීමත් අශුභයක්.

මෙතන අශුභ කියන්නේ, ඊට වඩා එහා තැනක්. බුදු රජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. “සබ්බ සංඛාරේහි අට්ටීයති. හරායති, ජිගුච්ඡති” කියලා. “සියලු ම සංස්කාර කෙරෙහි පීඩා වනවා, ලජ්ජාවනවා, පිළිකුලට පත් වෙනවා” කියලා. කලින් කීවේ පිළිකුල් දේ පිළිකුල් වශයෙන් බැලීම. එහෙම නො වෙයි ඇත්ත ඇති සැටියෙන් දැකීම යි යෝනිසෝ මනසිකාරය - යනුවෙන් අදහස් කරන්නේ. සියලුම සංස්කාර පිළිකුල් වශයෙන් දැකීම. හොඳ ඒවා තිබුණෙත්, නරක ඒවා තිබුණත්, ලස්සන ඒවා තිබුණත්, කැත ඒවා තිබුණත්, ඒ සියල්ල පිළිකුල් වශයෙන් දැකීම ගැඹුරු කාරණයක්. එය අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී දර්ශන තුළින් මතු කර ගත යුතු කාරණයක්.

ඒ විදියට තමන්ට තේරෙන්නට ඕනෑ මේවා අසුභ වශයෙන්. මේවා පවතින එක එතරම් හොඳ දෙයක් නො වෙයි කියල තේරෙන්නට ඕනෑ. නාම රූප ධර්මයන් - එනම් තමන්ගේ ඇඟ හා සිත - තමන්ගේ ජීවිතය දිගටම පවත්වාගෙන යෑම, නැවත නැවත ඉපදි ඉපදී යන එක ඇත්ත වශයෙන්ම පිළිකුල් දෙයක්. මහා වධයක්. මහා දුකක්. මහා කරදරයක්. මහා පීඩනයක්. මේ තත්ත්වය තමාට නොතේරෙන නිසා, මිනිස්සු දිගින් දිගටම මේවාට ඇලි ඇලී, සංසාරය පුරා යනවා. ජාතියට වැටෙනවා. ජරාවට වැටෙනවා. ව්‍යාධියට වැටෙනවා. මරණයට වැටෙනවා. නැවත නැවත සංසාර දුකම අනුභව කර කර ඒ දුකම ප්‍රාර්ථනය කරනවා. මෙතන තියෙන්නේ මෝඩකම. ඒ නිසා හැකි තරම් දුරට නුවණින් මෙනෙහි කරන්න පුරුදු වෙන්නට ඕනෑ. “මේවා අනිත්‍ය යි, දුක යි, අනාත්ම යි, අසුභ යි” කියන කරුණු හතරවත් අඩු වශයෙන්. තව තිබෙනවා. මේවා හේතු ඵල වශයෙන් නුවණින් මෙනෙහි කළ යුතු ආකාර රාශියක්. මේ හතරවත් අඩු වශයෙන් මෙනෙහි කරන්නට පුරුදු වන්නට ඕනෑ.

පෙර භවවල මේ කරුණු හතර දියුණු කළ අය සිටිනවා නම්, එවැනි කෙනකුට මේ ජීවිතයේදී ධර්මය ශ්‍රවණය කිරීමෙනුත් නිවන් යන්නට පුළුවන්. භාවනා කිරීමෙනුත් නිවන් යන්නට පුළුවන්. එසේ නැති කෙනකුට මේවා පාරමී වශයෙන් තමාගේ සිත තුළ දියුණු වී නැති නම්, බුදු කෙනෙක් ළඟට ඇවිත් බණ කිව්වත් නිවන් යන්නේ නැහැ. බුදු කෙනෙක් ඇවිත් මාර්ගය කියා දුන්නත්, ඒ මාර්ගය අනුගමනය කරලා නිවන් යන්නට බැහැ. මෙතෙක් ලෝකයේ පහළ වූ බුදු වරුන්ගේ ගණන සීමා කරන්නට බැරි තරම් විශාල යි. අප මේ දක්වා සංසාරයේ ඇවිදගෙන ආවේ මේ බුදුවරු මේ තරම් ධර්මය දේශනා කරලා, චතුරාර්ය සත්‍යය මතු කරලා, ලෝක සත්වයාට නිවන් මග පෙන්වා දීලා, අසංඛ්‍ය ගණන් සත්වයා නිවනට පත් කරද්දී අප මේ සංසාරයේ රැඳුණේ, එ දා අප මේ ගුණ ධර්ම දියුණු කර නො තිබූ නිසයි. ඉතින් දැන්වත් මේවා දියුණු නො කළොත් අනාගතයේ වෙන්නේත් ඔය ටිකමයි. නිවන් යෑමට බලාපොරොත්තු වන අය විසින් සංසාර දුකින් මිදීමට බලාපොරොත්තු වන අය විසින්, ඇති කර ගත යුතු ඒ ගුණ ධර්ම හතර ඇති කර ගන්නට ඕනෑ.

සාරාංශය

අප ප්‍රකාශ කළා, සෝවාන් වීමට උත්සාහ කරන කෙනකු විසින් ඇති කර ගත යුතු අංග හතරක්. සෝවාන් වූ කෙනකු ළඟ තිබෙන අංග හතරකුත් අප පැවසුවා. ඒ හතරට නො වෙයි අවධානය යොමු කළේ. සෝවාන් වීමට උත්සාහ කරන කෙනකු විසින් මෙන් ම සකෘදාගාමී, අනාගාමී හා අර්හත් වීමට උත්සාහ කරන අය විසින් ඇති කර ගත යුතු අංග හතරට යි.

ද සප්පුරිස සංසේවෝ

කල්‍යාණ මිත්‍ර සංසේවනය. මෙහිදී කල්‍යාණ මිත්‍රයන් වශයෙන් තීරණය කරන්නේ කවුරුන්ද කෙසේද කියා පැහැදිලි කළා.

විශේෂයෙන්ම තමාගේ ශ්‍රද්ධාව බහුශ්‍රැතභාවය ශීල ගුණය, සතිය, සමාධිය, ප්‍රඥාව, පරිත්‍යාගශීලි ගුණය ආදී නිවන් යෑමට අවශ්‍ය ගුණ ධර්ම, යම් කිසි කෙනකු ඇසුරු කිරීමෙන් වැඩි වෙනවා නම්, එවැනි කෙනකු කල්‍යාණ මිත්‍රයකු වශයෙන් සැලකිය යුතුයි.

සද්ධම්ම සවණං

නිවන් අවබෝධ කර ගැනීමට හැකි වන ආකාරයේ නියම ධර්ම දේශනා ඇසීම. “නිබ්බාණ පටිසංයුක්ත,”, “සුඤ්ඤත පටිසංයුක්ත” යන වචන අප ප්‍රකාශ කළා. නිර්වාණය විදහා දක්වන, මතු කර දක්වන, නිවන් ලැබීමට හේතු වන ධර්ම දේශනා හැකි තරම් දුරට ඇසිය යුතු යි. ඒ සම්බන්ධ පොතපත කියැවිය යුතුයි. ඒ සම්බන්ධ දැනුම ඇති අය සමඟ සාකච්ඡා කළ යුතු යි. නැවත නැවත අහල, කියවල, සාකච්ඡා කරල, ඒවා තමාගේ ම අවබෝධයක් බවට පත් කර ගන්න.

ධම්මානු ධම්ම පටිපත්ති

ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය වශයෙන් මා ප්‍රකාශ කළේ ශීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිශික්ෂා ධර්මය ටිකක් විස්තර වශයෙන් දැක්වෙන ආර්ය අෂ්ඨංගික මාර්ගය, ශීලය, සමාධිය, ප්‍රඥාව යන අංග 3 තමයි, ධම්මානු ධම්ම ප්‍රතිපත්තිය. ඒ අංග 3 ම තමයි අප ආර්ය අෂ්ඨාංගික මාර්ගය වශයෙන් විස්තර කළේ. මේ අංග අට ජීවිතයට එකතු කර ගත යුතු යි. දිනෙන් දින දියුණු කර ගත යුතුයි.

යෝනිසෝ මනසිකාරෝ

නුවණ නැති ව මෙනෙහි කිරීම අයෝනිසෝ මනසිකාරය. නුවණ ඇතිව මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරය.

අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දකිනවා නම්, ඒක යෝනිසෝ මනසිකාරයක්. දුක් වූ සංස්කාර, දුකක් වශයෙන් දකිනවා නම් එය යෝනිසෝ මනසිකාරයක්. අනාත්ම වූ සංස්කාර අනාත්ම වශයෙන් අවබෝධ කර ගැනීම යෝනිසෝ මනසිකාරයක්.

මෙයින් අදහස් කරන්නේ “මේවා අනිත්‍ය යි, දුක යි, අනාත්ම යි” කිය කියා, සිත සිතා ඉඳීම නො වෙයි. අවබෝධ කර ගැනීම යි.

ඊට අමතරව අශුභ යි කියා අවබෝධ කර ගත යුතු යි. මේ විධියට යම් කෙනෙක් කටයුතු කළොත් ඒ කුසල ධර්මය, ඒ පාරමී ශක්තිය කවදා හෝ දවසක සෝවාන් ආදී මාර්ග ඵල ලැබීමට හේතු උපනිශ්‍රය වෙනවා නිසැක යි. මේ අංග දියුණු කර ගැනීමෙන් ඔබටත් කවදා හෝ දවසකදී ප්‍රාර්ථනා කළ පරිදි නිවනින් සැනසීමට වාසනාව ශක්තිය උදාවේවා!

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා