පුහු වර්ණනාවට කැමති නීචයෝ

පුහු වර්ණනාවට කැමති නීචයෝ

බරණැස්නුවර ආසන්නයේ පිහිටි දඹ ගසක අතු ඵලබරින් නැමී ගොස් තිබුණේ ය. නා නා වර්ණවත් පක්‍ෂීහු එහි පැමිණ ඵලරස විඳීමෙහි නිරත වූහ. ඔවුන් අතර කපුටෙක් ද විය. ගොදුරු සොයා ඇවිදීමෙන් විඩාපත් නරියෙක්ද පක්ෂීන් දඹ කනු දැක එදෙසට ළඟා විය. දඹ ටිකක්වත් කෑවොත් යම්තමින් තම කුසගින්න නිවා ගැනීමට හැකිවෙති’යි සිතුනත් ගසට නැඟීමේ හැකියාවක් නොවීම ගැටලුවක් විය. ගසේ ඉන්නා කපුටා වර්ණනා කළොත් තම අරමුණ ඉටුකර ගැනීමට හැකිවෙති’යි නරියාගේ කපටි සිතට දැනිණ.

“ආ... කපුටු යාළුවා, ඔබේ ලස්සණ රූපයෙන් මුළුගහම අලංකාරවෙලා! ඔබ ඈතට පේන්නෙ හරිම ලස්සනට... හරියට ගහට නිල් මැණිකක් පැළඳුවා වගේ.”

කිසිසේත් ම ලස්සන රූපයක් තමාට නැති බව දැනසිටි කපුටා, නරියා විසින් වර්ණනා කරනු ලැබීමෙන් මහත් සතුටට පත් විය.

“ආ... යාළුවා, ඔබේ මිහිරි කටහඬට මගේ හිත ඇදීගිය තරම කියතොත්, කටේ තිබුණු දඹ ගෙඩියත් බිම වැටුණා! ඔබ ගහයට ඉන්නකොට ගහ උඩට පේන්නෙ හරියට සිංහ පැටියකු ඉඳගන ඉන්නවා වගේ... දඹ ටිකක් දෙන්න ද?”

මෙසේ ඇසූ කපුටා, නරියාගෙන් පිළිතුරක් ලැබෙන්නත් කලින් දඹ කඩ කඩා බිම දැමීය. නරියා ඒ දඹ ඇහිඳ කෑවේ ය.

නරියා සහ කපුටා ඔවුනොවුන්ට කරගත් ව්‍යාජ වර්ණනාව අසා සෙසු පක්ෂීහු ඵල රසවිඳීම හැර පලාගියහ. ඔවුන් වර්ණනා කරගන්නා අයුරු අසා උන් රුක් දෙවියෙක්,

“බොරුකියන නීච ක්‍රියා ඇති දෙදෙනකු එකතුවෙලා” යි ගර්හා කොට භයානක ශබ්දයක් පවත්වා ඔවුන් දෙදෙනා පලවා හැරියේ ය.


වැරදි කරන්න වෙලාව එනතුරු සිල් රකින්නෝ

බක නමින් හැඳින්වුණු දිවියකු ගල්තලාවක් මත නිදා සිටියදී ගංවතුරක් ගලා, ඒ ගල්තලාව වටේම ජලයෙන් යට විය. මේ නිසා එදින ගොදුරු සොයා ගැනීම සඳහා කිසි තැනක යන්නට ඌට නොහැකි විය. “අද මා උපවාස සීලය ආරක්ෂා කරනවා” යි තමන්ටම කියා ගත් දිවියා, ගල්තලාව මත වැතිරී උන්නේ ය. බක ගේ සීලය පරීක්‍ෂා කිරීමට සිතූ සක් දෙවු රජ, එළුවකුගේ වෙස්ගෙන ඌ නිදා උන් ගල්තලාව ඉදිරියෙන් ගමන් කළේ ය. දිවියා වහා නැගිට එළුවා වෙත පැන්නේ ය. එහෙත් අල්ලාගැනීමට නොහැකි විය.

“මා අතින් ප්‍රාණඝාතය සිදුවුණේ නෑ. ඒ නිසා මගේ සීලය කඩවුනෙත් නෑ” යි සිතූ දිවියා නැවතත් වැතුරුණේ ය. “ඔය තෝ සිල් රකිනා හැටිදැ”යි ඇසූ ශක්‍රයා එතැනින් ඉවත්ව ගියේ ය. එක්කලෙක උපසේන රහතන් වහන්සේ, ධුතාංග ධරව තව භික්ෂු පිරිසක් සමඟ පළොල් වනයෙහි විසූහ. දිනක් එහි වැඩම කළ බුදුරජාණන් වහන්සේ, ධුතාංගධාරී භික්ෂූන් පමණක් තමා වෙත පැමිණෙන ලෙස දන්වා පණිවුඩයක් යැවූහ. ඒ බව දැනගත් ධුතාංගධාරීන් නොවූ භික්ෂූහු ද පාංශුකූල සිවුරු පොරවාගන බුදුරදුන් ඉදිරියට පැමිණිය හ.

බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයට වැඩම කළ පසු ඒ භික්ෂූහු ද එහි ගියහ.

පළොල්වනයෙහි දී ධුතාංගධාරීන් සේ පෙනී සිටි, ධුතාංගධාරීන් නොවූ භික්ෂූන් පාංශුකූල සිවුරුද අතහැර වෙනත් සිවුරු පොරවා ගෙන සාමාන්‍ය ලෙස හැසිරෙනු බුදුරජාණන් වහන්සේ දුටහ.

“මොවුන්ගේ සිල්රැකීමත් බකගේ සිල්රැකීම වගේය”යි උන්වහන්සේ වදාළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා