මේ මොහොතේ නිහඬ අවධානය සිත එක්තැන් නොවීම

මේ මොහොතේ නිහඬ අවධානය සිත එක්තැන් නොවීම

පසුගිය සතිය හා බැඳේ

අවකාශයේ යම් තැනක එක්තැන් වූ” යන අදහසට වඩා “කාලයත් සමඟ එක්තැන් වූ” යන අදහසින් තේරුම් ගැනීම වඩා සුදුසුය මේ සමාධි යන්නෙහි අරුතයි.

හුස්ම වෙත රැඳුණු අවධානය තක්සේරු කිරීම

සමාධිය වෙත එළඹීම සඳහා හුස්ම කෙරෙහි අවධානය රඳවා ගෙන සිටීමට ඔබ මහත් වෙහෙසක් දැරිය යුතුය. හුස්ම ගන්නා වාර ගණන දැන සිටීම මේ සඳහා යොදා ගත හැකි ඵලදායී ක්‍රියා මාර්ගයක්ලෙස හඳුන්වා දීමට මම කැමැත්තෙමි. ඔබ අවුරුදු ගණනාවක් තිස්සේ භාවනාවේ යෙදුණු කෙනකු වුවත්, මේ ක්‍රමය ඉතා වැඩදායී වනු ඇත. විටින් විට මම මේ ගණන් කිරීමේ ක්‍රමය උපයෝගී කර ගැනීමෙන් “මගේ සිත සන්සුන් ද? පැහැදිලිද? අවධානාත්මක ද?” කියා තක්සේරු කර ගනිමි.

ගණන් කිරීම පහසු ක්‍රමයෙකි. නමුත් හුස්ම වාරයන් ගණන් කරමින් සිටිය දී වුව ද, සිත විසිර යා හැකි බැවින් සිහි – කල්පනාව බලවත් කර ගැනීම සඳහා එය යම්කිසි රටාවකට අනු ව කිරීම වඩාත් සුදුසු ය.

මෙහි දී එක් වටයක් හුස්ම වාර 45කින් සමන්විත වූයේ යැයි සලකමු. මෙම හුස්ම වාර හතළිස්පහ එක දිගට, 1 සිට 45 දක්වා ගණින්නේ නැති ව, එය නව කොටසකට බෙදා හුස්ම වාර නවයක්, හුස්ම වාර අටක්, හතක්, හයක්, පහක් හතරක්, තුනක්, දෙකක් හා එකක් වශයෙන් වෙන් වෙන් ව ගණන් කිරීම මෙහි ඇති විශේෂ ලක්ෂණයයි.

මේ ක්‍රමයට අනුව කොටසින් කොටසට හුස්ම වාර ගණන එක බැගින් අඩු කරමින්, නිවැරදි ව හුස්ම වාරයන් ගණන සිතෙහි සටහන් කර ගැනීම සඳහා “පසුගිය කොටසේ දී ගණන් කළේ හුස්ම වාර කීය ද? දැන් ගණන් කරන මේ කොටස හුස්ම වාර කීයකින් අවසන් කළ යුතු ද?” යනුවෙන් දැනුවත් ව සිටීමට සිදු වන හෙයින් හොඳ සිහිකල්පනාවකින් එය කළ යුතුය. උදාහරණයක් වශයෙන් පසුගිය කොටසේ දී 1 සිට 5 දක්වා හුස්ම වාර පහක් ගණන් කළේ නම්, දැන් කොටස හුස්ම වාර හතරකින් අවසන් කළ යුතුය. ඊළඟ කොටසේ දී ඔබ ගණන් කළ යුත්තේ හුස්ම වාර තුනක් පමණකි.

තවදුරටත් මෙය පැහැදිලි කරත හොත් වටයක ආරම්භයේ දී ඔබ හුස්ම ඉහළට ගන්නා විට “එක” කියා සිතෙහි සටහන් කර ගන්න. හුස්ම පහළට හෙළන විට නැවතත් “එක” කියා සිතෙහි සටහන් කර ගන්න. “එක – එක” යයි සිතෙන් කියමින් ඔබ ඒ සටහන් කර ගත්තේ පළමුවන හුස්ම වාරයයි. ඔබ සිටින්නේ වටයේ පළමුවන කොටසේ බැවින් එයට හුස්ම වාර නවයක් ඇතුළත් විය යුතුය. එම නිසා ඊළඟ හුස්ම ඉහළට ගන්නා විට “දෙක” කියාත්, පහළට හෙළන විට නැවතත් “දෙක” කියාත් සිතෙහි සටහන් කර ගන්න. මේ ආකාරයට “තුන – තුන”, “හතර – හතර” ආදී වශයෙන් “නවය – නවය” දක්වා හුස්ම වාර නවයක් සිතෙන් ගණින්න. ඒ පළමුවන කොටසේ අවසානයයි.

දැන් ඔබ පැමිණ සිටින්නේ දෙවන කොටසේ ආරම්භයටයි. පසුගිය කොටසට වඩා එක් හුස්ම වාරයක් අඩුවෙන් මෙහි දී ගණන් කළ යුතු බැවින් මෙම කොටසට ඇතුළත් විය යුත්තේ හුස්ම වාර අටකි. පසුගිය කොටසේ දී මෙන් හුස්ම ඉහළට ගන්නා විට “එක”, හුස්ම පහළට හෙළන විට “එක” කියා ආරම්භ කොට ඊළඟ හුස්ම “දෙක - දෙක” කියා සිතෙන් ගණන් කරමින් “අට – අට” දක්වා හුස්ම වාර අටක් ගණන් කර දෙවන කොටස අවසන් කරන්න. දැන් තුන්වන කොටසේ ආරම්භයයි. ඊට හුස්ම වාර හතක් ඇතුළත් විය යුතුය. එම හුස්ම වාර හත ගණන් කළ පසු ඔබ එළඹෙන්නේ වටයේ හතරවන කොටසටය. එහි දිග හුස්ම වාර හයකි.

මේ අයුරින් පස්වන කොටසට හුස්ම වාර පහක් ද, හය වන කොටසට හුස්ම වාර හතරක්ද, හත්වන කොටසට හුස්ම වාර තුනක් ද, අටවන කොටසට හුස්ම වාර දෙකක් ද නවවන කොටසට එනම් වටයේ අවසාන කොටසට එක හුස්ම වාරයක් ද සිතෙන් ගණන් කර කොටස් නවය අවසන් කරන්න.

මේ අවස්ථාව එළඹි විට ඔබ හුස්ම ගණන් කිරීමේ එක් වටයක් නිම කොට ඇත. මේ සඳහා ඔබ හුස්ම ඉහළට ගැනීමේ හා පහළට හෙළීමේ වාර 45ක් කෙරෙහි අවධානය නො කඩවා පවත්වා ගෙන ඇත. මේ ආකාරයෙන් තව වට දෙකක් හුස්ම වෙත සිහිය රඳවා ගත හැකි නම්, වට තුන අවසානයේ දී නො කඩවා පිළිවෙළින් හුස්ම වාර 135ක් අවසාන වන තෙක් පරීක්ෂාකාරී ව සිට ඇත. මේ අතරතුර දී “මා දැන් සිටින්නේ වටයේ කිනම් අවස්ථාවක ද? අටවැන්නේ මැද ද?, ගිය වාරයේ මා ගැන්නේ එකේ සිට හයට ද? නැති නම් එකේ සිට පහට ද?” යනුවෙන් සැකයක් පහළ වූයේ නම් ඊට පිළිතුරක් සෙවීමට උත්සාහ නො ගෙන එකවර ම අලුත් වටයක් මුල සිට ආරම්භ කරන්න.

අවිශ්වාසයකින් තොර ව වට තුනක අවසානය තෙක් හුස්ම වෙත සිහි රඳවා ගැනීමට හැකි නම්, ඔබ හුස්ම ගැනීම සහ හෙළීම කෙරෙහි අවධානය නො කඩවා පවත්වා ගැනීමේ හැකියාව සැලකිය යුතු අන්දමින් වර්ධනය කර ගෙන ඇත. එනම් භාවනාවේ තුන්වන අවධිය වන හුස්ම වෙත රඳවා ගත් අවධානයෙහි රසය කෙබඳු දැයි ඔබ වටහා ගෙන ඇතිබව කිව හැකි ය.

කැළඹීමෙන් පිබිදීම

ඇතැම් විට භාවනාව මහත් අසීරු කාර්යයක් වන්නේ විටින්විට ඇති වන අධික නිදිමත ගතියත්, සිතෙහි දඩබ්බර ගතියත්, සිත අයාලේ විසිර යෑමත් යනාදිය හේතු කොට ගෙනය. බොහෝ විට තමා සිටින්නේ කොතැනක ද කියා වත් දැනීමක් නැත. තමා කරන්නේ කුමක් ද හෝ සිටින්නේ කොතැනක ද හෝ යනුවෙන් සැකයක් ඇති වුව හොත් එය අවධානය රැක ගැනීමට ඔබට තිබූ ශක්තිය පිරිහී ගිය බවට ඉඟියක් සේ සිහියට ගත යුතුය. දැන් මුල සිට ආපසු පටන් ගැනීම හැර වෙන කළ යුත්තක් නැත.

ආපසු මුලට යෑමෙන් භාවනා යෝගියාට ඇති වන මානසික කම්පනය ඔහු තුළ උනන්දුවක් ඇති කර ලීමටත්, අවධානය ගැන සුපරීක්ෂාකාරී වීමටත්, මනස පුබුදුවා ලීමටත් උපකාරී වේ. නැවත – නැවතත් මුල සිට පටන් ගැනීමට සිදු වීමෙන් කෙනෙකු තුළ ඇති විය හැකි අසහනය බලවත්ය. එයින් ඇති වන මානසික කැළඹීම සිතෙහි උනන්දුවක්, ධෛර්යක් සහ නිවැරදි සැලකිල්ලක් උපදවන අතර, එම කැළඹීම ම භාවනාවේ තෙවන අවධිය හෙවත් ‘හුස්ම වෙත රදවා ගත් අවධානය’ ප්‍රගුණ කර ගැනීමට උපකාරී වනු ඇත.

අවධානය හුස්ම වෙත යොමු ව තිබිය දී සිතෙහි අන් තැනක් සිතීමෙහි යෙදී සිටිය හැකිය. අප මෙහි දී ප්‍රවේසම් විය යුත්තේ දෙයාකාරයකින් මෙය සිදු විය හැකි බැවිනි. එක්කෝ මනස හුස්ම වෙත අවධානය යොමු කර ගෙන සිටිය දී එය වෙන තැනකට ගොස් ඒ හා සැණකින් ආපසු පැමිණ නැවතත් වෙන තැනකට යෑමයි. මේ අයුරින් ඉදිරියට හා ආපස්සට වේගයෙන් දිවෙන මනසක් කෙසේ වත් නිශ්චලතාවයට නො පැමිණෙනු ඇත.එසේත් නැති නම් මනස හුස්ම සිය කේන්ද්‍රය කොට ගෙන සිටිය දී එම අරමුණ අවට දේවල් කෙරෙහි ද සිහියෙන් සිටින බවෙකි.

ඒ නිසා භවනාවේ පරමාර්ථය සපුරා ලීම සඳහා කළ යුතු ව ඇත්තේ හුස්ම සමඟ නිකුත් දේවල් ඔබේ මනසෙහි තවමත් රැඳී ඇත්නම් හුස්ම වෙත ඇති අවධානයෙහි වැදගත්කම මෙනෙහි කොට එය තම අවධානයෙහි කේන්ද්‍රස්ථානය සේ පිහිටුවා අනිකුත් දෑ පිළිබඳ අවධානය ඊට දුරස්තර ව පිහිටීමට කටයුතු සැලසීමය. ඒවා මනසම නැමැති තිරයෙහි මැද පිහිටීමට ඉඩ නොදිය යුතුය. හුස්ම තිරයේ මැද පිහිටුවා ගෙන එය වෙත සම්පූර්ණ අවධානය යොමු කරන විට බාහිර දේ තිරයෙන් ඉවත්ව යන්නේ ය.

මෙය හොඳින් වටහා ගැනීම සඳහා, උදාහරණක් ලෙසට විහාර ගෙයක පිහිටි බුදු පිළිමයක් සිහියට ගන්න. බුදු පිළිමය වෙත සිත ‘යොමා ගෙන සිටින විට එයට පිටුපසින් පිහිටි විශාල බිත්තිය ද, එය ඉදිරියෙන් ඇති පූජාසනය ද, ඒ මත තබා ඇති මල් ද එම අවධානයට එක් වනු ඇත. නමුත් ඔබ නො කඩවා බුදුපිළිමය දෙස බලා සිටිය හොත් වෙනත් දෑ ඔබේ අවධානයෙන් ගිලිහී යනු ඇත. මිනිත්තු පහකින් හෝ දහයකින් හෝ ඔබ දකින්නේ බුදු පිළිමය පමණි. එය අසල ඇති මල් පවා ඔබට නො පෙනී යනු ඇත. මෙය අවධානයේ ස්වභාවයයි. ඔබ යම් දෙයක් වෙත අවධානාත්මක ව සිටින විට සිත එය එල්ල වූ තැනට කිඳා බසී.

මෙය සවසට රූපවාහිනිය නැරඹීමට බෙහෙවින් සමානය. එය ක්‍රියාත්මක කළ විට එහි පිහිටා ඇති, එය පාලනය කරන නොයෙකුත් බොත්තම් ද, එය මත හා එහි දෙපසින් පිහිටි දේවල් ද මුල දී ඔබේ ග්‍රහණයට අසු වුව ද සුළු වේලාවකට පසු අවධානය හොඳින් එල්ල වූ විට ඔබට පෙනෙන්නේ රූපවාහිනි තිරයේ ඇති දෑ පමණකි. මුල දී හුස්ම සමඟ ඈඳුන වෙනත් දෑ ඔබේ අවධානයෙහි රැඳී ඇත්නම් හුස්ම මනසෙහි මැදට ගෙන, අනික්වා ඉන් ඈත් කොට තැබීමට කටයුතු කරන්න. එසේ කළ විට අනිකුත් දෑ අතුරුදහන් වී යනු ඇත. එසේ නො කොට අනිකුත් දෑ මනසේ මැදට එන්නට ඉඩහලොත් හුස්ම අතුරුදහන් වී එය මනස නමැති තිරයෙන් මැකීයන්නේ ඔබ නොදැනුවත් ව මය.

හුස්ම ගැනීම - හෙළීම කෙරෙහි යොමු කළ අවධානය වැඩිදියුණු කිරීම මෙහි දී පරමාර්ථය කර ගත යුතුය. මේ අවස්ථාව වන විට හුස්ම ඉහළට ගැනීමේ දී අඩු තරමින් මොහොතක හෝ දෙකක හෝ කාලය තුළවත් ඒ ගැන සිහියෙන් සිටීමෙන් හුස්ම ගන්නා බවත්, හුස්ම පහළට හෙළීමේ දී ද අඩු තරමින් මොහොතක හෝ දෙකක හෝ කාලයක් තුළවත් ඒ ගැන සිහියෙන් සිටීමෙන් හුස්ම පහළට හෙළන බවත් තහවුරු කර ගැනීමට ඔබට හැකියාවක් ඇත.

පාලනය නුසුදුසුය

තමා හුස්ම පාලනය කිරීමට නොදැනුවත් ව ම ගන්නා තැත මේ අවධියේ දී බොහෝ විට උද්ගත වන බාධකයෙකි. එය හුස්ම ගැනීම වේදනා දෙන කටයුත්තක් බවට පත් කරයි. මෙම බාධකයෙන් මිදීම සඳහා කළ යුත්තේ වාහනයක ගමන් කරන මඟියකු එහි කවුළුවක් තුළින් පිටත බලා සිටින්නා සේ හුස්ම දෙස බලා සිටීමය. තමා මඟියකු මිස එහි රියැදුරා නොවන අතර!, “පිටුපස ආසනයේ හිඳ ගෙන අණ දෙන රියැදුරා” නොවන බව ද සලකා, අණ දී ම් සහ විධාන කිරීම් අත්හැර දමා ගමනෙහි ආශ්වාදය විඳින්න. ගතට හුස්ම ගැනීමට ඉඩ දී, ඊට අතපොවන්නේ නැති ව එදෙස බලා සිටීමෙහි පමණක් යෙදෙන්න.

හුස්ම ඉහළට ගන්නා බව ඔබ දනී ද? හුස්ම පහළට හෙළනා බව ඔබ දනී ද? මෙසේ එක් හුස්මක් වත් අත නෑර, හුස්ම වාර සියයකට වැඩි ගණනක් කෙරෙහි අවධානය පවත්වා ගෙන සිටිය හැකි නම් භාවනාවේ තුන්වන අවධිය ලෙස හැඳින්වෙන “හුස්ම වෙත රඳවා ගත් අවධානය” වෙත ඔබ එළඹ ඇත.

ආනාපාන සති භාවනාවෙහි සඳහන් වන “ඉහළට ගන්නා හුස්ම දිගු හුස්මකි, නැති නම් කෙටි හුස්මකි, පහළට හෙළනා හුස්ම දිගු හුස්මකිි, නැති නම් කෙටි හුස්මකි, කියා භික්ෂුව දනී” යන උපදේශයෙන් විස්තර කෙරෙන මට්ටමට, මේ අවස්ථාවේ දී ඔබේ භාවනාව දියුණුවට පත් වී ඇත. එක් හුස්මක්, එය අවසානයේ දී, තවත් හුස්මක්, එය අවසානයේ දී, තවත් හුස්මක්.......

අනුක්‍රමයෙන් ගොඩ නැඟීම

එළඹ ඇති අවධිය මීට ඉහත අවධීන්ට වඩා සාමකාමීය, පී‍්‍රතිමත්ය. භාවනාවේ තවත් ගැඹුරට යාමට නම් අවධානය හුස්ම වෙත සම්පූර්ණයෙන් ම පවත්වා ගැනීමට ඔබ දැන් දිරිගත යුතුය. අප යෙදී සිටින්නේ තෝරා ගත් අරමුණ වෙත ඇති අවධානය ප්‍රගුණ කරමිනි. එය ටිකින් ටික ගොඩනඟා ගත යුත්තකි. මුල දී එය හොඳින් පවතින අවධානයක් ලෙස නො දුටුවත් එය සැලකිය යුතු අවධානයෙකි. සෑහෙන කාලයක් අවධානයෙන් සිට සිත ඉවතට ඇදී යයි. එය වටහා ගත් විගස සිත නැවත අරමුණ වෙත දිව එයි.

තවදුරටත් මෙය පැහැදිලි කරනවා නම් හුස්ම වෙත ඇති අවධානය වැඩීමට හුස්ම ගැනීම වෙත යොමු කළ සිත සුළු මොහොතකට හෝ වෙනතකට යොමු වූවොත්, ඊළඟ හුස්ම හෙළීම වෙත එය ගෙන ආ යුතුය. එය සිදු වන බව දුටු පසු සිත නැවතත් ටිකකට හෝ ඉන් ඉවත් වුව හොත්, ඊළඟ හුස්ම ගැනීම වෙත එය ගෙන ආ යුතුය. ඔබ මෙහි දී යෙදී සිටින්නේ සිත ඉවතට ඇදී යෑමේ කාල සීමාව පාලනය කරමිනි, කෙටි කරමිනි.

මේ අවධියේ දී එම අවධානය වෙනතකට ඇදී යාමට කිසි සේත් ම ඉඩ නො දිය යුතුය. මෙය හරියට කෙනකු සිරගත කිරීම හා සමානය. මුල දී මේ තැනැත්තා (සිත) දිනකට මිනිත්තු පහක කාලයක් සිර ගෙයි වාතාවරණයට හුරු කළ යුතුය. හැම දිනක ම මිනිත්තු පහක කාලයක් සිරගෙයි විසීමට හුරු වීමෙන් පසු එම කාලය මිනිත්තු දහය දක්වා දිගු කොට, අනුක්‍රමයෙන් මුළු දින ම, හැම දිනක ම, ඔහු එහි රඳවා ගත යුතුය. එනමුත් එය ඉතාමත් සැපවත්, සුවදායක, සිත් අලවන සිර ගෙයක් වනු නො අනුමානය. උත්සාහ ගෙන බලන්න.

සෑම මොහොතක් ම දැන හිඳින්න

සතරවන අවධිය වන “හුස්ම වෙත රඳවා ගත් සම්පූර්ණ අවධානය” ඇති වන්නේ, යමකු හුස්මෙහි සෑම මොහොතක් වෙතට ම තම අවධානය විහිදුවා ගත් විට දී ය. හුස්ම ඉහළට ගැනීමේ දී මුල්ම වින්දනය උපදින විට ම එය හුස්ම ඉහළට ගැනීමේ ආරම්භක අවස්ථාව බව ඔබ දනී. එතැන් සිට, හුස්ම ඉහළට ගැනීම කෙරෙද්දී ක්‍රමයෙන් දියුණු වන්නා වූ සෑම වින්දනයක් දෙස ම එකක් වත් මඟ නොහැර අවධානයෙන් සිටින්න. හුස්ම ඉහළට ගැනීම අවසන් වූ විට, එම මොහොත ද ඔබ දනී. එය හුස්ම ඉහළට ගැනීමේ අවසාන මොහොත ලෙස මනස තහවුරු කර ගනී. ඊළඟ මොහොත, හුස්ම ගැනීමත් - හුස්ම හෙළීමත් අතර පවතින ඉඩකඩයයි, අවකාශයයි.

හුස්ම හෙළීම අරඹන තෙක් කිසිවක් සිදු නොවන මෙම ඉඩකඩය සෑදී ඇත්තේ මොහොතවල් රාශියකිනි. ඊළඟට හුස්ම හෙළීමේ ආරම්භය ඇති වන මොහොතක්, ඉන් අනතුරු ව එය වැඩෙමින් පවතින සෑම මොහොතක් මත්, අවසාන වශයෙන් හුස්ම හෙළීමේ කටයුත්ත සම්පූර්ණ වී, හුස්ම හෙළීම අතුරුදහන් වී යන මොහොතත් ඔබ දනී. මේ සියල්ල ම කෙරෙන්නේ නිහඬව, දැන්, මේ මොහොතේ දී ය.

එම අවධානය මොහොතකට හෝ දෙකකට හෝ සීමා නො කොට, හුස්ම ගැනීමේ දී හා හෙළීමේ දී මුල සිට අගට නො කඩවා, සම්පූර්ණ වශයෙන් ම පවත්වා ගත යුතුය. හුස්ම ඉහළට ගැනීම ආරම්භ කළ මොහොතේ සිට එහි අවසානය දක්වා හුස්ම ඉහළට යෑම පවත්නා කල් දැනෙන වේදිතය භූක්ති විඳීමට සිත නම්මා ගත යුතුය. මෙලෙස ම හුස්ම පහළට හෙළීමේ දීත් එහි ආරම්භයේ සිට එහි පහස තුනී වී ගිලිහී යන තෙක් සිහිය රඳවා ගත යුතුªය. “හුස්ම කඳ වෙත පවත්වා ගන්නා වූ සම්පූර්ණ අවධානය” යනුවෙන් ආනාපාන සති සූත්‍රයෙහි විස්තර කෙරෙන්නේ මෙයයි.

මනසට තනිකර ඉඩ දෙන්න

මේ අන්දමින් නො කඩවා හුස්ම වාර සිය ගණනක් තුළ හුස්ම ඉහළට ගැනීමේ හා පහළට හෙළීමේ සෑම මොහොතක ම ආශ්වාදය විඳින්න. මෙම අවධිය “හුස්ම වෙත රඳවා ගත් සම්පූර්ණ අවධානය” ලෙස හැඳින්වෙනුයේ එම නිසාය. දත්මිටි විකා බලය යෙදීමෙන් වත්, තදින් අල්ලා ගැනීමෙන් හෝ තද කර ගැනීමෙන් වත්, මෙම අවස්ථාවට එළඹිය නො හැකිය.

මෙබඳු නිසලතාවයක් වෙත ළඟා විය හැක්කේ මේ මොහොතේ නිහඬ ව කෙරෙන්නා වූ ආශ්වාස - ප්‍රශ්වාසය ගෙන දෙන ක්‍ෂණික ආශ්වාදය හැර අනෙකුත් සෑම ලෞකීය දෙයක්මත් අත්හැර දැමීමෙනි. “ඔබ” මේ අවධිය වෙත නො එළඹෙයි. මේ අවධිය වෙත එළඹෙන්නේ මනසයි. මනස විසින් ම ඒ සඳහා අවශ්‍ය වැඩ කොටස සැපයේ. ආශ්වාස - ප්‍රශ්වාසය පමණක් දැන හිඳීමෙන් ළඟා කර දෙන මේ අවධිය ඉතාමත් සුවදායක මෙන් ම සැනසිලිදායක ද බව මනස වටහා ගනී.

හුස්ම වෙත සම්පූර්ණ අවධානය ඇති කර ගත් විට එය හැර වෙනත් දේ මනසෙහි ඇති නම්, ඒවා හුස්ම හා බැඳුණු සිතිවිලි හෝ එහි සුවය හෝ ඒ පිළිබඳ විස්තර හෝ විය යුතුය. වෙනත් අයුරකින් කියත හොත් ඒ හැර මෙලොව වෙනත් කිසිවක් නැති ලෙසට ඔබට හැඟෙනු ඇත.

ඉක්මන් නො වන්න

පළපුරුදු යෝගාවචරයනට මෙම අවස්ථාව එළඹි විට සිත ගැඹුරු, දුර්බෝධ සමාධියකට රැහැණකින් බැඳ ඇද ගත් ලෙසට සමාන හැඟීමක් පහළ වනු ඇත. සමහර විට මෙතැන දී “සමාධි නිමිත්ත” යනුවෙන් හැඳින්වෙන සළකුණ පහළ වීමට පුළුවන. “සමාධි සළකුණ” හෝ “සමාධි නිමිත්ත” හෝ යනුවෙන් අදහස් කෙරෙනුයේ සිත එකඟ වීමේ සළකුණයි.

මනසෙහි මැවෙන මෙම සළකුණ හුස්මෙහි එක්තරා ස්වරූපයෙකි. ගැඹුරු සමාධියකට එළඹීමට හැකියාව ලත් විට මෙම සළකුණ ඉතා වැදගත් වන්නේ එය ධ්‍යානයකට පිවිසීමට උපකාර වන හෙයිනි. සතරවන අවධියට එළඹීමට ආසන්න ව සිත සන්සුන් බවට පත් වන කාලසීමාව තුළ දී මෙම සමාධි නිමිත්ත මතු වීමට බොහෝ විට ඉඩ ඇත. ඔබ එය නො සලකා හැර, සතරවන අවධියට සුදුසු ප්‍රකාර මානසික ශක්තිය ඇති කර ගැනීමට මෙහි දී සිතට ගත යුතුය.

මේ අවධියේ දී අවශ්‍ය තරමේ සමාධියක් නොමැති ව සතරවන අවධියට අදාළ ප්‍රමාණයේ අවධානය රැක ගෙන සිටීමේ බලයක් සිතෙහි උපදවා ගන්නේ නැති ව මේ සමාධි නිමිත්ත පහළ වූ විට එය ලුහුබැඳ යෑම යෝගාවචරයන් පොදුවේ කරන අනුවණ ක්‍රියාවෙකි. එයින් සිදු වන්නේ සමාධි නිමිත්ත පමණක් නො ව හුස්ම ගැන තිබූ අවධානය ද සිතින් ගිලිහී යාමය. එසේ කළ හොත් භාවනාවේ මූලාරම්භයට අකමැත්තෙන් වුව ද නැවත යෑමට සිදු වේ.

ලබන සතියට...

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා