අපා දුක් විඳි මනු සතුන් අද තුටින් ගී ගයා නටමින්...

දිනමිණ පුවත පල දරයි

අපා දුක් විඳි මනු සතුන් අද තුටින් ගී ගයා නටමින්...

අද ඔවුන් අලුත් තැනක

පන්විල මඩුල්කැලේ වතු යායේ අලුතින් ඉදිකරන ලද තේ කර්මාන්ත ශාලාවකට යාබදව අබලන් වූ ලයින් කාමරවල ඉතාමත් කටුක දිවියක් ගත කළ වතු කම්කරු පවුල් 16ට රජය මැදිහත්ව සියලු පහසුකම්වලින් යුතු නව නිවාස ඉදිකරදී තිබේ.

තේ කර්මාන්ත ශාලාවේ ඝෝෂාවත් එයින් පැතිරෙන තේ කුඩු දූවිල්ලත් හා එහි අප ජලය පිටකරන කානුවත් නිසා සිය දූ දරුවන් සමග අපා දුකක් විඳිමින් සිටි මෙම වතු කම්කරු පවුල්වල දුෂ්කර ජීවිත පිළිබඳව දිනමිණ පුවත්පතේ ඡායාරූප සහිත පළ කළ පුවත් වාර්තාවෙන් පසු ඒ කෙරෙහි වහාම අවධානය යොමු කළ බලධාරීන් ඉතා කෙටි කාලයක් තුළ මෙම නිවාස ඉදිකර දීමට පියවර ගනු ලැබීය.

එක් අයෙකුට පර්චස් 7 බිම් කොටසක උරුමය සහිත මාර්ග විදුලිය ජලය ආදී සියලු අංගෝපාංගයන්ගෙන් සපිරුණු මෙම නිවාස සංකීර්ණය පන්විල ප්‍රදේශයේ වතුකරයේ තිබෙන පහසුකම් සහිත හොඳම නිවාස සංකීර්ණය බවට පත්කර තිබේ.

වතු ජනතාව නව නිවාසවල සතුටින්

නුවරඑළියේ පිහිටි කුඩා බංගලාවක් මෙන් ඉදිරිපස විවිධ මල් වර්ගද පිටුපස නිවසට අවශ්‍ය එළවළු බෝගයන්ගෙන්ද සපිරුණු මෙම නිවාසවල ජීවත්වන කම්කරු පවුල් දැන් ඉතාමත් තෘප්තිමත් ජීවිතයක් ගත කරන බව පැවසූහ.

නව ජීවන නිවාස සංවර්ධන ව්‍යාපෘති වැඩසටහන යටතේ ආර්ථික කටයුතු සංවර්ධන අමාත්‍යාංශය, වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශවල පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ රුපියල් මිලියන හතහමාරක පමණ වියදමකින් මෙම නිවාස ඉදිකරදීමට වතු සේවක සමුපකාර සමිතිය ද දායකත්වය ලබාදී ඇති අතර එහි කටයුතු සඳහා මඩුල්කැලේ වතු අධිකාරී එස්. කරුණාරත්න මහතාගේ උනන්දුව හා කැපවීම එම නිවැසියෝ ප්‍රශංසාත්මකව අගය කළහ.

තේ කර්මාන්ත ශාලාව යාබදව ලයින් කාමරවල දුක්ඛිත ජීවිතයක් ගත කළ මෙම වතු කම්කරු පවුල් මුහුණ පා සිටි දුෂ්කරතා පිළිබඳව මාධ්‍යයන් දැනුවත් කිරීමට දායකත්වය ලබාදී නව නිවාස ඉදි කිරීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා නිදහස් වතු සේවක සංගමයේ පන්විල කොට්ඨාසයේ සම්බන්ධීකරණ නිලධාරී එම්. ඒ. සිංහාර් මහතා විශාල සහයෝගයක් ලබාදී ඇති බව එහි නිවැසියෝ පැවසූහ.

මෙහි පදිංචිකරුවකු වන වෘත්තිය සමිති ප්‍රධානියකු ද වන එස්. සිවරාජ් මහතා මේ තරම් පහසුකම් තිබෙන නිවාස වතුකරයේ කොහේවත් නැහැ. දැන් අපට හැම පහසුකමක්ම තිබෙනවා. පාසල, කෝවිල ආදි නොයෙකුත් පහසුකම්ද තිබෙනවා. කවුරුත් වැඩ පළ කරගෙන සතුටින් ජීවත් වෙනවා.

මේ සඳහා බලධාරීන් අවදි කළ දිනමිණ පත්තරයට ස්තූති කරනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා