තේ කෝප්පයේ විහිළුවෙන් තරුණ කතකගේ දිවි නැතිවේ

තේ කෝප්පයේ විහිළුවෙන් තරුණ කතකගේ දිවි නැතිවේ

උදේ තේ වෙලාවේ තරුණ සැමියා විසින් සිය තරුණ බිරියට කළ විහිළුවක් දුරදිග යෑමෙන් බිරිය සිය සිරුරට ලාම්පු තෙල් වත්කරගෙන ගිනි තබාගැනීමෙන් පිළිස්සුම් තුවාල සහිතව මිය යාමේ ශෝකජනක පුවතක් නෑබඩ නියුචැටල්වත්ත ප්‍රදේශයෙන් වාර්තාවේ.

හොරණ හදිසි මරණ පරීක්‍ෂක සුමේධ ගුණවර්ධන මහතා අදාළ මරණ පරීක්‍ෂණය පැවැත්වූ අවස්ථාවේ සැමියා වන සෝමසුන්දරම් හරිස දර්ශන් (24) නමැති අය කටඋත්තරය දෙමින් මෙසේ ද පැවසීය. මියගිය පලඩියන්ඩ් මනුෂා යන අය මගේ විවාහක බිරියයි.

ඇගේ වයස 21 යි. අපි පදිංචිව ඉන්නේ නෑබොඩ නියුචෙටල්වත්තේ හොරහේන කොටසේ නිවසක. අපි විවාහ වුණේ අවුරුදු තුනකට ඉස්සර. අපිට දරුවකු ඉන්නවා. මීට මාසයකට පෙර උදේ මම වැඩට යන්න ලැහැස්ති වුණා. බිරිය තේ එකක් අරගෙන ආවා. ඒක මට දුන්නා. වැඩට යෑමට එනකොටත් පරක්කු වෙලා හිටියේ.

“ඔයා පරක්කු වෙලා නැගිටල තේ එකක් හදාගෙන ආවා. මම අද ඔයාගෙ තේ බොන්නෙ නෑ කියල විහිළුවට කියමින් තේ කෝප්පය අතට ගත්තා.” එතකොට ම ඇය කුස්සියට දිව්වා. ලාම්පු තෙල් ඇඟ පුරා හලාගෙන ගිනි පෙට්ටියක් අරන් මිදුලේ ටැප් එක ළඟට ආවා.

ඈ පත්තු කරගෙන ආපු ගිනිකූර සුළඟට නිවුණා. මම කෑ ගසද්දීම තවත් ගිනිකූරක් පත්තු කළා. ගවුමට ගිනි තියාගත්තා. මම ඇයව අල්ලගෙන ගවුම ගැලෙව්වා. එයත් ගවුම ගලවන්න උදව් වුණා. වතුර ටැප් එකට ඈව ඇල්ලුවා. ගෙවල් වටේ සිටින අයගෙන් උදව් ඉල්ලා කෑගැසුවා.

පසුව ත්‍රිවිල් රථයකින් හොරණ රෝහලට ගෙන ආවා. 14 වාට්ටුවට ඇතුළු කළා. එවිට වේලාව උදේ 9.30 යි. මාසයක් පමණ කාලයක් රෝහලේ සිටියා. හුස්ම ගැනීම අපහසු වුණා.  ඉන්පසු හදිසි ප්‍රතිකාර ඒකකයට දැම්මා. එතැන සති දෙකක් පමණ සිටියා. යළිත් වාට්ටුවට දැම්මා. ඇය ළඟ නතර වී සිටියේ ඇගේ පුංචි අම්මා වන රීටා.  මනූෂාට හුඟක් අමාරුයි කියල මට කෝල් එකක් දුන්නා. මම රෝහලට ගියා. මගේ බිරිය මනූෂා මියගොස් ඇති බව වෛද්‍යවරුන්ගෙන් දැන ගත්තා.”

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා