රසායනික අවි ප්‍රහාර චෝදනා සිරියාව තරයේ ප්‍රතික්ෂේප කරයි

රසායනික අවි ප්‍රහාර චෝදනා සිරියාව තරයේ ප්‍රතික්ෂේප කරයි

සිරියන් රජයට එරෙහිව කැරලි ගසන විරෝධතාකරුවනට රසායනික අවි යොදා ගෙන ආරක්ෂක හමුදා ප්‍රහාර එල්ල කරන බවට ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය කරන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි . මේ අතර මෙවැනි භීතියක් ඇතිකර සිරියාවේ අභ්‍යන්තර කටයුතුවලට යුදමය වශයෙන් මැදිහත් වීමට උත්සාහ කොකරන ලෙස සිරියාවේ කුළුපග මිතුරෙක් වන රුසියාව අනතුරු අඟවා තිබේ .

රුසියන් අරමුදල්වලින් පවත්වාගෙන යන වෙබ් අඩවියකට කරුණු පැහැදිළි කරමින් සිරියන් ප්‍රවෘත්ති අමාත්‍ය ඔම්රාන් අල් - සොබි පවසා ඇත්තේ මෙම චෝදනා පදනම් විරහිත බවයි .

ජාත්‍යන්තර නීතියට ගරු කිරීමක් වශයෙන් නොව , මානුෂත්වයට සහ සාර ධර්මවලට ගරු කරන රටක් වශයෙන් සිරියාව මෙවැනි ක්‍රියාවකට කිසි දා නොපෙළඹෙනු ඇතැයි ඔහු අවධාරණය කර ඇත . කෙසේ වෙතත් ප්‍රධාන විපක්ෂය චෝදනා කරන්නේ පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඩැමස්කස් නගරය අසළ දර්යා නගරයට විෂ සහිත වායු ප්‍රහාර එල්ල කළ බවට සාක්ෂි ඇති බවයි .

මේ අතර ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය විසින් ජගත් සංවිධානයට පැමිණිලි කර ඇති මෙම ආන්දොලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවට ජගත් මහ ලේකම් බැන් කී මූන් සහතික වී ඇත .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා