සචිත්‍රගේ අඩුව කල්කටා පිලට හරහට හිටී

සචිත්‍රගේ අඩුව කල්කටා පිලට හරහට හිටී

අයි.පී.එල්. තරගාවලියේ චෙන්නායි පිල සමග පෙරේදා පැවැති තරගයෙන් කල්කටා පිලට පරාජය වීමට සිදුවූයේ පිට දඟ පන්දු යවන සචිත්‍ර ‍සේනානායක ක්‍රීඩා නොකිරීම බව වාර්තා වී ඇතැයි ටෙලිග්‍රාෆ් පුවත්පත පවසයි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තමිල්නාඩු ප්‍රාන්තයේ ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබීමේ හේතුවෙන් චෙන්නායි නුවර පැවැති එම තරගයට ක්‍රීඩා කිරීමට සචිත්‍රට අවස්ථාව නොලැබිණි. එම තරගයෙන් කල්කටා පිල ලක ුණු 14කින් පරාජයට පත්විය.

එම තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි පිල ඕවර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 200ක් වාර්තා කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කල්කටා පිල ඕවර 20 අවසානයේ රැස් කළේ කඩුලු 4කට ලකුණු 186ක් පමණි.

චෙන්නායි පිල වෙනුවෙන් මයික් හසී පන්දු 59කදී වේගවත් ලකුණු 95ක් වාර්තා කළේය. කල්කටා ඉනිමේ දී මන්වින්දර් බිස්ලා පන්දු 61කදී ලකුණු 92ක් රැස් කළත් එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.

සචිත්‍ර ක්‍රීඩා නොකිරීම චෙන්නායි පිලට ලකුණු රැස් කිරීමට පහසුවූ බවත්, ඔවුන්ට වැඩි පීඩනයක් එල්ල කිරීමට කල්කටා පිලට නොහැකිවූ බවත් ටෙලිග්‍රාෆ් පුවත්පත වැඩි දුරටත් පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා