ආසියාවේ උද්වේගකර ම මැයි දිනය බංග්ලාදේශයෙන්

ආසියාවේ උද්වේගකර ම මැයි දිනය බංග්ලාදේශයෙන්

මැයි 1 දාට යෙදුණු ජාත්‍යන්තර කම්කරු දිනය ලොව පුරා සමරනු ලැබීය. ආසියතික රටවල මැයි දින පෙළපාළිවල දී විරෝධතාකරුවන්ගේ විශේෂ අවධානය යොමු වී තිබුණේ අඩු පඩි හා අහිතකර සේවා කොන්දේසිවලට එරෙහිවය. මේ අතුරින් වඩාත් උද්වේගකර මැයි දිනය පවත්වන ලද්දේ බංග්ලාදේශයේය. ඩකා නගරය ආසන්නයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලා කිහිපයකින් සමන්විත වු මහල් අටක ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් සිදුවු මාරාන්තික අනතුර සම්බන්ධයෙන් එහිදී කෝපාවිශ්ට ප්‍රතිචාරයක් දක්වා තිබේ.

යුරෝපයේ මැයි දින රැලිවල ප්‍රබල ම ඉල්ලීම වී ඇත්තේ පටි තද කිරීමේ යෝජනා හකුළා ගැනිමටය. ග්‍රීසියේ ප්‍රධාන වෘත්තීය සමිති දෙක රට පුරා වැඩ වර්ජනයක් කැඳවා තිබිණි. ස්පාඤ්ඥයේ නගර 80ක පමණ ද මැයි දින රැලි පවත්වා තිබේ. විරැකියාව 27% ඉක්මවා ගොස් ඇති එරට ප්‍රධාන සටන් පාඨය වී ඇත්තේ යුරෝපා හවුලේ ආර්ථික ප්‍රතිපත්තියේ විප්ලවීය වෙනසක් සිදු කළ යුතු බවයි. මේ අතර කුපිතව සිටි කාම්බෝජ මැයි දින පෙළපාළිකරුවන් අවම වැටුප වැඩි කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඉන්දුනිසියාවේ මෙතෙක් පැවැති විශාලතම මැයි දින රැලිය 55,000ක පමණ සහභාගීත්වයෙන් පවත්වා ඇත්තේ ජකර්තා අගනුවරය.

පිලිපීනයේ මැනිලා නගරයේ ද සාමකාමි පෙළපාළි පවත්වා තිබේ. වර්ණවත් සටන් පාඨ පුවරු රැගෙන ගමන් කළ පිරිස් චෝදනා කර ඇත්තේ ආර්ථික වර්ධනයේ ප්‍රතිලාබ සියලු දෙනා අතර බෙදී යා යුතු බවටය. ධනවාදී රටක් ලෙස සලකන හොංකොංහි පෙළපාළි පවත්වා ඇත්තේ වැඩවර්ජනයක නිරතව සිටින වරාය සේවකයන්ට සහයෝගය දැක්විමටය.

මේ අතර තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ ප්‍රධාන චතුරශ්‍රයට ඇතුළු වීමට ඉඩ නොදිම නිසා කුපිත වූ මැයි පෙළපාළිකරුවන් සහ පොලිසිය අතර ගැටුම් ඇතිවී තිබේ.

මැයි දිනය වෙනුවෙන් දෙනු ලබන තුන් දින නිවාඩුව චීන ජාතිකයන් වැඩි දෙනකු විවේකයෙන් ගත කර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා