ද.කොරියා ඔත්තු සංවිධානයක් ඔස්ට්‍රේලියාවේ වෙළෙඳ රහස් ලබා ගැනීමට තැත් කරලා

ද.කොරියා ඔත්තු සංවිධානයක් ඔස්ට්‍රේලියාවේ වෙළෙඳ රහස් ලබා ගැනීමට තැත් කරලා

ඔස්ට්‍රේලියා බලධාරීන් විසින් එරට ක්‍රියාත්මක දකුණු කොරියා ඔත්තු සංවිධානයක් ගැන තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බව ඊයේ පළවූ වාර්තාවක සඳහන් විය. මේ සංවිධානය ඔස්ට්‍රේලියා රජයේ සේවයකයන් හා සබඳතා ගොඩනඟා ගනිමින් වෙළෙඳ රහස් ලබා ගැනීමේ උත්සාහයක නියැළී ඇතැයි පැවැසේ.

සිඩ්නි මෝනින් හෙරල්ඩ් පුවත් පත සඳහන් කර ඇත්තේ දෙරට අතර පැවැති වෙළෙඳ සාකච්ඡා පිළිබඳ සංවේදී තොරතුරු රැස්කර ගැනීමට දකුණු කොරියා ජාතික බුද්ධි අංශය කටයුතු කර ඇති බව මීට කලින් සඟවන ලද තොරතුරකින් අනාවරණය වී තිබෙන බවය.

ඔස්ට්‍රේලියා ජ්‍යෙෂ්ඨ කෘෂිකාර්මික වෙළෙඳ විශේෂඥයකු කොරියා බුද්ධි අංශ සමඟ එක්ව ඇති අතර ඔවුන් සමඟ සාර්ථක ලෙස සබඳතා පවත්වා ඇති බවට ඔස්ට්‍රේලියා ආරක්ෂක බුද්ධි අංශ චෝදනා කර ඇතැයි හෙරල්ඩ් පුවත් පත වාර්තා කර තිබිණ.

පුවත්පතෙන් අනාවරණය කර තිබුණු මේ පුද්ගලයා 2009 පැවැති ඔස්ට්‍රේලියා - දකුණු කොරියා නිදහස් වෙළෙඳ සාකච්ඡාවලට එක්ව තිබුණු අතර පසුව ඔස්ට්‍රේලියා කෘෂිකර්ම, ආර්ථික සම්පත් හා විද්‍යා කාර්යාංශයේ ආරක්ෂක අවසරය හා රැකියාව ද අහිමි කරගෙන තිබේ.

ඔස්ට්‍රේලියා ආරක්ෂක බුද්ධි අංශ සංවිධානය විසින් එරට අපේක්ෂාවන්ට හානි වන ක්‍රියාවල මොවුන් නියැළී ඇති බවට චෝදනා කළ ද කිසිම දකුණු කොරියා ඔත්තුකරුවකු එරටින් පළවා හැර නැත. සිදුව තිබුණේ දෙරටේ බුද්ධි අංශ අතර යහපත් සබඳතාවක් පවත්වාගෙන යනු පිණිස ඔස්ට්‍රේලියා බලධාරින් මේ තොරතුරු අනාවරණය වීම හා දකුණු කොරියා බුද්ධි අංශ ඒජන්තවරුන්ගේ අනන්‍යතාව අනාවරණය වීම වැළැක්වීමට නීතිමය පියවර ගෙන තිබිමය.

පසුව මේ තොරතුරු අනාවරණය වූයේ අදාළ නිලධාරියා තමා රැකියාවෙන් නෙරැපීමට එරෙහිව අධිකරණය හමුවට යමින් ඔහු හා දකුණු කොරියා තානාපති අංශ අතර පැවැතියේ පැහැදිලිව ම සමාජයීය සබඳතාවක් පමණක් බව කියා සීටීමෙනි.

මේ තොරතුරු අධිකරණයෙන් අනාවරණය කෙරුණු අතර තානපති වරප්‍රසාදවලට මුවාවී කටයුතු කළ නිලධාරින් සිවු දෙනකු ද හඳුනාගෙන තිබිණ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා