මැද පෙරදිග වැලිකතරේ උණුසුම ඉහළට

මැද පෙරදිග වැලිකතරේ උණුසුම ඉහළට

ප්‍රවේගකාරී පිතිහරඹයෙන් ලොව අංක 1 විස්සයි20 ක්‍රිකට් කණ්ඩායම ලෙසින් තව දුරටත් කිරුළ රැකගෙන සිටින ශ්‍රී ලංකාව මේ සතියේදී පාකිස්තානය සමග තරග පහකින් සමන්විත ජාත්‍යන්තර එක්දින තරගමාලාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පිවිසින්නේ තමන් තුළ ඇති කර ගත් ප්‍රබල ආත්ම විශ්වාසයකින් යුතුවය.

ප්‍රතිවාදීන් හමුවේ පසුගිය බදාදා අක්‍රියව සිට සිකුරාදා ප්‍රතිවාදීන්ට දඬුවම් දෙමින් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවෝ ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් තරග බිමේ ශ්‍රී ලංකාව සතු අංක 1 ස්ථානය රැක ගත්තේ බියජනක පිතිකරණයක නියැලෙමිණි. පාකිස්තානයට එරෙහිව සිකුරාදා පැවැති විස්සයි20 දෙවැනි තරගය ලකුණු 24කින් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාව තරගමාලාව සම කළේ කඩුලු 3කට 211ක මුළු ලකුණු සංඛ්‍යාවක් වාර්තා කරමිණි.

පාකිස්තානයට එරෙහි වැඩිම මුළු ලකුණු සංඛ්‍යාව වූ මෙය තිලකරත්න ඩිල්ෂාන් සමග අන්තරායකාරී ලෙස වේගවත් ලකුණු 100ක සබඳතාවකින් ආරම්භ වූ කුසල් ජනිත් පෙරේරාගේ පන්දු 59කින් ලකුණු 84ක ඉනිම හා අවසන් ඕවරවලදී කුමාර් සංගක්කාර සමග පැවැත්වූ ලකුණු 78ක දීප්තිමත් සබඳතාවෙන් එකට බැඳී තිබිණි.

කඩුලු 5කට ලකුණු 145කට සීමා වෙමින් පළමු තරගයේදී ප්‍රදර්ශනය වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුනිවත නිසා පහසු රිද්මයකට අනුව පහර දීමට පාකිස්තාන පන්දු යවන්නන්ට ඉඩ ලැබුනද දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් ක්‍රීඩා කළේ හාත්පසින්ම වෙනස් ආකාරයකටය. තරගය ආරම්භයේ සිටම මේ වෙනස ඉතා පැහැදිළිව ප්‍රදර්ශණය වූ අතර පාකිස්තාන වේග පන්දු යවන්නෝ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය පමණක් නොව ඉන්පසුව සීකුගේ ප්‍රසන්න ද ප්‍රදර්ශනය කළ වේගවත් පිතිහරඹයෙන් අන්දුන්කුන්දුන් වූ බවක් දක්නට ලැබිණි.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පෞද්ගලික හේතුන් මත අනිද්දා (18) ඇරැඹෙන ජාත්‍යන්තර එක්දින තරගමාලාවට සහභාගි නොවනු ඇත. ලබන 31 වැනිදා ඇරැඹෙන ත්‍රිත්ව ටෙස්ට් තරගමාලාවට පෙර හේරත් යළි ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වනු ඇත.

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයේ සාමාජිකයෙකු වන අජන්ත මෙන්ඩිස්, එක්දින සංචිතයේ හේරත්ගේ ආදේශක ක්‍රීඩකයා ලෙසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තව දුරටත් රැඳී සිටිනු ඇත. එක්දින තරගාවලියට සහභාගි නොවන දෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට රංගන හේරත් පත්වෙයි. මීට කළින්, පළපුරුදු පිතිකරු මහේල ජයවර්ධන ද මේ තරගාවලියෙන් ඉවත් විය. ඒ, ඔහු මේ මස මුලදී පිය පදවිය ලැබීම හේතුවෙනි. හේරත් මෙන්ම මහේල ද පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගමාලාවට සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දෙපිල අතර පළමු එක්දින ගැටුම ලබන 18 වැනිදා සාජා හි දී පැවැත්වේ. පාකිස්තානය සමග පැවැති දෙවැනි හා අවසාන විස්සයි20 තරගයේදී සිය පිතිකරුවන් දියත් කළ ආක්‍රමණශීලී සංග්‍රාමයෙන් පසුව ශ්‍රී ලංකාවට දැන් එක්දින තරගමාලාවට “කොන්ද කෙළින් තියාගෙන” සහභාගි විය හැකි මානසික ශක්තිය හා විශ්වාසය ලැබී තිබේ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා