යොවුන් ධාවන ශූර ක්ලෙමන්ට් ෆෝමියුලා තරගය ජය ගනී

කොළඹ රාත්‍රී මෝටර් රථ ධාවන තරගාවලිය

යොවුන් ධාවන ශූර ක්ලෙමන්ට් ෆෝමියුලා තරගය ජය ගනී

ෆෝමියුලා තරගය ජයගත් ක්ලෙමන්ට් සේනාරත්න

එස්.එල් - එච්.1600 සී.සී තරග ඉසව්වේදී ඩිලාන් සෙනෙවිරත්න හා සජාඩ් සුහේර්ගේ මෝටර් රථ එකිනෙක ගැටුණු අයුරු.

යෝෂිත රාජපක්ෂ එස්.එල් - එච්.1600 සී.සී තරගයට සහභාගිවෙමින්

සුපර් මෝටාර්ඩ් විවෘත යතුරුපැදි තරග ඉසව්ව ආරම්භයේ දී.
ඡායාරූප – රංජිත් අසංක

කොළඹ කොටුව උණුසුම් කරමින් ඊයේ රාත්‍රී පැවැති කොළඹ රාත්‍රී මෝටර් රථ ධාවන තරගාවලියේ කාගෙත් අවධානයට ලක්වූ ෆෝමියුලා 4 – ඊ.එෆ්.අයි. තරග ඉසව්වේ ජය හිමිකර ගැනීමට යොවුන් ධාවන ශූර ක්ලෙමන්ට් සේනාරත්න සමත්විය.

ෆෝමියුලා මැක්ලරන්ස් හා ෆෝමියුලා 4- ඊ.එෆ්.අයි. කාණ්ඩ යටතේ පැවැති මේ තරගයේ ආරම්භයේ සිටම ක්ලෙමන්ට් ඉදිරියෙන් සිටි අතර ඔහුට දැඩි තරගයක් ලබාදුන් නයිජල් පෙරේරා දෙවැනි ස්ථානය අත්කර ගත්තේය. තුන්වැනි තැන හිමිවූයේ සුසන්ත ගුණවර්ධනටය.

ක්ලෙමන්ට් සමග මේ තරගයට එක්වූ ඔහුගේ වැඩිමල් සොයුරු බ්‍රයන් සේනාරත්න තරගයේ ආරම්භක වට කීපයේදී සෙසු තරගකරුවන්ට අභියෝගයක් වූවත් අවසන් මොහොතේ දී ඔහුගේ ෆෝමියුලා රථය අනතුරකට පත්වීමෙන් පසුබෑමකට ලක්විය.

එස්.එස් - ජී.ටී. 3500 සී.සී, එස්.එල් - එච්.1600 සී.සී, එස්.එල් - එස්. 1500 සී.සී හා ෆෝමියුලා මැක්ලරන්ස් 1300 සී.සී. මෝටර් රථ ධාවන තරග ද, සුපර් මෝටාර්ඩ් හා එම්. කාණ්ඩයේ 250 සී.සී. නවීකරණය කරනු ලැබූ යතුරුපැදි තරග ඉසව්වක් ඇතුලත් වූ මේ තරගාවලියේ දී පළමු වරට මෙරට මෝටර් රථ ක්‍රීඩාලෝලීන්ට නව අත්දැකීමක් එක්කරමින් ෆෝමියුලා වන් ප්‍රදර්ශනාත්මක ධාවන වට කීපයක් පැවැත්වීම විශේෂත්වයකි.

එස්.එල් - එස්. 1500 සී.සී තරග ඉසව්වේ ජය හිමිවූයේ සජාඩ් සුහේර්ටය. එස්.එල් - එච්.1600 සී.සී තරග ඉසව්වේ දී ද ඔහු ඩිලාන් සෙනෙවිරත්න සමග කරට කර සටනක නිරතවෙමින් පෙරමුණ ගැනීමට උත්සාහ කළ ද රථ දෙකම එකිනෙක හා ගැටීමෙන් නදීර ජිනසේන ඉදිරියට පැමිණ තරගයේ ජයග්‍රහණය අත්කර ගත්තේය. එම්.එක්ස්. සුපර් මෝටාර්ඩ් විවෘත යතුරුපැදි තරග ඉසව්ව ජයගැනීමට සුරාජ් පෙරේරා සමත්විය.

තුන්වැනි වරට පැවැති කොළඹ රාත්‍රී මෝටර් රථ ධාවන තරගාවලිය කාල්ටන් මෝටර් රථ ක්‍රීඩා සමාජය, ආසියානු මෝටර් රථ ධාවන ක්‍රීඩා සමාජය සමග ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය එක්ව මෙහෙයවනු ලැබීය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා