ගම්පහට නව සම සමාජ පක්ෂයෙන් ව්‍යාජ තොරතුරු ඇතුළත් නාමයෝජනා ඉදිරිපත් කළ අයට නීතිය තදින්

ගම්පහට නව සම සමාජ පක්ෂයෙන් ව්‍යාජ තොරතුරු ඇතුළත් නාමයෝජනා ඉදිරිපත් කළ අයට නීතිය තදින්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක

බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී නව සම සමාජ පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට ව්‍යාජ තොරතුරු ඇතුළත් නාමයෝජනා පත්‍රයක් ඉදිරිපත් කළ පුද්ගලයන්ට එරෙහිව මැතිවරණ නීතීය අනුව මෙන්ම දණ්ඩ නීති සංග්‍රහය යටතේත් නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.

නම් තිස් නවයකින් සමන්විත මෙම නාමයෝජනා පත්‍රයේ සඳහන්ව ඇති නම් තුනක්ම ව්‍යාජ ඒවා බව දැනට කර ඇති පරීක්ෂණවලදී හෙළිව ඇති බව පොලිස් මූලස්ථානයේ දී ඊයේ (9) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේය. පසුගිය 6 වැනිදා ඉදිරිපත් කළ මෙම නාමයෝජනා පත්‍රයේ යම් යම් වංචාකාරී ක්‍රියා ඇති බවට ගම්පහ සහකාර මැතිවරණ කොමසාරිස්වරයා කළ පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයක දී මෙම කරුණු හෙළිදරව් වී ඇති බවත් ඒ මහතා පැවසීය. නාමයෝජනා ලයිස්තුවේ පූගොඩ, පට්ටිවෙල පුද්ගලයන් දෙදෙනකු සහ නාරංවළ ප්‍රදේශයේ පදිංචිකරුවකු පිළිබඳ සඳහන්ව ඇතත් එවැනි පුද්ගලයන් එම ප්‍රදේශයේ නොමැති බව අනාවරණය වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය. දිව්රුම් පෙත්සම් සමඟින් ව්‍යාජ නාමයෝජනා පත්‍රයක් ඉදිරිපත් කිරීම මැතිවරණ නීතිය යටතේ අනිවාර්ය වරදක් වන අතරම කූඨ ලේඛන පිළියෙල කිරීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ ද බරපතළ වරදක් වන බැවින් ඔවුන්ට එරෙහිව පියවර ගන්නා බව හෙතෙම පැවසීය.

නාමයෝජනා පත්‍රයට පිළියෙල කළ මෙන්ම අස්සන් තැබූ අයටත් මේ අනුව හිතාමතා වරදක් කර ඇති බව හෙළිවුවහොත් දඬුවම් විඳින්නට සිදු වෙනු ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා