මාතෘ භූමියට එරෙහි සියලු කුමන්ත්‍රණ ජනතාවට විරුද්ධව කරන කුමන්ත්‍රණයි

මාතෘ භූමියට එරෙහි සියලු කුමන්ත්‍රණ ජනතාවට විරුද්ධව කරන කුමන්ත්‍රණයි

අම්බලන්තොට දී ජනපති කියයි

මාතෘ භූමියට එරෙහිව සිදු කෙරෙන සියලු විදේශ කුමන්ත්‍රණ තමා දකින්නේ මේ රටේ ජනතාවට විරුද්ධව කරන කුමන්ත්‍රණ ලෙසින් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

තමන් කැමති ඕනෑම තැනක නිදහසේ ජීවත්වීමට ඇති අයිතියට වඩා ඉහළ තවත් මානව අයිතියක් නොමැති බවද පැවසූ ජනාධිපතිතුමා රටේ සියලු ජනතාවට එම නිදහස උදා කර දීම වෙනුවෙන් අද රටට එරෙහිව විදේශ කුමන්ත්‍රණ රැසක් සිදු වන බවද කියා සිටියේ ය. තමා ඉටු කළේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන් තමන්ට භාරදුන් වගකීම බවද පැවසූ ජනාධිපතිතුමා රටට නිදහස ලබාදීම වෙනුවෙන් ලැබෙන ඕනෑම ප්‍රතිඵලයකට මුහුණ දීමට තමා සූදානම් බවත් එහිදී රටේ සියලු ජනතාව තමා සමඟ සිටින බවත් අවධාරණය කළේය.

2014 පළාත් පාලන මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය අද (09) පෙරවරුවේ අම්බලන්තොටදී ස්ථාපිත කරමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.

සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳාගැනීමට උත්සහ කළද එම උත්සහය පිළිනොගත් නිසා මානුෂීය මෙහෙයුමක් සිදු කිරීමට සිදු වූ බවද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා රජය එම සටන ගෙන ගියේ මේ රටේ සියලු ජනතාවට බියෙන් සැකෙන් තොරව නිදහසේ ජීවත්විය හැකි රටක් ගොඩ නැඟීමට බවද කියා සිටියේය.

රටක් විනාශ කළ වසර 30ක ත්‍රස්තවාදය අවසන් කිරීම පිළිබඳ වචනයක්වත් කථා නොකරන ජාත්‍යන්තරය ත්‍රස්තවාදයේ අවසන් දින කිහිපය පිළිබඳ පමණක් ප්‍රශ්න අසන බවද මේ සියල්ල මාතෘ භූමියට එරෙහිව සිදු කෙරෙන කුමන්ත්‍රණ බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

බෝම්බ පුපුරවමින් රට පුරා ලේ වගුරවාලූ අදුරු අතීතය අද අපේ රටේම ඇතමුන්ට අමතක වී ඇති බවද පැවසූ අතර දිනා ගත් නිදහසට එරෙහිව සිදු කෙරෙන දෙස් විදෙස් කුමන්ත්‍රණ පරාජය කිරීමට සියලුදෙනා එක්විය යුතු බවද කියා සිටියේය.

මෙම අවස්ථාවට පැමිණි පිරිස පිළිගැනීම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සිදු කළ අතර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහාචාර්ය ජී.එල්. පීරිස්, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ද සභාව ඇමතූහ.

කුරුණෑගල දිස්ත්‍රික් පා.ම. ශාන්ත බණ්ඩාර මහතා සහ මෙවර දකුණු පළාත් සභාව සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඉදිරිපත්වී සිටින අපේක්ෂකයින් රැසක් ද, ප්‍රාදේශීය සභා සභාපතිවරු, ආසන බලමණ්ඩල නියෝජනය කරමින් සාමාජික සාමාජිකාවන් ද එක්ව සිටියහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා