ශ්‍රී ලංකාවේ පාසලක විශාලතම ශ්‍රවණාගාරය අද විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ පාසලක විශාලතම ශ්‍රවණාගාරය අද විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ පාසලක ඉදිකරනු ලැබූ විශාලතම සහ අතිනවීනතම පහසුකම්වලින් සමන්විත ශ්‍රවණාගාරය ලෙස හැඳින්වෙන කුලියාපිටිය මධ්‍ය මහා විදුහලේ ඉදිකළ ශ්‍රවණාගාරය ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) විවෘත කැරේ.දැයට කිරුළ ජාතික සංවර්ධන මහා ප්‍රදර්ශනයට සමගාමීව ඉදිකළ මේ ශ්‍රවණාගාරයට වැය කළ මුදල රුපියල් මිලියන 120කි. ශ්‍රවණාගාරයේ පුටු සඳහා අමතරව රුපියල් මිලියන 20ක මුදලක් වැය කර ඇත.

පාසල් සිසු සිසුවියන් දහසකට එකවර අසුන්ගත හැකි හා නවීනතම පහසුකම්වලින් සපිරි මේ ශ්‍රවණාගාරයේ මෙවර දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනය පැවැත්වෙන අධ්‍යාපනික කේන්ද්‍රීය මධ්‍යස්ථාන තුන අතර ප්‍රධාන එකක් වන බව දැයට කිරුළ ප්‍රදර්ශන කමිටු සභාපති හා විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ‘දිනමිණ’ට කීය.

දැයට කිරුළ වැඩපිළිවෙළට සමගාමීව කුරුණෑගල දිස්ත්‍රික්කයේ රුපියල් මිලියන 10050කට අධික මුදලක් වැය කොට පොදු සංවර්ධන කටයුතු සිදුකොට ඇතැයි ද ඇමැතිවරයා කීය.

අක්කර 162ක භූමියක් පුරා ප්‍රදර්ශනය පැවැත්වෙන අතර, මේ භූමියේ ගොඩනැගිලි 82ක් සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කොට ඇත. ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 836ක් බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් එච්. එම්. පී. හිටිසේකර මහතා ‘දිනමිණ’ට ප්‍රකාශ කෙළේය. මීට අමතරව මේ වසර තුළදී රුපියල් මිලියන 5000 සංවර්ධන වැඩකටයුතු කුරුණෑගල සිදුකැරෙන බවත්, එයින් කුරුණෑගල දිස්ත්‍රික්කය ආසියාවේ ආශ්චර්යමත් රට බවට පත්වීමට ප්‍රවේශ වන බවත් දිස්ත්‍රික් ලේකම්වරයා කීය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා