එල්ටීටීඊ ජාත්‍යන්තර ක්‍රියා ගැන ලොව ඇතැම් රටවල් අන්ධ වෙලා

එල්ටීටීඊ ජාත්‍යන්තර ක්‍රියා ගැන ලොව ඇතැම් රටවල් අන්ධ වෙලා

ආසියානු ආරක්ෂක සේවා සමුළුවේ දී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කියයි

ශ්‍රී ලංකාවට එරෙහිව දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක්

ත්‍රස්ත ක්‍රියා නැවත ඇරඹීමට තැත්කරන බවට ඉඟියක්

දෙමළ ඩයස්පෝරාව හරහා රටවල් 30කින් කොටින්ට ආධාර උපකාර

ශ්‍රී ලංකාව තුළ තව දුරටත් ත්‍රස්තවාදය නැතත් දේශපාලන ක්‍රියාකාරීත්වය හා මානුෂවාදී සහන සැලසීම මුවාවෙන් බාධාවකින් තොරව ලොව පුරා ක්‍රියාත්මක වන එල්. ටී. ටී ඊ ත්‍රස්තවාදීන්ගේ ජාත්‍යන්තර පෙරමුණු කෙරෙහි ලොව ඇතැම් රටවල් අන්ධ වී සිටින බව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

තමන්ගේ මෙම පෙරමුණු සංවිධාන හරහා මොවුන් ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරකින් දැවැන්ත ජාත්‍යන්තර ප්‍රචාරක ව්‍යාපාරයක් පවත්වාගෙන යන බව පැවසූ රාජපක්ෂ මහතා විවිධ නීති විරෝධී ක්‍රියාකාරම්වල නිරත වන මොවුන් ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ක්‍රියා නැවත ඇරැඹීමට බලාපොරොත්තුවෙන් සිටින බව පෙන්වා දුන්නේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පැවැත්වෙන 14 වන ආසියානු ආරක්ෂක සේවා සමුළුව පෙරේදා (16) අමතමිනි.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව අමතමින්...

ලෝකයේ සිටින භයානකම ත්‍රස්තවාදී සංවිධානය ලෙස අමෙරිකාවේ එෆ්. බී. අයි සංවිධානය පවා වරෙක හඳුන්වා දුන් එල්. ටී. ටී. ඊ සංවිධානය සාමාන්‍ය ආකාරයේ ත්‍රස්තවාදී සංවිධානයක් නොවන බවත් රජය විසින් ක්‍රියාත්මක කළ මානූෂීය මෙහෙයුමෙන් 2009 වසරේ පරාජය කරන විට ඔවුන් ශ්‍රී ලංකාවේ

ජනාධිපතිවරයකු, විදේශ ඇමැතිවරයකු, ඉන්දියාවේ අගමැතිවරයකු ඇතුළු දේශපාලනඥයන් රැසක්, දස දහසකට අධික සිවිල් වැසියන් ප්‍රමාණයක් ඝාතනය කරමින් ආගමික ස්ථාන සහ ආර්ථික මර්මස්ථාන රැසක් විනාශ කරමින් විනාශකාරී ආකාරයට කටයුතු කරමින් සිටි බවත් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

දෙමළ ඩයස්පෝරාවේ සහයෝගය සිය ක්‍රියාකාරකම්වලට ලබා ගැනීමට කටයුතු කරන මෙම ත්‍රස්ත ජාලය ලොව පුරා රටවල් 30ක පමණ ආධාර ලබා ගෙන තිබෙන බවත් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

1993 වසරේ සිට 2002 වසර දක්වා මෙම ජාලය එල්. ටී. ටී. ඊ සංවිධානය වෙත වාර්ෂිකව අමෙරිකානු ඩොලර් මිලියන 50 සිට 75 දක්වා ප්‍රමාණයක් එවන ලද අතර 2002 සිට 2008 දක්වා කාලය තුළ වර්ෂයකට එසේ සැපයූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 200 ඉක්ම වූ බව රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

එල්. ටී. ටී. ඊ සංවිධානය ආයුධ ලබා ගැනීමට එසේ ලබා ගත් මුදල් යෙදවූ බව පෙන්වා දුන් රාජපක්ෂ මහතා වසර කිහිපයක පෙර එසේ ලබා ගත් ආයුධ අතර මිසයිල, බර සහ සැහැල්ලු මෝටාර් අවි, ගුවන් යානා නාශක අවි, සන්නද්ධ රථ, සැහැල්ලු ගුවන් යානා, රොකට් අවි, උණ්ඩ, පුපුරණ ද්‍රව්‍ය සහ බිම් බෝම්බ වන බව පැවසීය.

මෙම ආයුධ ප්‍රවාහනය සඳහා විවිධ රටවල ධජ යටතේ දියත් කෙරුණු විශාල නෞකා 20ක් පමණත් තවත් කුඩා යාත්‍රා විශාල සංඛ්‍යාවකුත් යොදා ගෙන තිබූ බවත් පාවෙන ආයුධ ගබඩා වැනි මෙම නෞකා සහ යාත්‍රා විනාශ කිරීමට මානුෂීය මෙහෙයුම සමයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව ඈත මුහුදේ කළ ක්‍රියාකාරකම්වලින් හැකියාව ලැබුණු බවත් පෙන්වා දුන් රාජපක්ෂ මහතා එය එල්. ටී. ටී. ඊය පරාජය කිරීමේ දී මහත් පිටුවහලක් වූ බවත් කීවේය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා