සංවර්ධනය වෙමින් පවතින රටවලට චීනය ලබාදෙන සහාය ප්‍රශංසනීයයි

සංවර්ධනය වෙමින් පවතින රටවලට චීනය ලබාදෙන සහාය ප්‍රශංසනීයයි

ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ප්‍රවීණ මාධ්‍යවේදී සීලරත්න සෙනරත්

ලෝකයේ ඇතැම් රටවල් සිය බලය පෙන්වීමට කුඩා රටවලට යම් යම් බලපෑම් සිදුකළත් චීනය ලෝකයේ ලොකු කුඩා සෑම රාජ්‍යයක් සමඟම ස‍හයෝගයෙන් කටයුතු කරමින් සිය මිත්‍රත්වයේ දෑත් දිගු කරන බවත්, විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලට චීනය ලබාදෙන ආර්ථික ශක්තිය ඉතා ප්‍රශංසනීය බවත්, වර්තමාන ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා විශාල සහයෝගයක් ලබාදෙන චීනය වෙනදාටත් වඩා අප සමඟ තබා තිබෙන මිත්‍රත්වය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අගය කරන බවත්, චීනයේ හයිනෑන් දූපතේ පැවැති බොආඕ (BOAO) සමුළුවට සහභාගි වෙමින් සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ප්‍රවීණ මාධ්‍යවේදී සීලරත්න සෙනරත් මහතා පැවැසීය.

අග්නිදිග ආසියාවේ රටවල් 28ක සහභාගිත්වයෙන් චීන සමූහාණ්ඩුව විසින් මෙම සමුළුව ආරම්භ කරන ලද්දේ වසර 2001 දී ය.

එක් වරකට රටවල් 08 රාජ්‍ය නායකයන් සහභාගිවීමට නියමිතය. ‍ඒ අනුව ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් වරෙක හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාත් මේ සමුළුවට සහභාගි වී ඇත.

මෙම රාජ්‍ය නායක සමුළුව පැවැත්වූයේ චීන අග්‍රාමාත්‍ය ලී කිචියෑං මහතාගේ ප්‍රධානත්වයෙනි. එම අවස්ථාවට ඕස්ට්‍රේලියාව, කොරියාව, වියට්නාමය, ලාඕසය, කාම්බෝජය ආදී රටවල රාජ්‍ය නායකයෝ සහභාගි වූහ.

චීන ජාත්‍යන්තර ගුවන්විදුලියේ සංවිධානයෙන් පැවැති මෙම සමුළුවේ මාධ්‍ය සමුළුව පැවැත්වූයේ, චීන ජාත්‍යන්තර ගුවන්විදුලියේ අධ්‍යක්ෂ ජනරාල් වංජිත් නියෑං මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී සීලරත්න සෙනරත් මහතා මෙසේ ද පැවැසීය.

චීන ලොවට හඳුන්වා දුන් සේද මාවත සංකල්පය යළිත් නව මුහුණුවරකින් ඉදිරිපත් කිරීම සතුටට කරුණක්. වර්තමානයේ මාධ්‍ය හැසිරවීමේ දී නව ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුව තිබෙනවා. වර්තමාන සමාජය ඉතා ඉක්මනින් යමක් දැන ගැනීමට වෙහෙසෙනවා. ඒ සඳහා අද ඉක්මන් ක්‍රමවේදයන් තිබෙනවා. කෙටි පණිවිඩ, අන්තර්ජාලය සහ ෆේස්බුක් වැනි ක්‍රමවේදයන් භාවිත කෙරෙනවා. එහෙත් අපට පැරණි ක්‍රමවේදයන් අමතක කළ නොහැකියි. මේ දෙකෙහිම සංකල්පයක් අවශ්‍ය වෙනවා. චීන ජාත්‍යන්තර ගුවන්විදුලිය භාෂාවල් 56කින් ලෝකය පුරා රටවල් 160ක පමණ ප්‍රේක්ෂකයන් සහ ශ්‍රාවකයන් සමඟ සම්බන්ධ වෙමින් මාධ්‍ය කටයුතු ඉටුකරනවා. රටක සංවර්ධනයට පණිවුඩ හුවමාරුව ඉතා වැදගත්. එම නිසා චීන ජාත්‍යන්තර ගුවන් විදුලිය සිය මාධ්‍ය උපාය මාර්ගයක් තුළින් සිය වැදගත් පණිවිඩ මුළු ලොවටම දීමට සමත්වී සිටිනවා.

චීනය යෝධයකු වැනිය. අද එම යෝධයා අවදි වී ඇත. එම යෝධයා ‍ෙලාවට හිංසාකාරී කෙනෙකු නොවන්නේ ය. ඔහු නැඟිටීමට වෙර දරන වුන්ට නැගිටීමට අතහිත දෙන්නේ ය. පසුගිය කාලවකවානුව තුළ චීනය සමඟ පවතින මිත්‍රත්වය තව තවත් වර්ධනය කරගන්නට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කටයුතු කිරීම ගැන අප සතුටුවිය යුතුයි. අපට ශක්තිය, ධෛර්යය අවශ්‍ය වූ හැමවිටකම චීනය එය අපට ලබා දුන්නේ ය.

එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ශ්‍රී ලංකාවේ පිහිටි දැවැන්තම පුවත්පත් ආයතනයයි. වසර 100 කට පෙර ඊයම් යුගයෙන් පටන් ගත් අපගේ පුවත්පත් මුද්‍රණය වසර 2007 වනවිට පරිගණක භාවිතය දක්වා දියුණු වූ අතර, වර්තමානය වනවිට අපි ඊ පුවත්පතක් බිහිකිරීමට තරම් දියුණු වී සිටින්නෙමු. දියුණු වන තාක්ෂණයත් සමඟ අප පුවත්පත් ආයතනය මුද්‍රණ කලාවේ මෙන්ම ලේඛන කලාවේ ද ලබා ඇති ප්‍රගතිය සැබැවින්ම වාර්තාගතය. සේද මාවතේ නව සංකල්ප ලොවට ගෙන යාමේ භාරදූර කාර්යයට අපද කොටස්කරුවෝ වන්නේ ය.

මෙම මාධ්‍ය සමුළුව සඳහා චීනය, ඉන්දියාව, පාකිස්තානය, ජෝර්දානය, ලාඕසය, කාම්බෝජය, ඕස්ට්‍රේලියාව ආදී රටවලින් සහභාගි වූ මාධ්‍ය ආයතන ප්‍රධානීහු ද අදහස් දැක්වූහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා