කොළඹ-පැල්මඩුල්ල අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සැප්තැම්බරයේදී ආරම්භ වේ

කොළඹ-පැල්මඩුල්ල අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සැප්තැම්බරයේදී ආරම්භ වේ

කොළඹ සිට පැල්මඩුල්ල දක්වා අධිවේගී මාර්ගය ඉදිකිරීම ලබන සැප්තැම්බර් මස ආරම්භ කිරීමට රජය තීරණය කර ඇතැයි විදුලිබල ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

2018 වසරේදී මෙම අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත්කිරීමට නියමිත බවද කී ඇමැතිවරිය කොළඹ සිට පැයක කාලයකින් රත්නපුරය හරහා පැල්මඩුල්ලට පැමිණිය හැකි යුගය අත ළඟ බවද කීවාය. කිලෝමීටර් 71යි දශම අටක් වන මේ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී එක් උමගක්ද ස්ථාන හතකදී කුලුනු මත ඉදිකිරීමද සිදුකිරීමට නියමිතය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ප්‍රවේශයෙන් ආරම්භ වී හොරණ ඉංගිරිය රත්නපුර ඔස්සේ පැල්මඩුල්ල දක්වා අධිවේගී මාර්ගය ඉදි කෙරේ.

චීන ආධාර යටතේ ඉදිකිරීමට නියමිත පැල්මඩුල්ල අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් චීන ජනාධිපතිවරයාගේ මෙරට සංචාරයේ දී නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අරමුණ සංවර්ධනය මුළු රටේම පතුරවාලීම බවත් මේ අධිවේගී මාර්ගය නිසා රත්නපුර දිස්ත්‍රික්කය ශීඝ්‍ර සංවර්ධනයකට යොමුවෙන බවත් විදුලිබල ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය “දිනමිණ”ට පැවැසුවාය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා