නාය යාමෙන් පවුල් 125ක් පණපිටින් වැළලෙති

නාය යාමෙන් පවුල් 125ක් පණපිටින් වැළලෙති

* 300ක් අතුරුදන්, කොස්ලන්ද මීරියබැද්දගම එකම මළගෙයක්

* කොස්ලන්ද ග්‍රාම නිලධාරිනිය 28දා සවසත් අනතුරු ප්‍රදේශයෙන් ඉවත්වෙන්න කිව්වා
- දිස්ත්‍රික් ලේකම්

බදුල්ල බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාසයේ කොස්ලන්ද පොලිස් වසමේ හල්දුම්මුල්ල මීරියබැද්දගම අවට කඳු වළල්ල ඊයේ (29) උදේ නාය යාමෙන් නිල නිවාස, කඩපේළි, නිවාස, ලයින් කාමර විශාල ප්‍රමාණයක් යටවී ඇති අතර එම අනතුරින් පවුල් 125ක් පණ පිටින් පස් අතර වැළලී ඇත

.ඊයේ පෙරවරු 7.30ට පමණ එම නාය යාම සිදුවී තිබේ. කිලෝමීටර් 3ක පමණ ප්‍රදේශයක් යටවෙන පරිදි එම කඳු වළල්ල නායගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. අක්කර 20කට වැඩි භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන් විනාශ වී ඇත.

නිවාස 125ක් පමණ ද ලයින් කාමර 17 කඩ පේළි 10ක් පමණ ද නාය යාමට ලක්වී තිබේ.

ඊයේ දහවල් වන විට අනතුරට පත් 18 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබුණි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්, පොලිසිය, යුද්ධ හමුදාව, ‍දිස්ත්‍රික් ලේකම් කාර්යාල සේවකයන්, ස්වේච්ඡා සංවිධාන සහ අවට ගම් පළාත්වාසීන් එක්ව මෙම නාය යාමෙන් අනතුරට පත් පුද්ගලයන් සොයා ගැනීමට කටයුතු කරගෙන යයි.

තවද බදුල්ල බණ්ඩාරවෙල සහ අවට රෝහල්වල සේවක සේවිකාවන් ඇතුළු කාර්ය මණ්ඩල පිරිස් ආපදාවට ලක්වී රෝහල් ගත කරන පිරිසට ප්‍රතිකාර ලබාදීම සඳහා සූදානම් කර තිබිණි. ගිලන් රථ ගණනාවක් ද එම ස්ථානයට යවා තිබිණි.

දිවි ගලවාගත් කාන්තාවක්...

නාය යාම සිදුවී ඇති ප්‍රදේශයට ඇතුළුවීම අනතුරුදායක තත්ත්වයක පැවැති බැවින් අනතුරට ලක්වූ පිරිස් සොයාගැනීමට කටයුතු කිරීම බෙහෙවින් අපහසු තත්ත්වයක පැවැති නමුත් කෙසේ හෝ ඔවුන්ගේ ජීවිත බේරාගැනීමට අවශ්‍ය සෑම කර්තව්‍යයක් ම සිදු කිරීමට මෙහෙයුම් ‍කණ්ඩායම් පියවර ගෙන තිබුණි.

පෙරේදා පෙරවරුවේ සිට එම පළාත තුළ පැවැති අයහපත් කාලගුණය තවමත් පවතින බව පොලිසිය පවසයි.

අනතුරට පත්වූ ප්‍රදේශයට ආසන්න සෙසු පදිංචිකරුවන්ද එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබිණි.

මෙම නායයාමට ලක්ව ඇති කොස්ලන්දගම මීරියබැද්දේගම ප්‍රදේශය නාය යාමකට ලක්වීමට ඉඩ ඇති බැවින් එම ප්‍රදේශවලින් ඉවත්ව වෙනත් ප්‍රදේශවලට යන ලෙස 2005 වර්ෂයේ සිට රජය මඟින් වරින් වර අනතුරු හැඟවීම් කර ඇතත් එහි පදිංචිව සිටි පිරිස් එම දැනුම් දීම කිසිසේත් ඉටු නොකරන බවට අදාළ නිලධාරීන් විසින් අදාළ අංශවලට වාර්තා කර තිබිණ.

පසුව 2012 වර්ෂයේ ද යළිත් එම අනතුරු හැඟවීම කර තිබූ අතර පවුල් කිහිපයක් පමණක් ඉවත්ව ගොස් තිබූ බව වාර්තා වෙයි.

මෙම නාය යාම සිදුවන අවස්ථාව වන විට එම නිවෙස්වල පදිංචිව සිටි පාසල් ළමුන් වැඩි පිරිසක් පාසල් කරා ගොස් තිබූ නිසා සහ රැකියා සඳහා ඇතැම් පිරිස් පිටත්ව ගොස් තිබූ නිසා ඔවුන්ගේ ජීවිත බේරී ඇත.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා