යුද්ධය නිම කිරීමට හැකි වුණේ විධායක ජනාධිපති ක්‍රමය නිසයි

යුද්ධය නිම කිරීමට හැකි වුණේ විධායක ජනාධිපති ක්‍රමය නිසයි

 අගමැති දි. මු ජයරත්න

දශක තුනක් පැවැති යුද්ධය නිමා කිරීමට හැකි වුණේ විධායක ජනාධිපති ක්‍රමය නිසා බව අගමැති දි. මු ජයරත්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (29) ප්‍රකාශ කළේය. නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (29) පෙරවරු 9.00ට රැස් විය. නිවේදන ලිපිලේඛන හා මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් පසුව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් නැඟූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළීතුරු ලබා දුන්හ.

විසර්ජන පනත් කෙටුම්පත (2015) සිවුවැනි දිනයට විවාදය ආරම්භ විය.

විවාදය ආරම්භ කරමින් කතා කළ මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා (එජාප)-මැතිවරණ බලාගෙන ජනතාවට සහන ලබා දුන් අය වැයක් ලෙස මා දකිනවා. මිලියන ගණනක බඩු බෙදා දෙමින් ඌවේ මැතිවරණය දිනා ගන්න ආණ්ඩුව ගත් උත්සාහය ජනතාව පරාජය කළා.

මෙවර අය වැයෙන් වැටුප් විසමතා අයින් කර නැහෑ. ගියවර අය වැයෙන් දුන් පොරොන්දු ඉටු නොකර මේ ආණ්ඩුව තවත් පොරොන්දු මල්ලක් ලබාදී තිබෙනවා. ජනාධිපතිතුමාගේ ඥාතීන්ගේ අමාත්‍යාංශවලට සියයට 44ක් වෙන් කර තිබෙනවා. අනෙක් අමාත්‍යාංශවලට වෙන් කර තිබෙන්නේ ඉතා සොච්චම් මුදලක්. සමහර අමාත්‍යාංශවලට සියයට දශම ගණනයි වෙන් කර තිබෙන්නේ. යෝගට් එක විතරක් රුපියල් 3කින් අඩු කළා. මේක යෝගට් අය වැයක්.

නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍ර කුමාර මුරුගේසු මහතා මුලසුනට පැමිණියේය.

මද්දුමබණ්ඩාර මහතා- 2005 අය වැයේදී ජනාධිපතිතුමාගේ නඩත්තුව සඳහා රුපියල් කෝටි 90යි වෙන් කර තිබෙන්නේ. එය මෙවර අය වැය වන විට රුපියල් කෝටි 959 දක්වා වැඩි වි තිබෙනවා. පාර්ලිමේන්තුව නඩත්තුව සඳහා රුපියල් කෝටි 200කටත් අඩු ප්‍රමාණයක් වෙන් කර තිබෙන්නේ. මේකද ප්‍රජාතන්ත්‍රවාදය.

අගමැති දී මූ ජයරත්න මහතා- ඊයේ සිදු වූ නාය යෑම පිළිබඳ මා කනගාටු වෙනවා. එම සිද්ධියට අදාළ සියලු දෙනාට කටයුතු කිරීමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අයවැය ආණ්ඩුවට විතරක් අයිති එකක් නෙවේ. විරුද්ධ පක්ෂයටත් ආණ්ඩුවට වගේම අය-වැය වැදගත්. විපක්ෂයත් ආණ්ඩුවේ අපිත් සියලු දෙනාම ජනතාවට සේවයයි කරන්නේ. ජනතාවට පහසුකම් ලබාදීමට අයවැය මඟින් කටයුතු කරන විට විපක්ෂයත් එහි වගකීමක් ගත යුතුයි.

එහෙම නැතුව අයවැය විවාදවලට සහභාගි නොවී වේදිකාවල්වල විවේචන විතරක් කළාට ජනතාවට ඇති වන සෙතක් නැහැ. අද එක්සත් ජාතික පක්ෂයේ කිසිම මන්ත්‍රීවරයකු මේ ආසනවල නැහැ. පාර්ලිමේන්තුවට පවත්වන දිනයකට රුපියල් කෝටි ගණනක් වැය කරනවා. මේ පාර්ලිමේන්තුව රැස්වන එකෙන් විපක්ෂය වැඩක් ගන්නේ නැතිනම් පාර්ලිමේන්තුව මාස තුනකට වරක් රැස් වුණොත් හොඳයි කියා මා යෝජනා කරනවා. වසර හයක් තුළ මැතිවරණ පහක් පමණ මේ රටේ පැවැත්වෙනවා. ඒ නිසා මැතිවරණ බලාගෙන සහන දෙනවා කියන කාරණය විපක්ෂයේ මෝඩ කතාවක් විතරයි.

නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, ලබාදෙන ලෝකයේ තිබෙන එකම රට ශ්‍රී ලංකාවයි. දියුණුයි කියන රටවල මේ වගේ නිදහස් අධ්‍යාපනයක් හෝ සෞඛ්‍යයක් නැහැ. සෞඛ්‍ය අධ්‍යපනය ශක්තිමත් කිරීමට අපි ක්‍රියාකර තිබෙනවා. මෙවර අය වැයෙන් මේ ක්ෂේත්‍ර දියුණු කිරීමට පියවර ගත්තා. විදේශ රැකියාවන්හි යෙදෙන අයට විශ්‍රාම වැටුප් ලබාදීමටත්, මහපොළ වැඩි කිරීමටත්, මෙවර අය වැයෙන් කටයුතු කර තිබෙනවා.

කොළඹ නගරය අලංකාර කිරීමට වත්මන් රජය පියවර ගත්තා. කොළඹ පැල්පත්වාසීන් දැන් නැහැ. ඔවුන්ට පහසුකම් සහිත තට්ටු නිවාස අපි ලබා දුන්නා. ඒ අයගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට අපි කටයුතු කළා. විපක්ෂය හැමදාම ඔවුන්ව පෙන්නලා මැතිවරණ වාසි ලබා ගත්තා. අද ඔවුන්ට එම සටන්පාඨය නැතිවෙලා.

ලෝක ආර්ථිකය තුළ චීනයෙන් පසුව ආර්ථික වේගයක් තිබෙන රටශ්‍රී ලංකාවයි. මේ තත්ත්වයට එන්න ආණ්ඩුව ගෙන යන ආර්ථික ප්‍රතිපත්ති ඉවහල් වුණා. එය නිවැරැදි බව අද පෙනෙනවා. විධායක ජනාධිපති ක්‍රමය මේ රටට අවශ්‍යයි. දශක තුනක් පැවැති යුද්ධය නිමා කිරීමට හැකි වුණේත්, ඒ නිසයි. අද වන විට රටවල් 11ක ත්‍රස්තවාදී යුද්ධ පවතිනවා. එයින් දහස් ගණනක් මිනිසුන් මිය යනවා. ඒ බියෙන් අපිව මුදා ගත්තේ ජනාධිපතිතුමායි. ඒ නිසා මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතුයි.

වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා (දෙජාස)- මේ අය වැය මඟින් උතුරේ ජනතාවට කිසිදු සහනයක් ලැබී නැහැ. මීට පෙර යඅ වැය මඟින් පවා උතුරට කිසිදු දෙයක් වෙලා නැහැ. විශේෂයෙන් උතුරේ යුද්ධය නිසා පීඩාවට පත් ජනතාව ගැන මේ අය වැය ආමන්ත්‍රණය කර නැහැ. යුද්ධය නිසා වැන්දඹුවන් බවට පත් අය ගැන අය වැයේ සඳහනක් නැහැ.

ජලසම්පාදන හා ජලාපවාහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා- ජනාධිපතිතුමාගේ දස වැනි අය වැය අති සාර්ථක බව දැනටමත් පේනෙන්නට තිබෙනවා. විපක්ෂයට මේ ගැන කතා කරන්නවත් දෙයක් නැති වෙලා. අද එක්සත් ජාතික පක්ෂයේ කවුරුත් මෙහි නැහැ. ජනාධිපතිතුමගේ අය වැය කතාව අවසානයේදී විපක්ෂය කිව්වා අය වැයේදී අලි ගැන කතා වුණේ නැහැ කියලා. දැන් දැන් එය පෙනෙන්නට තිබෙනවා. අලි එක්කෙනෙක්වත් පේන්න නැතුව ගිහින්.

අද පේදුරුතුඩුව සිට දෙවුන්දර තුඩුව දක්වා ඕනෑම කෙනකුට යන්න පුළුවන්. නැඟෙනහිර සිට බටහිර දක්වා ඕනෑම කෙනෙකුට යන්න පුළුවන්. මේ තරම් නිදහසක් ඇති කිරීමට ජනාධිපතිතුමා කටයුතු කරනවා. මේ ගැන ශිවශක්ති මන්ත්‍රීතුමා නොදකින එක ගැන මා කනගාටු වෙනවා. පසුගිය වසර සියය තුළ උතරු නැඟෙනහිර ප්‍රදේශවල වැඩිම සංවර්ධනය සිදු කර තිබෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමයි.

පසුගිය වසර සියය තුළ උතුරේ විශාල ආයෝජන අවස්ථාවන් ලබා දී තිබෙන්නේ වත්මන් ආණ්ඩුවයි. මේ හැම දෙයක්ම සිදු කර තිබෙන්නේ උතුරේ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමටයි. මේ සියල්ල දෙමළ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීතුමන්ලා නොදකින එක අපි කනගාටු වෙනවා. මේ වනවිට අමෙරිකාවේ ආර්ථිකය ඉක්මවා චීනය ඉදිරියට එමින් තිබෙනවා. මෙයින් දෙන ආදර්ශය වන්නේ ජනතාව නැඟී සිටීම කළ හැක්කේ ධනවාදයෙන් නොවන බවයි. ලංකාවේ අප යල්පැන ගිය රාමුවෙන් වෙනස් වී රටේ ආර්ථික සංවර්ධනය වේගයෙන් ඉදිරියට එන තත්ත්වයට පත් වෙලා. මේ අය වැය මඟින් පංච මහා බලවේගය යළි ඉහළට ඔසවා තිබෙනවා.

මේ රජයට බලය දී ඇත්තේ ජනතාවගේ ප්‍රගමනයට සේවයක් කිරීමටයි. ආර්ථිකය කඩා වැටෙයි කියා හිතන අයට අපේ ගමන් මඟ අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. අනුකරණවාදී ආර්ථික ගමන්මඟ ඉවත දමා රජය රටේ ආර්ථිකය හොඳින් ඉදිරියට ගෙන යනවා.

දිවා විවේකයෙන් පසුව පස්වරු 1.30ට නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී පී රාජදුරෙයි මහාතාගේ ප්‍රධානත්වයෙන් සභාව යළි රැස්විය.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය (එජාප)- 10 වැනි අය වැය ජනාධිපතිතුමා ඉදිරිපත් කරද්දී ඇමැතිවරු නිදාගත්තා.

මේ අය වැයෙන් ජනතාවට මොනවද දුන්නේ. මාතෘ හා මරණ අනුපාතය අඩු කරන බව 2005 අය වැයෙත් කිව්වා. මේ වන තුරු අඩුවෙලා නැහැ. මෙය මැතිවරණයක් බලාගෙන ඉදිරිපත් කළ අය වැයක්.

පාර්ලිමේන්තු කටයුතු ඇමැතිනී සුමේධා ජී ජයසේන මහත්මිය- ඉතා සාර්ථක අය-වැයක් මෙවර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළා. මෙය මැතිවරණය බලාගෙන ඉදිරිපත් කළ අයවැයක් නොවෙයි. උතුරේ තිස් අවුරුදු යුද්ධයකින් පසු ජනතාව යළි පදිංචි කර රාජ්‍ය සේවය යළි ස්ථාපිත කිරීමෙන් පසු ඉදිරිපත් කළ සාර්ථක අයවැයක් මෙය. ජනාධිපතිතුමාගේ දූරදර්ශී වැඩපිළිවෙළ මේ මඟින් ඉදිරිපත් කළා. උතුරු හා නැඟෙනහිර පළාත් සභා නැවත ස්ථාපිත කරන්න හැකි වුණේ කුරිරු ත්‍රස්තවාදය නැති කළ නිසයි. විපක්ෂය හා ජාත්‍යන්තරය කියනවා එල්.ටී.ටී.ඊ සංවිධානයට දේශපාලන විසඳුමක් ලබා දිය යුතු බව. මේ වන විට එල්.ටී.ටී.ඊ සංවිධානයට දේශපාලන විසඳුමක් ජනාධිපතිතුමා ලබා දී තිබෙනවා.

2015 වන විට ඒක පුද්ගල ආදායම අමෙරිකන් ඩොලර් 4000 දක්වා වැඩි කිරීම රජයේ අපේක්ෂාවයි. එජාපයේ මන්ත්‍රීවරුන් මොන චෝදනා එල්ල කළත් ජනාධිපතිතුමා ගත් මේ පියවර ඉතා ප්‍රශංසනීයයි.

පරිසර හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අබ්දුල් කාදර් මහතා- යුද්ධය අවසන් කළාට පසුව ජනාධිපතිතුමා උත්සාහ කළේ ජන ජීවිත නඟා සිටුවන්නයි. ඉතිහාසය පුරා අවධානය නොවු තාක්ෂණය සඳහා මේ අයවැයෙන් අවදානය යොමු කර තිබෙනවා.ජෛව විවිධත්වය මුදල් කළමනාකරණය,කෘෂීකර්මය, සේවා අංශය ඇතුළු සියලුම අංශ කෙරෙහි මේ අයවැයෙන් අවධානය යොමු වීතිබෙනවා.සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් තිබෙනවා.

පත් කළ මන්ත්‍රි එරාන් වික්‍රමරත්න මහතා (එජාප)-දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයාට කලකට පසුව අද සමාජවාදය මතක් වුණා. එතුමාට තම පියා මතක් වුණා විය හැකියි.එදා හයිඩ් පිටියට ගියේ මේ අයයි.මේ අයවැයේ පොරොන්දු ඇත.මුදල් නැත කියායී මට කියන්නට තිබෙන්නේ.එක එක පොරොන්දු තිබෙනවා. ඒත් ඒවාට මුදල් වෙන් කර නැහැ.

ජාතික උරුමයන් පිළිබඳ ඇමැති ආචාර්ය ජගත් බාලසූරිය මහතා- අයවැය ලේඛනයෙන් රටේ ආර්ථික ගමන් මඟ මෙන්ම විවිධ අංශ සංවර්ධනය කරන ආකාරය විස්තර කරනවා. විපක්ෂය කියන්නේ මේක සීනි බෝල අයවැයක් කියලයි. දේශපාලනයෙන් අපේක්ෂා භංගත්වයට පත්වන පිරිස් අයවැය ලේඛනය විවේචනය කරනවා. රාජ්‍ය සේවක වැටුප් පරතරය ගලපමින් නව වැටුප් ව්‍යුහයක් ඇති කර තිබෙනවා.උපාධිධාරීන්ට මෙන්ම උසස් පෙළ සමත්අයටත් රැකියා විශාල ප්‍රමාණයක් ලබා දීමට යෝජනා වී තිබෙනවා.

පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා- මේ අය-වැය ලේඛනය ගෝලීය අර්බුදයට විසඳුම් ලබා දෙන්න ඉදිරිපත් කළ අනාගත දැක්මක් ලෙස හැඳින්විය හැකියි. මේ හරහා නව ආර්ථික සැලැස්මක් ක්‍රියාත්මක කරන්න සහාය දිය යුතුයි. ඉතිහාසයේ විවිධ හේතු මත අප බෙදී සිටියා. එහි ප්‍රතිඵලය වශයෙන් ප්‍රචණ්ඩත්වය මතු වුණා. එවැනි ප්‍රචණ්ඩත්වයක් ඇති කිසිම රටක ආර්ථික සමෘද්ධියක් නැහැ. ජාතික අභිලාෂයන් ඉදිරියට ගෙන යාමට නම් සමඟියක් පැවැතිය යුතුයි.

මේ අයවැය ලේඛනය උතුරු නැඟෙනහිරට පමණක් ඉදිරිපත් කළ දෙයක් නොවේ. මෙය මුළු රටට ම ඉදිරිපත් කළ ජාතික අයවැයක්. බටහිර රටවල් ඇතුළේ තවමත් ආර්ථික බිඳවැටීම් තියෙනවා. ඒ තත්ත්වය වළක්වා ගන්න අනාගත අභියෝගයනට අපේ රට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳ ඉලක්ක ගත අයවැයක් ලෙස මෙය ජනාධිපතිතුමා ඉදිරිපත් කර ඇත.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රෝසි සේනානායක මහත්මිය (එජාප)- ලබාගෙන තිබෙන ණය ගෙවන්න තවත් බදු පනවන්න වෙනවා. ග්‍රාමීය දිළිදුකම ඉහළ ගිහිල්ලා. දැනුම් ආර්ථිකයක් ගොඩනැඟීමට යෝජනා කළත් අධ්‍යාපනයට වෙන් කළ මුදල ප්‍රමාණවත් නැහැ.

වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද සමරසිංහ මහතා- එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන වාර්තාව අනුව ශ්‍රී ලංකාව 76 වන ස්ථානයට පැමිණ සිටිනවා. දකුණු ආසියාවේ සියලු රටවල් සිටින්නේ අපට පිටුපසින්.

මෙවර අය-වැය මධ්‍යස්ථ, වාර්තාගත වන ඓතිහාසික අයවැයක්. ආර්ථිකය මූලික කර ගනිමින් 8%ක ආර්ථික වර්ධන වේගයක් ඉලක්ක කර ගත් අයවැයක් මෙය. ජනතා හිතවාදී අයවැයක් මෙවර ජනාධිපතිතුමා ඉදිරිපත් කර තිබෙනවා. දිස්ත්‍රික් මට්ටමින් මහජනතාව හමු වී සිවිල් සමාජයේ නොයෙකුත් කොටස්කරුවන් කැඳවා ඔවුන්ගේ අදහස් ලබා ගෙන සකස් කරන ලද අයවැයක්.

වගකීමෙන් යුත් අයවැයක් ලෙසත් මෙය හැඳින්විය හැකියි. 2015 අයවැය පරතරය 4.6%කට අඩු කරන්න ඉලක්කයයි. අපනයන ක්ෂේත්‍රයේ 16%ක වර්ධනයක් පවතී. නිෂ්පාදනය 13%කින් වැඩි කරන්න අපේක්ෂිතයි. අවුරුදු 30කට පසු සමාජ, ආර්ථික හා දේශපාලනික වශයෙන් ස්ථාවර බවක් රට තුළ ගොඩනඟන්න ජනාධිපතිතුමා කටයුතු කර තිබෙනවා.

වැවිලි කර්මාන්තයට සහන විශාල ප්‍රමාණයක් ලබා දුන්නා. සාමාන්‍යයෙන් අයවැය ඉදිරිපත් කළ පසු ක්‍රියාත්මක කරන්නේ ඊළඟ වසරේ ජනවාරියේ සිටයි. නමුත් මෙවර අයවැය නොවැම්බර් මස සිට ක්‍රියාත්මක කරන්න ජනාධිපතිතුමා යෝජනා කළා. රබර් සඳහා සහතික මිලක් ලබා දුන්නා. ප්‍රථම වරට කුඩා තේ වතු හිමියන්ට හා රබර් වතු හිමියන්ට ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කරන්න මෙවර අයවැයෙන් යෝජනා කර තිබීම ඉතා වැදගත් වෙනවා.

ඒ ගැන කුඩා තේ වතු හිමියන් ජනධිපතිතුමාට ස්තූති කරනවා. මෙවර වතු ජනතාව සඳහා නිවාස 50,000ක් හැදීමට කර ඇති යෝජනාව ද ඉතා වැගත් වෙනවා. එසේම සනීපාරක්ෂක හා ජල ප්‍රශ්න විසඳන්නත් මෙවර අයවැයෙන් ජනාධිපතිතුමා මුදල් වෙන් කර තිබීම ඉතා වැදගත්.

ජලසම්පාදන හා ජලාපවාහන නියෝජ්‍ය ඇමැති නිරූපමා රාජපක්ෂ මහත්මිය- ගොවියාගේ සිට පාරිභෝගිකයා දක්වා අවරණය වන පරිදි මේ අය වැය සකස් කර තිබෙනවා. සැමට ප්‍රතිලාභ ලැබුණා. ස්වං රැකියා කරන අයට විශාල සහන ලබාදී ඔවුන්ගේ ජීවිත නඟා සිටුවීමට පියවර ගත්තා. නිෂ්පාදන ක්‍රියාවලිය වර්ධනය කිරීමට මෙමඟින් යෝජනා කර තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා (එජාප)- මා රෝගී තත්ත්වයෙන් සිටින විට මාගේ සුවය ප්‍රාර්ථානා කළ අයටත් විශේෂයෙන් මාගේ සුව දුක් සොයා බැලූ ජනාධිපතිතුමාටත් ස්තුති වන්ත වෙනවා. නමුත් මෙවර අය වැය බල්ලකුගේ බෙල්ලේ එල්ලූ මස් කට්ටක් වගෙයි. එය කන්න බැහැ. ටික කලක් යනවිට ගඳ ගහනවා. ආණ්ඩුව හදන්නේ ගඳ ගහන්න කලින් මැතිවරණය පැවැත්වීමයි. රජය සිදු කරන මුදල් නාස්තිය නැවැත්වූවානම් වැටුප් වැඩි නොකරම සහන දෙන්න පුළුවන්.

මහජන කටයුතු හා මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා-ජනාධිපතිතුමා පංච මහා බලවේගය දිහා බලලයි මෙවර අය වැය සකස් කළේ. ගිරිවාපත්තුවෙන් ආ ජනාධිපතිතුමයි. නිකවරැටියෙන් පී බී ජයසුන්දර මහත්තයයි, මොනරාගලින් ආ බටගොඩ මහත්තයයි එකතු වෙලා තමයි අය වැය ප්‍රාතිහාර්ය පෑවේ.

සූර්යා ඉදිරියේ කණාමැදිරියා බැබලෙන්නේ නැහැ වගේ ජනාධිපතිතුමා ඉදිරියේ කවුරුත් බැබලෙන්නේ නැහැ. ආසියාවේ සිංහයා මහින්ද රාජපක්ෂ මහතායි. එතුමා ගමේ ඉදලා ඇවිත් රටේ ප්‍රශ්න විසඳීමට කටයුතු කළා.

වන්නි දිස්ත්‍රික් මන්ත්‍රි එම් විනෝ මහතා (දෙජාස)- යුදමය සමයේ දුක්විඳි ජනතාවට මේ රජය කිසිම සහනයක් ලබාදී නැහැ. පැවැත්වීමට නියමිත මැතිවරණයේ උතුරු පළාතේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ජනාධිපතිතුමා පසුගිය 24 වනදා පටන් ගත්තා.දෙමළ ජනතාවගේ හදවත් දිනා ගැනීමට මේ රජය කටයතු කරන්නේ නැහැ.

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති එම් එල් ඒ එම් හිස්බුල්ලාහ් මහතා- අද කදුකරයේ සිදු වූ නාය යාමෙන් මිය ගිය අයගේ පවුල් වලට අපගේ ශෝකය පුද කරනවා.මේ අයට අවශ්‍ය සහන ලබා දෙන්න කියා මා ඉල්ලා සිටිනවා.ජනාධිපතිතුමා සීමිත සම්පත්වලින් තමයි යුද්ධය අවසන් කළේ.

ආණ්ඩු ගණනාවක් සිටියත් ජනවාර්ගික අර්බුදය අවසන් කරන්න කිසිවකුට හැකි වුණේ නැහැ.ඉන් පසුව සංවර්ධන යුද්ධයයි එතුමා සිදු කළේ.ජාතීන් අතර නැවතත් විරසකයක් ඇති වීමට ඉඩ ලබා දිය යුතු නැහැ.

පත් කළ මන්ත්‍රි ඩී එම් ස්වාමිනාදන් මහතා (එජාප)- අපට තිබෙන්නේ පරතරය තිබෙන අයවැයක්. මේ රටේ ජනතාව අමතක කර දමා තිබෙනවා මේ ආණ්ඩුව. මේ අයවැය මැතිවරණ ප්‍රකාශනයක්.

ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා- විපක්ෂයේ කතා සියල්ලම එකම තැටියක කතා ලෙස හැදින්විය හැකියි.ජනාධිපතිතුමා ඉදිරිපත් කළ අයවැය ජනතාවාදී අයවැයක් මේ සඳහා අදහස් දුන්නේ මේ රටේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන අයයි.එදා අයවැය හැදුවේ සුදු මහත්වරුන්.යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහනින් තමයි අපිට තිබූ රාජ්‍ය ආයතන විකුණා දැමුවේ.

පත් කළ මන්ත්‍රි ජානක බණ්ඩාර මහතා මුලසුනට පැමිණියේය.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රි අබ්දුල් හලීම් මහතා (එජාප)- ජනතාව බලාපොරොත්තු වූ සහන මේ අයවැයෙන් ලබා දී නැහැ.මේ අයවැය හරියට දනක්සලක් වගේයි. හැබැයි කන්න තියේවිද දන්නේ නැහැ. සහන දෙනවා කිව් දේවල් වලට මුදල් වෙන් කර නැහැ.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චාමික බුද්ධදාස මහතා (එජනිස)- නායයාමෙන් විපතට පත් ජනතාවට ශෝකය ප්‍රකාශ කරනාව.විපක්ෂය මේ අයවැය ලෙඛනය ජනතාවට දෙන අල්ලසක් බව කීවා.මේ අය හිතුවේ නැහැ අයවැයෙන් මෙහෙම සහන ලබා දෙයි කියලා.

උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා- අද හල්දුම්මුල්ලේ සිදු වූ විපතට පත් ජනතාවට මගේ ශෝකය ප්‍රකාශ කරනවා.සිද්ධිය වු අවස්ථාවේම ආරක්ෂක ලේකම්වරයා ආපදා ඇමැතිවරයා ඇතුළු පිරිස එම ජනතාවට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිනවා. මා මේ අයට ස්තූති කරනවා.විපක්ෂය පැහැදිලි වෛරයෙන් කතා කළා.

උපාධිධාරී පත්වීම් දෙන විට දේශපාලන පක්ෂය බැලුවේ නැහැ.අධ්‍යාපනය ගැන කතා කරද්දී පෙර පාසල්වල වටිනාකම ගැන කිසිම රජයක් අවධානය යොමු කළේ නැහැ.ළමා මිතුර පාසල් 5000ක් සංවර්ධනය කළා.

මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී වසන්ත අලුවිහාරේ මහතා (එජාප)- මේක කවුරු මොනව කීවත් ජනතාව පීඩාවට පත් කරන අය වැයක්. අද ලබන ආර්ථික වර්ධනයට පදනම දැම්මේ එජාපයයි. ඍණ අගයක තිබුණු ආර්ථිකය ධන මට්ටමකට ගෙනාවේ එජාපයයි.

පශු සම්පත් නියෝජ්‍ය ඇමැති එච් ආර් මිත්‍රපාල මහතා-අපේ ආණ්ඩුව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක්. මේ ක්‍රමය තුළ තරඟකාරීව ආර්ථිකය ඉදිරියට ගෙන ඒමට රජයට හැකිවී තිබෙනවා. රජයේ පාසල් රෝහල් පෞද්ගලිකකරණය කිරීමට පිඹුරුපත් සැකසූ එජාපය අද කිඹුල් කදුළු හෙළනවා.
 

විවාදය කල් තැබිණි.
පාර්ලිමේන්තුව අද (30)
පෙරවරු 9.30 යළි රැස්ෙවයි

 

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා