කාන්තා ක්‍රිකට් අර්බුදය විසඳීමට ජනපති නියමයෙන් පරීක්ෂණයක්

කාන්තා ක්‍රිකට් අර්බුදය විසඳීමට ජනපති නියමයෙන් පරීක්ෂණයක්

ක්‍රීඩා ඇමැති සති දෙකකින් වාර්තාවක් ඉල්ලයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයේ උද්ගතවී ඇති අර්බුදය කඩිනමින් විසඳීමට වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව කමිටුවක් පත් කොට සති දෙකක් ඇතුළත මේ සම්බන්ධව වාර්තාවක් සපයන ලෙස ක්‍රීඩා ඇමැතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයේ මතුවී ඇති අර්බුදයට මැදිහත්වූයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එක්වීමට තේරීම් කමිටුවේ ඇතැම් නිලධාරීන්ට සහ කණ්ඩායමේ කළමනාකාරීත්වයට ලිංගික අල්ලස් ලබා දිය යුතුව ඇතැයි තොරතුරු වාර්තා වන බවට පසුගිය සතියේ ජාතික පුවත්පතක් මගින් හෙළිදරවු කළ පුවතක් අනුවය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවේ ඇතැම් නිලධාරීන්ට සහ කළමනාකාරිත්වයට එල්ල වී ඇති මේ චෝදනාව සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා තමන්ට උපදෙස් දුන් බව ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ 'දිනමිණ' කළ විමසුමකදී ප්‍රකාශ කළේය.

'කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බවට පළවූ පුවත සම්බන්ධව තොරතුරු සොයා බලන ලෙස ජනාධිපතිතුමා මට උපදෙස් දුන්නා. ඒ අනුව කමිටුවක් පත්කොට සති දෙකක් ඇතුළත ඒ පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස මම ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙනවා.' ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

මේ පිළිබඳ තොරුතුරු සොයා බැලීමට ක්‍රිකට් ආයතනයේ උප සභාපති මොහාන් ද සිල්වා, ලේකම් නිශාන්ත රණතුංග, උප‍ලේකම් හිරන්ත පෙරේරා සහ පිරිමි ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කොට තිබේ.

එම කමිටුව සිය පරීක්ෂණ කටයුතු ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිත අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවේ නිලධාරීන්ගෙන්, කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුගෙන් සහ කළමනාකරුගෙන් මෙන්ම කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවන්ගෙන් ද තොරුතුරු විමසීමට අදාළ කමිටුව කටයුතු කරනු ඇත.

කෙසේවෙතත් මේ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් ඊයේ 'දිනමිණ' කළ විමසුමක දී ඒ මහතා කියා සිටියේ මෙතෙක් ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කිසිදු ක්‍රීඩිකාවකගෙන් එවැනි පැමිණිල්ලක් ඉදිරිපත්වී නොමැති බැවින් පරික්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් පැන නැගී‍ නොමැති බවය.

එහෙත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඉදිරි කටයුතු සම්බන්ධව අදාල පාර්ශව සමග සාකච්ඡා කිරීමට ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුවෙන් පසුවන බව ඒ මහතා සඳහන් කළේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා