අපේ සමහරු රටේ වටිනාකම දන්නෙ නෑ

අපේ සමහරු රටේ වටිනාකම දන්නෙ නෑ

ලේඛක සුගතපාල මැන්දිස්

  භාග්‍යවන්තයෝ, රාක්ෂ්‍ය අඩවිය, රාජයෝගය, මිලාන වූ වසන්තය, උතුරුක‍රේ ගවේෂණය, යුද්දෙන් පස්සේ, යුගයක ඇරැඹුම ඇතුළු තවත් කෘති රැසක් රචනා කළ ප්‍රවීණ ලේඛක සුගතපාල මැන්දිස් සිය ලේඛක දිවියේ හැරැවුම් ලක්ෂය සටහන් කරමින් රචනා කළ ‘ජර්මන් නැවියෙක් දුටු එදා ලංකාව’ පාඨකයන් අතට පත් කිරීමට සුදානම් ය. අදින් වසර තුන්සිය පනහකට පෙර ලංකාද්වීපයේ යටැගියාව විමසා බලන මේ කෘතිය ජර්මන් ජාතික ක්‍රිස්ටෝපර් ෂ්වෙයිට්සර් විසින් රචිත කෘතියක පරිවර්තනයකි. මේ මස 10 වැනිදා එළිදකින මේ පරිවර්තන ග්‍රන්ථය පිළිබඳ ලේඛක සුගතපාල මැන්දිස් මෙසේ සිය අදහස් එක් කළේය.

* ජර්මන් නැවියෙක් දුටු එදා ලංකාව පරිවර්තනය වූයේ කෙලෙසද?

පළමුව සඳහන් කළ යුතුයි ක්‍රිස්ටෝපර් ෂ්වෙයිට්සර්ගේ පෙරදිග ඉන්දියානු මුහුදු ගමනක විශිෂ්ට කතාවක් නම් මේ අගනා ග්‍රන්ථය හෙළ බසට නඟා අපේ සාහිත්‍යයට එක් කිරීමට ලැබීමේ අසීමිත ප්‍රීතිය පිළිබඳව. ඒ වගේම මෙවන් ඓතිහාසික කෘතියක් අපට දායාද කිරීම ගැන සමස්ත දේශයේම ප්‍රණාමය ෂ්වෙයිට්සර් නම් මේ ගවේෂකයාට, නැවියාට පුද කළ යුතුයි. මම විශ්වාස කරන විදිහට මේ ලේඛකයා ගැන අපේ රටේ කිසිවකු දැන සිටියාද කියන එක සැක සහිතයි. නමුත් ක්‍රිෂ්ටෝපර් ෂ්වෙයිට්සර් නම් මේ ලේඛකයා අපේ මවුබිමේ රුවගුණ දුටු එක් විදේශිකයෙක් පමණක් නොවෙයි. මොහු වරෙක සමාජ විද්‍යාඥයෙක්. තවත් වරෙක පරිසර විද්‍යාඥයෙක්. තවත් වරෙක දේශපාලන විචාරකයෙක්. ඔහුගේ කුහුලින් පිරුණු මනස අදින් වසර තුන් හාරසියයක එපිට මේ පුංචි දිවයිනේ පැවැති සමාජ, ආර්ථික හා සංස්කෘතික යන හැම ඉසව්වක්ම සීරුවෙන් හඳුනා ගත් කෙනෙක්. ඔහු මේ රටේ ජීවත් වූ පස් අවුරුදු කාලය තුළ අපේ අව්‍යාජ ගැමි ජනවහරේ සුවඳ මනා ලෙස උකහා ගෙන තිබුණා. මේ සෑම දෙයක්ම ඔහුගේ දින පොතක ලියැවුණා. ඒ දිනපොත තමයි 1694 දී ලන්දේසි බසින් ප්‍රසිද්ධ කෙරුණේ. පසුව එය ඕලන්ද බසට පෙරළා නැවත ක්‍රි.ව. 1700 දී ඉංග්‍රීසියට පරිවර්තනය වී තිබෙනවා. එය ඉංග්‍රීසියෙන් පළකෙරුණේ එංගලන්තයේ දී. ඒ ඉංග්‍රීසියට පරිවර්තනය වුණු ෂ්වෙයිට්සර්ගේ A Re*ation of a Voyage to and thorugh the East – Indies – from the year 1675 to 1683 කෘතිය ඉතා ආසාවෙන් කිහිප සැරයක් කියැව්වා. එහිදී මට හිතුණා අපේ රටේ එකල පැවැති සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික පැවැත්ම කෙබඳු දැයි විමසා බලන්න පාඨකයාව ඒ අතීතයට කැඳවා යන්නට. ඒ හැඟීමේ ප්‍රතිඵලය තමයි ජර්මන් නැවියෙක් දුටු එදා ලංකාව රචනා වන්නේ.

* මෙහි අන්තර්ගතය පිළිබඳ සඳහන් කළහොත්?

අවුරුදු තුන්සිය පනහකට පමණ පෙර ශ්‍රී ලංකාවේ පැවැති තත්ත්වය කදිමට විදහා දක්වන්න ක්‍රිස්ටෝපර් ෂ්වෙයිට්සර්ට ඔහුගේ කෘතිය තුළින් හැකිවී තිබෙනවා. මොහු විසින් එක්දහස් හයසිය හැත්තෑ පහේ දී ඇරැඹූ මුහුදු ගමනක තොරතුරුත් හේ අපේ මවුබිමෙහි ගත කළ පස් අවුරුද්දක කාලයේ දී, ලංකාවේ පැවැති සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික පසුබිමත් එහි සඳහන් වී තිබුණා. 1675 දී ඒෂියා නමැති නෞකාවෙන් යාත්‍රාරම්භ කළ මේ ජර්මානු මිනිසා ඇතුළු යාත්‍රිකයන් අපේ මවුබිමට එන ගමනේ දී මුහුණ දුන් සිදුවීම් මාලාව ත්‍රාසය, බිය හා කුතුහලය පිටුවක්, පිටුවක් පාසාම දක්නට ලැබෙනවා. එදා ද අද මෙන්ම ආර්ථික දුෂ්කරතාවලින් මිදෙන්නට මිනිසුන් පරදේශයන් කරා ගිය අයුරුත්, ඒ අනුව ක්‍රිෂ්ටෝපර් ජර්මනියේ සිට ඕලන්දයට පැමිණ පෙරදිග ඉන්දියානු වෙළෙඳ සමාගමේ සේවයට බැඳී මෙහි ගත කළ පස් අවුරුදු කාලයේ ලත් අත්දැකීම් ඔස්සේ රචනා කළ ඔහුගේ ග්‍රන්ථයෙන්, කාලයේ වැලිතලාවට වැසී ගිය අපේ බිමේ අපූරු තොරතුරු රැසක් ලෝකයාට අනාවරණය කිරීමට හැකිවී තිබෙනවා. මම මේ ග්‍රන්ථය හෙළ බසට නගා උත්සාහ දරන්නේ අපේ අතීතය දෙස මදක් හැරී බලන්න පාඨකයා පෙලඹවීමට.

* පරිවර්තනයේ දී පළමු කෘතියේ අන්තර්ගත කරුණු වෙනසකට ලක්වුණාද?

‍ෙම් කෘතිය පළමුව ලියා තිබුණේ ලන්දේසි බසින්. පසුව එය ඕලන්ද බසට පරිවර්තනය කර තිබෙනවා. ඕලන්ද බසට පෙරළූ තැනැත්තා ෂ්වෙයිට්සර්ගේ යම් යම් අදහස් වෙනස් කර තිබෙනවා. නමුත් පසුව ෂ්වෙයිට්සර් විසින් එය ජර්මන් බසට පෙරළනු ලැබ තිබෙනවා. එය තමයි 1700දී ඉංග්‍රීසි බසට පරිවර්තනය වුණේ.

මේ පොත සිංහලට නැගීමේදී මට බොහෝ සේ වෙහෙසවන්න වුණා. ෂ්වෙයිට්සර්ගේ මුල් කෘතියට කිසියම් වු සුළු හානියක් හෝ වෙනසක් වුවහොත් ඒක ඔහුගේ නිර්මාණයට කරන බරපතළ අකටයුත්තක්. ඒ නිසා ඇතැම් වචන සොයන්න සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂවල පිටු අතර සැරිසරන්න සෑහෙන කාලයක් මිඩංගු කරන්න මට සිදුවුණා. පරිවර්තනයේ දී මම ජීවත් වුණේ රචකයා සමඟ‍. මෙහිදී මට ඇතිවූ ගැටලු තැන් නිරාකරණය කර ගැනීමට පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අමරසිරි වික්‍රමරත්න යන මහත්වරු විශාල ලෙස උදවු කළා. ඒ වගේම ගාමිණි කුමාර විතාන සොයුරා සහ මගේ බිරිය ධනා ද මම සිහිපත් කරන්නේ විශාල ගෞරවයකින්.

* මේ කෘතිය හරහා ඔබ සමාජගත කිරීමට උත්සාහ දරන්නේ කුමක්ද?

අද මේ රටේ ජීවත්වන සමහරුන්ට අපේ රටේ වටිනාකම දැනෙන්නේ නැහැ. අපිට සාඩම්බර ඉතිහාසයක් තියෙනවා කියලා ඔවුන් දන්නේ නැහැ. අද ශ්‍රී ලංකාවත් එදා ලංකාවත් ගැන යම් වැටහීමක්, අවබෝධයක් ඔස්සේ අපේ මවුබිම ගැන අලුතින් හිතන්න යොමු කරන්නයි මම මෙයින් උත්සාහ දරන්නේ. මම මෙතැනදී ෂ්වෙයිට්සර් සඳහන් කළ එක් වගන්තියක් සඳහන් කරනවා.

“මගේ මවුබිමට මට ඇති ආසාව ඒ සියල්ලටම වඩා මට ලොකුය” මොහු මොන තරම් තම උපන් බිමට ආදරයක් දැක්වූ අයෙක්ද යන්න හෙතෙම ලක්දිවෙන් ආපසු යන්නට තීන්දු කිරීමෙන් පසු එය වැළැක්වීමට ඔහුගේ හිතවතුන් ගත් උත්සාහය ප්‍රතික්ෂේප ‍කිරීමෙන් පෙනී යනවා. එය අපේ ඇත්තන්ට ෂ්වෙයිට්සර් දෙන ඉතා අගනා වටිනා කදිම පාඩමක් ලෙස මම දකිනවා. මොකද අපි අද පුරුදු වෙලා ඉන්නේ අපේ දේට ගරහන්න.

* මේ කෘතිය ජනගත වන දිනය සඳහන් කරමු?

මෙය මේ මස 10 වැනිදා ‍ප.ව. 2ට මාතර නූපේ ඓතිහාසික ඕලන්ද පොදු වෙළෙඳ පොළ පරිශ්‍රයේ දී අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් ජනගත කිරීමට සූදානම්. මෙහිදී මුලසුන බටපොල ශ්‍රී සුභද්‍රාරාම විහාරාධිපති, බටපොළ නන්දන හිමි විසින් හොබවන අතරම සම්මානනීය ගත් කතුවර ප්‍රවීණ දේශක ගාමිණී කුමාර විතාන සූරීන් දේශනයක් කිරීමට නියමිතයි. හැකි සෑම දෙනාටම මේ අවස්ථාවට සහභාගි වන්න කියලා මම ඉතා ආදරයෙන් ආරාධනා කර සිටිනවා.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා