චූලාගෙන් සුන්දර නවකතාවක්

චූලාගෙන් සුන්දර නවකතාවක්

චූලාභය ශාන්ත හේරත් නම් ගුවන්විදුලි ශිල්පියා සුන්දර නවකතාවක් ලියා තිබේ. “සූරිය කුසුම” ලෙසින් නම් කොට ඇති මේ ප්‍රබන්ධය වේගවත් කියැවීමක් සහිතය. රහස් - පරීක්ෂක කතාවක් ලෙස ද, ප්‍රේම වෘත්තාන්තයක් ලෙස ද, සමාජයීය නවකතාවක් ලෙස ද විවිධාකාරයෙන් “සූරිය කුසුම” විග්‍රහ කළ හැකිය. කර්තෘගේ ප්‍රබන්ධකර‍ණයෙහි කැපී පෙනෙන ලක්ෂණ තුනක් ඇත.

(I) රූපණය

(II) ආකර්ෂණය

(III) සුගම බස

රූපණය යන සජීවී ලෙස රඟදැක්වීම යි. හෙවත් චරිත හා සිද්ධිය නිරූපණය කිරීමයි. බටහිර සාහිත්‍ය විද්‍යාවේ දී රූපණය යන්න අභ්‍යාස මඟින් උගන්වනු ලැබේ. සිංහල නවකතාකාරයන් අසාර්ථක වන ආස්තානයක් ලෙස රූපණය දැක්විය හැකිය. මේ අභ්‍යාසය චූලාභය හේරත් හොඳින් ජයගෙන තිබේ. ඔහු සිද්ධියක් විස්තර කරනු වෙනුවට එය සජීවී ලෙස නිරූපණය කරයි.

මේ කතාවෙන් කියැවෙන්නේ අනාථ දරුවකු තම අනන්‍යතාව සොයමින් කරන බරපතළ ගවේෂණයක් ගැනය. එහි මිනීමැරීම් තිබේ. දූෂණ තිබේ. සමාජ විරෝධී ක්‍රියා හා ගැටුම් තිබේ. කර්තෘ ඒ සියල්ල අප ඉදිරියෙහි රඟ දක්වයි. ඉතා අන්තරාදායක අවස්ථා බටහිර චිත්‍රපටයක ජවනිකා සේ රූපණය මඟින් දැක්වීමට ඔහු සමත් වෙයි. හොඳම නිදසුන අර්නෝලිස්ගේ පාපොච්චාරණයයි. අර්නෝලිස්ගේ සාක්ෂිය විස්තරයකින් නොව; නිරූපණයකින් පෙන්වීමට චූලාභය වෑයම් කරයි. එය සාර්ථකය.

කතාව මුල සිට අගටම ආකර්ෂණයෙන් යුතුය. අවසානය තෙක්ම කුතුහලය රඳවා ගැනීමට කතුවරයා සමත් වෙයි. එය අත්හැරිය නොහැකි කතාවෙකි. ඊළඟ සිදුවීම කුමක්ද? සචිත්‍රාට සිදුවන්නේ කුමක්ද? මාලින්ද කුමන තීරණයක් ගනීද? වැනි ප්‍රශ්න පාඨක සිත්හි නිරන්තරයෙන් මතු වෙයි. සූරිය කුසුම ආරම්භ වන්නේ ද අතිශය සිත්ගන්නා සුලු දර්ශන පෙළකින් ය. සචිත්‍රා ගමන් බෑගයක් ද රැගෙන රාත්‍රී දුම්රිය අල්ලා ගැනීමට එයි.

අනාථ නිවාසයෙන් හොරෙන් පැන යන මේ හැඩකාර තරුණිය පසුපස පොලිස්කාරයෝ හඹා එති. දුම්රිය වේදිකාවේ බංකුවක් මත පොතක් කියවමින් සිටි මිනිසකු සමීපයට යන ඈ දෙදෙනා අයියා - නංගී යැයි පෙනෙන ලෙස රඟපෑමක් කරයි. ඉනික්බිති කෝච්චියේ දී මිනිසාගේ උර මත තරුණිය නිදා ගනියි. දෙදෙනාම ආගන්තුකයෝය. දෙදෙනාගේම සිත් කුතුහලයෙන් පිරී තිබේ. ඒ අතර දෙදෙනාම එකිනෙකාට ආකර්ෂණය වෙති. මෙය අපූරු දර්ශන පෙළකි. මෙබඳු නිරූපණවලින් පාඨකයා මහත් ආස්වාදයක් ලබයි.

චූලාගේ භාෂාව අතිශයින්ම සරලය. සුන්දරය. ඒ අතර ඔහු අලුත් යෙදුම් ද සොයා ගනී. නිදසුනක් ලෙස සිංහල නවකතාවකින් ‍ගවේෂණ කාමය යන යෙදුම හමුවන්නේ පළමු වරටය. එය චූලා‍ෙග් නිෂ්පාදනයක් යැයි සිතිය හැකිය. මාලින්ද නම් පත්තරකාරයාගේ ගවේෂණශීලී උත්සාහයන් කර්තෘ නම් කරන්නේ ගවේෂණ කාමය ලෙසය. එහි අර්ථය සිද්ධියක් පසුපස රහස් පරීක්ෂකයකු සේ හඹා යෑමය. පත්තරකාරයන් කපුටන් සේ කුණු අවුස්සන බවද; විපතකදී ඔවුන් කපුටන් සේ ඒකරාශී වී සටන් වදින බව ද කර්තෘ කියයි. ඒ සියල්ල යථාර්ථයයි.

සූරිය කුසුම ප්‍රබන්ධය තුළ අපූරු ප්‍රේම වෘත්තාන්තයක් ගලා යයි. ඒ මාලින්ද නම් පත්තරකාරයා හා සචිත්‍රා නම් අනාථ යෞවනිය අතරය. සචිත්‍රා ඉතා බුද්ධිමත්, එහෙත් හිතුවක්කාර තරුණියකි. ඈ අභියෝගවලට භය නැත. මාලින්ද සමාජ යහපත වෙනුවෙන් දිවි හිමියෙන් රාජකාරියෙහි යෙදෙන පරාජිත පෙම්වතෙකි. මේ දෙදෙනා අවසන් මොහොත වනතුරුම ආදරය යන වචනය භාවිත කරන්නේ නැත. එහෙත් ඔව්හු එකට වසති. එක යහනේ නිදති. දෙදෙනා තම සීමා - මායිම් ලකුණු කරන අයුරු හරි අපූරුය. කාලයකට පසු සිංහල නවකතාවක් ඔස්සේ කුතුහලය දනවන රසවත් ප්‍රේම කතාවක් කියැවීමේ අවස්ථාව පාඨකයාට ලැබී තිබේ.

මේ ප්‍රබන්ධය ඔස්සේ බරපතළ සමාජ විග්‍රහයක් ද ඉදිරිපත් කෙරේ. සිංහල සමාජයෙහි දේපොළ සම්බන්ධයෙන් පවතින උග්‍ර ගැටලුව, බලය හා ධනය උදෙසා මිනිසා යොදන කූට - උපාය, අපරාධකාරයන් ජීවිතය පුරාවටම විඳින වේදනාව කතුවරයා විසින් කදිමෙට විස්තර කරනු ලැබේ. ගුණසාර යනු මහණකම අතහැර පාතරටින් - උඩරටට පැමිණ සල්ලිකාරයකු හා බලවතකු වූ කපටි මිනිසෙකි. ඔහුගේ සෑම ජයග්‍රහණයක් පසුපස ම ඇත්තේ බරපතළ සමාජ විරෝධී ක්‍රියාවකි. ඔහු නගරාධිපතියකු වී තමන්ගේ ජීවිතයේ කුණුකන්දල්වලට බණ දහමෙන් උත්තර දෙයි. එම ව්‍යාජෝක්තියෙන් පාඨකයාට බො‍හෝ දේ හැ‍ඟෙයි.

මෙහි එන රහස් පරීක්ෂක කතාව ෂර්ලොක් හෝම්ස් ගේ උපාය මාර්ග සිහිපත් කරයි. ගැටලුව අවසන් මොහොත වනතුරු විසැ‍ඳෙන්නේ නැත. හේතු - සාධක වරින් - වර බිඳ වැටෙයි. සුළු සිද්ධි පසුපස ද ගවේෂකයෝ හඹා යති. සිද්ධියක් සඳහා බලපාන සාධක තර්කානුකූලව ගොඩනැඟීමක් මෙහිදී සිදුවේ. අවසානයේ සියලු චරිත එකම වේදිකාවකට රැගෙනවිත් ගැටලු නිරාකරණයට යෑම කර්තෘගේ ක්‍රමය වී තිබේ. එය විචිත්‍ර වූ උපාය මාර්ගයකි. භීෂණ සමයේ කන්ද උඩරට තේ වත්තක බස් නැවතුමක දමා ගිය මාස පහක් වයසැති දැරියක්දෙමළ කම්කරුවකුට මුණ ගැසේ. එදින පාන්දර බස් නැවතුමට කි.මී. 13ක් දුරින් නිෂාන් වර්ගයේ වෑන් රථයක් දැවී හළුවෙයි. ඒ තුළ දැවුණු මළ සිරුරු තුනක් තිබේ.

බස් නැවතුමෙහි දමා යන අනාථ දැරිය සචිත්‍රා ය. ඇය තම මවුපියන් සොයා මහා මෙහෙයුමක් ආරම්භ කරන්නේ පුංචි සටහනක් පමණක් අතැතිව ය. එහි ඇත්තේ බස්නැවතුමකින් ඇය හමු වූ බව පමණි. වසර 21 කට පෙර වූ මේ සිද්ධියෙහි හේතු-සාධක හා ඇත්ත කර්තෘවරයා විසින් තර්කානුකූල ලෙස ගොඩනඟනු ලැබේ. එහි ව්‍යාජයක් නැත. වරදකරුවන් පළමුව පෙනෙන්නේ නැත. ඇත්ත හඹායෑම සඳහා ඉදිරිපත් වන දෙදෙනා ද කදිමෙට ගැළපෙති. එනම්; මාලින්ද හා සචිත්‍රා ය. සචිත්‍රා සිද්ධියට සම්බන්ධ හිතුවක්කාර තරුණිය යි. මාලින්ද සමාජ සම්බන්ධතා ඇති ගවේෂණශීලී පත්‍රකලාවේදියෙකි.

සිංහලෙන් ලියැවුණු රහස් පරීක්ෂක කතාවල දක්නට ලැබෙන්නේ ව්‍යාජ හා බොළඳ තර්ක සමූහයකි. ඒවායෙහි ඇති අබිරහසක් නැත. කතාවේ මුල සිට ම වරදකරුවන් හඳුනා‍ගත හැකි ය. එම නවකතාකරුවන් කරනුයේ බොළඳ තර්ක ඔස්සේ කතාව ඇදගෙන යෑම ය. චූලා මේ මාර්ගයෙන් බැහැරව කුතුහලය ඇති කරමින් නිරූපණයක යෙදෙයි. අවසානය තෙක් ම අපරාධකරුවන් හෙළිදරව් වන්නේ නැත. අවසානය තෙක් ම ගැටලු විසැඳෙන්නේ ද නැත. සචිත්‍රා වරින්වර අමාරුවේ වැටෙයි. මාලින්දගේ හා සචිත්‍රාගේ ප්‍රේමය පවා ජයග්‍රාහී තැනකින් කෙළවර වේ යැයි මුලදී පාඨකයාට නො සිතෙයි. අපරාධයේ හේතු-සාධක පවා වරින්-වර විසිරෙයි. කතුවරයා කුතුහලය නමැති රැහැනින් පාඨකයා බැඳ දමයි.

කතුවරයා ගවේෂණශීලී පත්තර කලාවට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන්නේ පරිණත මාධ්‍යවේදියකු ලෙස ය.

(I) නඩු වාර්තා

(II) පරණ පුවත්පත් වාර්තා

(III) ඔප්පු තිරප්පු

(IV) නීතිඥයන්ගේ විස්තර

(V) ඇසින් දුටු සාක්ෂි

(VI) රහස් පටිගත කිරීම්

(VII) දිනපොත් කියැවීම්

(VIII) පුද්ගල හැසිරීම් නිරීක්ෂණය

කතාවට අදාළ අපරාධය හෙළිදරව් වන්නේ ඉහත සඳහන් නිරීක්ෂණවල ප්‍රතිඵලයක් හැටියට තර්කානුකූලව ය. සචිත්‍රා නම් දැරිය බස් නැවතුමක දමා යෑම පිළිබඳ අබිරහස තුළ මහා අපරාධයක් ඇතැ’යි මුලින් කිසිවකු සිතන්නේ නැත. මේ රහස හෙළිදරව් කරගන්නේ මාලින්ද නම් පත්තරකාරයා ය. ඔහු මෙහි දී මහා වීරයකු වන්නේ ද නැත. වසර විසි එකකට පෙර පළ වූ සිංහල - ඉංග්‍රීසි පුවත්පත් පෙරළන ඔහුට දරුවා අතහැර යන දිනයේ ම සිදු වූ වෑන් රථ අනතුර පිළිබඳ ප්‍රවෘත්තිය හමු වේ. ඉක්බිති ඔව්හු ඒ සිදුවීම් දෙක සැසඳීමට උත්සාහ කරති. කතාව ගොඩනැඟෙන්නේ ඒ ඔස්සේ ය.

නවකතාවේ ප්‍රධාන චරිත දෙක සචිත්‍රා හා මාලින්ද ය. දෙදෙනාම සුවිශේෂ චරිත ලෙස හැඳින්විය හැකි ය. චූලාභය මේ චරිත දෙක ම හසුරවන්නේ මනුෂ්‍යත්වයට මුල්තැන දෙමින් ය. මාලින්ද ආගන්තුක තරුණියකගේ ගවේෂණයට සහාය දෙන්නේ ඔහුගේ ගවේෂණ කාමය නිසා ය. දෙදෙනා එක් ඉලක්කයක් පසුපස හඹායති. වරෙක මාලින්දගේ රැකවරණය අපේක්ෂා කරන සචිත්‍රා කිසිවිටෙකත් ඔහුට ආදරය නොකරයි. තව වරෙක ඔහු සැක කරයි. මාලින්ද මේ තරුණිය දෙස බලන්නේ ද සැකයෙන් ය. ඇය ආඩම්බරකාර හිතුවක්කාරියක ලෙස මාලින්දට හැඟෙයි. දෙදෙනා තුළ පැහැදීමක් හා ආදරයක් ගොඩනැඟන‍්නේ ඉතා සෙමෙන් ය. එය අපූරු ප්‍රේම වෘත්තාන්තයක් වන්නේ ද ඒ නිසා ය.‍

මේ කෘතියෙහි මනුෂ්‍යත්වය නිරූපණය කෙරෙන හොඳ ම අවස්ථාව වන්නේ ශ්‍රිය‍ාගේ හා සචිත්‍රාගේ සම්බන්ධය යි. දෙදෙනා ම අනාථ නිවාසවල හැදුණු දරුවෝ ය. දැන් ඔව්හු වැඩිවියට පැමිණ සිටිති. අනාථ නිවාසයෙන් හොරෙන් පැන එන සචිත්‍රා නවතින්නේ සූරියපුර ශ්‍රියාගේ නිවසේ ය. ඔව්හු අතීතය මෙනෙහි කරමින් දුක බෙදා ගනිති. සමාජයේ ජීවත් විය යුතු ආකාරය ‍ගැන සංවාද කරති. එහෙත් දෙදෙනාගේ අරමුණු වෙනස් ය. ටික දිනෙකින් ම ඔවුන් අතර ගැටුම් හටගනී. ශ්‍රියා අවසන් ලෙස සචිත්‍රා තම නිවසින් පන්නා දමයි. එය දෙදෙනාට ම දරාගත ‍නො හැකි අතිශය වේදනාත්මක අවස්ථාවෙකි. චූලා මේ අවස්ථාව මැනැවින් නිරූපණය කරයි.

කර්තෘගේ චරිත නිරූපණ හැකියාව උසස් මට්ටමක පවතී. මෙහි ප්‍රධාන චරිත දෙක හැරුණු විට කතාවට සම්බන්ධ තවත් චරිත විශාල ප්‍රමාණයක් සිටිති. අර්නෝලිස්, විශාඛා හාමු, ගජබා දිසානායක, ගුණසාර නගරාධිපති, වේරගම, මයිකල් ඉන් කිහිපදෙනෙකි. වේරගම යනු පෙරකදෝරුවකුගේ ලිපිකරුවා ය. ඔහු උසාවි වාර්තා කියැවීමට දක්ෂයෙකි. අතීතකාමයෙන් පෙළෙන්නෙකි. මේ පුද්ගලයා හැන්දෑවේ පානය සඳහා අරක්කු ඩ්‍රෑම් දෙකකට මුදල් සොයාගන්නා ක්‍රමය ඉතා තාත්වික ය. අර්නෝලිස් වලව්වක රහස් රකින කීකරු සේවකයෙකි. මයිකල් මුට්ට කරගසා පසුව දියුණුවට පත් වූ දූෂිත වෙළෙන්දෙකි. තක්කඩියෙකි. මේ සියලු චරිත කෙරෙහි පූර්ණ වැටහීමකින් යුතුව කතුවරයා ඔවුන් ප්‍රධාන ගැටුමට බද්ධ කරයි.

කතුවරයාගේ ප්‍රධාන දුර්වලතාවක් ද තිබේ. එනම්; සිංහල භාෂාවේ සරල වියරණය පවා නො සලකා හැරීම ය. නිදසුන් කිහිපයක් දැක්විය හැකි ය.

අයෙක් ඉන් මතුවිය (පිටුව; 208)

අයෙක් ඉදිරි අසුනේ විය. (පිටුව ; 258)

අයෙක් යනු නිත්‍ය බහු වචන ය. එහි ආඛ්‍යාතය බහුවචනයෙන් ම තැබිය යුතු ය. මෙබඳු වැරැදි ගණනාවක් පොත පුරා තිබේ. එහෙත් ඔහු සුන්දර කතාවක් ගොතයි. එය පාඨකයාට මහත් ආස්වාදයක් ලබා දෙයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා