බිහිසුණු සුළි කුණාටුව වනුආටු වනසයි

බිහිසුණු සුළි කුණාටුව වනුආටු වනසයි

දකුණු පැසිෆික් දූපතක් වූ වනුආටු දිවයිනට සිකුරාදා බිහිසුණු නිවර්තන කුණාටුවක් කඩා වැදී තිබේ. මෙම සුළි කුණාටුව හේතුවෙන් එම දූපත සම්පූර්ණයෙන් පාහේ විනාශ වන්නට ඇතැයි සැක මතුවී ඇත. මෙම කලාපයේ සිදුවූ දරුණුතම දේශගුණික ආපදාවක් ලෙස මෙය සැලකේ.

කුණාටුවෙන් සිදුවී ඇති ව්‍යසනය පිළිබඳ නිශ්චිත වාර්තා මෙතෙක් නිකුත් වී නැත. පහ ශ්‍රේණියේ සුපිරි කුණාටුවක් වශයෙන් සැලකෙන “පෑම්” සුළි කුණාටුව පැයට කි.මී.320ක පමණ වේගයෙන් සිකුරාදා කඩා වැදුන බව වාර්තා වේ. සනාථ නොකළ ජගත් සංවිධාන වාර්තා අනුව එක් ප්‍රාන්තයක 44 දෙනෙක් මිය ගොස් ඇත. දේපළ, මංමාවත්, විනාශ වී විදුලි බලය විසන්ධි වී ජල ගැලීම් තත්ත්වයක් උද්ගත වී තිබේ.

ප්‍රාථමික තත්ත්වයේ පසුවන මෙම දිවයිනේ නිසි ආරක්ෂක විධිවිධාන පද්ධතියක් නොමැතිවීම සහ ජනතාවගෙන් වැඩි පිරිසක් අස්ථාවර නිවාසවල ජීවත්වීම හේතුවෙන් මෙය පැසිෆික් සුළි කුණාටු ඉතිහාසයේ දරුණුතම සුළි කුණාටුව ලෙස හැඳින්විය හැකි බව නවසීලන්තයේ යුනිසෙෆ් විධායක අධ්‍යක්ෂ විවියන් මේඩාබොන් පවසයි. අගනගරය වූ පෝට් විලාහි නිවැසියන් බංකර තුළ මර බියෙන් රාත්‍රිය ගත කර ඇත. පසු දින උදෑසන එළියට පැමිණි ජනයා සිදුවී ඇති විනාශය දැක අන්දමන්ද වී ආධාර ලබා ගැනීමේ අටියෙන් ඔබ මොබ සැරිසරන බව “සේව් ද චිල්රන්” සංවිධානයේ ටොම් ෂික්‍රව් පවසයි.

මුළු දිවයිනම බිමට සමතලා කරමින් විනාඩි 15 – 30 ක පමණ කාලයක් තුළ හමා ගිය මෙම සුළි කුණාටුව නිසා දූපත්වාසීන් මර බියෙන් පසුවූ බව යුනිසෙෆ් ප්‍රකාශක ඇලිස් ක්ලෙමන්ට්ස් පවසයි.

මේ අතර දේශගුණික විපර්යාසය පිළිබඳ සමුළුවකට සහභාගි වෙමින් සිටින එරට ජනාධිපති තම රට මුහුණ පෑ මෙම දරුණු ඛේදවාචකයෙන් ගොඩඒමට සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවගේ ආධාර ඉල්ලා තිබේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා