රුසියානු ජනපති මහජනයාගෙන් වසන් වෙයි

රුසියානු ජනපති මහජනයාගෙන් වසන් වෙයි

නිතර දෙවේලේ දක්නට සිටින රුසියන් ජනාධිපති පුටින් සතියක පමණ කාලයක් තුළ මහජන ඇසට ‍ෙයාමු නොවීම සම්බන්ධයෙන් එරට ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වී තිබේ. “ජනාධිපති වැල්ඩ්මීර් පුටින් කෝ” යන්න නන් දෙසින් ඇසෙන ප්‍රශ්නයක් බවට දැන් පත්වී ඇතැයි වාර්තා වේ.

ඊට ප්‍රතිචාර දක්වමින් ක්‍රෙම්ලිනය පවසා ඇත්තේ ඔහු “හොඳ සුවයෙන්” පසුවන බවයි. පුටින් අවසන් වරට මහජනයා ඉදිරියේ පෙනී සිටි ඇත්තේ මාර්තු 5 දායි. ඒ ඉතාලි අගමැති මැටිඩ් රෙන්සි හමුවූ අවස්ථාවෙයි. පසුගිය සතියේ කසකස්තානයේ සිදුකිරීමට නියමිත වූ සංචාරයද ජනාධිපති පුටින් අවලංගු කර තිබිණි.

හොඳ ශරීර සෞඛ්‍යයෙන් පසුවූ දැඩි මතධාරි 62 හැවිරිදි පුටින් නිතර දෙවෙලේ මහජනයා අතර සිටි නිසා ඔහු ඇස නොගැටීම සම්බන්ධයෙන් රුසියානු ජනයා අතර පවතින්නේ මහත් කුතුහලයකි. ජනතාවගේ සිත් සතන් තුළ හටගෙන ඇති අවිනිශ්චිතභාවය පහකර හැරීමේ අටියෙන් ගුවන් පණිවුඩයක් නිකුත් කරන ඔහුගේ ප්‍රකාශක ඩිමිට්‍රි පෙස්කොව් සනාථ කර ඇත්තේ විමතියට පත්වීමට කිසිදු හේතුවක් නැති බවයි.

නැගෙනහිර යුක්‍රේන රජයට එරෙහිව රුසියන් හිතවාදී බෙදුම්වාදී කැරලිකරුවන් දියත් කර ඇති යුද්ධයේදී හමුදා මෙන්ම යුධායුද සැපයීමෙන් රුසියානු ජනාධිපතිවරයා බෙදුම්වාදීන්ට සහාය ලබා දෙන බවට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඔහුට ඇඟිල්ල දිගු කරති. එමෙන්ම පසුගිය පෙබරවාරි 27 දින ක්‍රෙම්ලිනය ආසන්නයේ පාලමක් මත දී හිටපු අගමැතිවරයෙක් වු නෙම්ස්ට්ටොව් ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් ද පුටින් රජයට චෝදනා එල්ල වී තිබේ. හිටපු උප අගමැතිවරයා පුටින් ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කළ යුක්‍රේන මැදිහත්වීම හෙළා දුටු ප්‍රබල විපක්ෂ විරෝධතාවක් සංවිධානය කරමින් සිටි අතරවාරයේ දී ඔහු ඝාතනයට ලක්වී සම්බන්ධයෙන්ද දැඩි සැක සංකා මතුවී ඇති පසුබිමක පුටින් ප්‍රසිද්ධියේ දක්නට නොලැබීම මෙම කුතුහලය තිව්‍රවීමට හේතුවී ඇත.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා