ක්‍රිස් ගේල්ගෙන් සුපිරි ශතකයක්

ක්‍රිස් ගේල්ගෙන් සුපිරි ශතකයක්

ක්‍රිස් ගේල් වාර්තා කළ සුපිරි ශතකය හේතුවෙන් කිංග්ස් පන්ජාබ් පිල සමග බැංගලොර් හිදී පැවැති අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 40වැනි තරගයෙන් ලකුණු 138ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල පෙරේදා සමත්විය. මේ සමග ප්‍රසාද ලකුණු සටහනේ 3වැනි ස්ථානය දක්වා ඉහළට ඒමට බැංගලෝර් පිලට හැකිවිය. තරග 10කට එක්වූ පන්ජාබ් පිලට අත්වු 8වැනි පරාජය මෙය විය.

මේ ජය අයි.පී.එල් තරග ඉතිහාසයේ දෙවැනි විශාලතම ජය ලෙසද සටහන් වෙයි. කොල්කටා පිල 2008දී බැංගලෝර් පිලට එරෙහිව වාර්තා කළ ලකුණු 140විශාලතම ජය ලෙස සටහන්ව තිබේ.

බැංගලොර් පිල කඩුලු 3ක් දැවී ලබාගත් ලකුණු 226ක ඉලක්කය හඹාගිය පන්ජාබ් පිලට සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 88ක් පමණි.

බැංගලෝර් පිල රැස්කළ ලකුණු 226 මෙවර තරගාවලියේ කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව මෙන්ම පන්ජාබ් පිල ලබාගත් ලකුණු 88 තරගාවලියේ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා වෙයි. මෙවර තරගාවලියේ සිවුවැනි තරගයේදී හයිද්‍රබාද් පිලට ‍එරෙහිව චෙන්නායි පිල රැස්කළ ලකුණු 209 ඉහළම ලකුණු ලෙස සටහන්ව තිබිණි.

පන්ජාබ් පිලේ ආරාධනයෙන් ඉනිම ඇරැඹු ක්‍රිස්‍ ගේල් හා නායක විරාත් කෝලි බැංගලෝර් පළමු කඩුල්ලට ලකුණු 119ක සබඳතාවක් ගොඩනැගුහ. කෝලි ලකුණු 32කට දැවී යෑමෙන් එම සබඳතාව බිදී ගියද ප්‍රවේගකාරී පිතිහරඹයක් දියත් කළ ගේල් පන්දු 46කින් තම ශතකය වාර්තා කළේය.

ගේල් දැවී යනවිට පන්දු 57කදී ලකුණු 117ක් ලබාසිටියේ හතරේ පහර 7ක් හා හයේ පහර 12කින් ඉනිම සරසා ගනිමිනි.

මෙය ගේල් වාර්තා කළ 14වැනි විස්සයි 20 ශතකය මෙන්ම 5වැනි අයී.පී.එල් ශතකයද වෙයි.

අක්ෂර් පටෙල් නොදැවී ලකුණු 40ක් රැස්කරමින් පන්ජාබ් පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය.

බැංගලෝර් -226/3 (ඕවර 20) ක්‍රිස් ගේල් 117, ඒ.බී.ඩිවිලියර්ස් නොදැවී 47, විරාත් කෝලි 32 (සන්දීප් ශර්මා 41/2)

පන්ජාබ්-88 (ඕවර 13.4) අක්ෂර් පටේල් නොදැවී 40 (මිචෙල් ස්ටාක් 15/4, ශ්‍රීනාත් අරවින්ද් 27/4)

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා