මේස පන්දු නිලවරණයේ නාමයෝජනා 32ක් ප්‍රතික්ෂේපයි

මේස පන්දු නිලවරණයේ නාමයෝජනා 32ක් ප්‍රතික්ෂේපයි

සභාපති නිතරගයෙන්, ලේකම් තනතුරට 2ක් සටනේ

ශ්‍රී ලංකා මේස පන්දු සංගමයේ නිලවරණය සඳහා ඉදිරිපත් කොට තිබූ නාමයෝජනා 55ක් අතරින් 32ක් ප්‍රතික්ෂේප වී තිබේ. පසුගියදා ක්‍රීඩා අමාත්‍යංශයේ දී මේස පන්දු නිලවරණයට නාමයෝජනා ඉදිරිපත් වී තිබූ පුද්ගලයන්ගේ ජීවදත්ත අනෙකුත් සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් පසුව තරග කිරීමට සුදුසුකම් සපුරා ඇත්තේ පුද්ගලයන් 23ක් පමණක් බව වාර්තාවේ.

මෙවර නිලවරණයේ සභාපතිධුරයට ඉදිරිපත්වූ අපේක්ෂකයන් දෙදෙනාගෙන් මේස පන්දු සංගමයේ හිටපු උපසභාපතිවරයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වී ඇත. කනක හේරත් මහතා මේස පන්දු සංගමයේ නිලතල දැරූ කාලය වසර 4කට වැඩිවීම මීට හේතුවී තිබේ. කෙසේවෙතත් සභාපතිධුරයට නාමයෝජනා බාරදී තිබූ හිටපු සභාපතිවරයකු වන රජීව් විජේතුංග මහතාගේ කාලය වසර 4 නොඉක්මවන බැවින් ඒ මහතාට පමණක් අනුමැතිය ලැබී ඇත. ඒ අනුව විජේතුංග මහතා මෙවර මේස පන්දු නිලවරණයේ දි මුල්පුටුවට නිතරගයෙන් පත්වනු ඇත. මෙවර නිලවරණයේ උපසභාපතිධුර 8ක් සඳහා ඉදිරිපත්කොට තිබූ නාමයෝජනා 37ක් 29ක්ම ප්‍රතික්ෂේපවීම විශේෂත්වයකි. ඒ අනුව ඉතිරි අටදෙනා නිතරගයෙන් එම තනතුරු සඳහා පත්වනු ඇතැයි වාර්තාවේ.

ලේකම් තනතුරට ඉදිරිපත් කළ නාමයෝජනා 5ක් අතරින් හිටපු උපසභාපතිවරියක වූ සදිසි නිරාශා, හිටපු උපලේකම් සුසිල් රාමනායක හා එම්.හර්ෂනා මහත්ම මහත්මීන්ගේ නාමයෝජනා ද ප්‍රතික්ෂේප වී ඇති බැවින් මෙවර නිලවරණයේ දී ලේකම් තනතුර සඳහා කසුන් උදාර විතානගේ සහ රුවන් අධිකාරී මහත්වරු අතර ද්වන්ධ සටනක් නිර්මාණය වී තිබේ. භාණ්ඩාගාරික තනතුර සඳහා නාමයෝජනා ඉදිරිපත්කොට තිබූ මේස පන්දු සංගමයේ වත්මන් භාණ්ඩාගාරික එම්.එස්.එම්.රසීන් මහතා සමග අජිත් ගුණසේකර, සමන් හේවගේ, එම්.ප්‍රේමදාස සහ ඩී.ආර්.ටී.පීරිස් මහත්වරුන්ට එම තනතුර සඳහා තරග කිරීමට අවස්ථාව ලැබී ඇත. උපලේකම් තනතුර සඳහා ඉදිරිපත් වූ තොසිනි තුයානි, ඕවිල් පෙරේරා, බන්දුල උදයකුමාර, එච්.එම්.පෙරේරාගේ නාමයෝජනා ද ප්‍රතික්ෂේප වී ඇති අතර කසුන් පුංචිහේවා සහ කසුන් උදාර විතානගේ මහත්වරුන්ට පමණක් තරග කිරීමේ අවස්ථාව උදාවී තිබේ. උපභාණ්ඩාගාරික තනතුර සඳහා නාමයෝජනා ඉදිරිපත් කළ ඩබ්.ජි.ඊ.ප්‍රසාද්, නිශ්ශංක සිංහබාහු, නිහාල් මාරසිංහ, මූර්ති රාමයියා සමග ඩබ්.බී.ඒ.පෙරේරා මහත්වරුන්ට ද ඒ සඳහා තරග කිරීමට අවස්ථාව ලැබී තිබේ. නිලවරණය ලබන 14වැනිදා පැවැත්වීමට නියමිතය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා