ප‍්‍රභාකරන්ට ප‍්‍රතිකාර කළ දොස්තර හා හෙදිය උසාවියට

ප‍්‍රභාකරන්ට ප‍්‍රතිකාර කළ දොස්තර හා හෙදිය උසාවියට

කොටි වෛද්‍ය බළකා ප‍්‍රධානීත් රැඳවුම් භාරයේ

මානුෂික මෙහෙයුමේ දී තුවාල ලැබූ කොටි නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන් ඇතුළු කොටි සාමාජිකයන්ට වෛද්‍ය ප‍්‍රතිකාර කළ බව කියන කිලිනොච්චි රජයේ රෝහලේ වෛද්‍ය අධිකාරී, කොටි වෛද්‍ය බළකායේ නායකයා සහ හෙදියක් රහස් පොලිසිය මඟින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඊයේ (12) ඉදිරිපත් කරනු ලැබූහ.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිකුත් කළ රඳවා ගැනීමේ නියෝග මත රඳවා ගෙන සිටින මේ සැකකරුවන් තිදෙනා නිරීක්‍ෂණය කිරීම සඳහා ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිශාන්ත හපුආරච්චි මහතා වෙත මෙසේ ඉදිරිපත් කෙරිණි.

ඩී. සත්‍යමුර්ති නමැති සැකකාර වෛද්‍යවරයා රජයේ පිළිගත් විශ්වවිද්‍යාලයක එම්.බී.බී.එස් වෛද්‍ය උපාධිධාරියකු වන අතර ඔහු කිලිනොච්චි රජයේ රෝහලේ වෛද්‍ය අධිකාරි ලෙස සේවය කර තිබේ.

එල්.ටී.ටී.ඊ වෛද්‍ය බළකායේ ප‍්‍රධානියා වන කේ. කේදීස් නැමැති සැකකරු කලක් මුහුදු කොටි බළකායේ සේවය කළ අයෙකි.

ඔහු අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් අයකු වන අතර එල්.ටී.ටී.ඊ සංවිධානය පවත්වා ගෙන ගිය වෛද්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා වෛද්‍යවරයකු ලෙස කොටි ත‍්‍රස්තවාදීන්ට උදවු කර තිබේ.

අත්අඩංගුවේ පසුවන හෙදිය ජයලක්‍ෂමී නැමැති තැනැත්තියකි.

පසුගිය මානුෂිය මෙහෙයුමේ දී ආරක්‍ෂක හමුදා ප‍්‍රහාරවලින් තුවාල ලත් කොටි ත‍්‍රස්තවාදීන්ට මොවුන් ප‍්‍රතිකාර කළ බව අනාවරණය වී ඇත.

මේ සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිසිය මොවුන් නිරීක්‍ෂණය කිරීමෙන් පසු විමර්ශන කටයුතු සඳහා නැවතත් රඳවා තබා ගැනීමට අවසර ඉල්ලා සිටියේ ය.

මොවුන් ගෙන් කිසිඳු පැමිණිල්ලක් අධිකරණය වෙත ඉදිරිපත් වී නොමැත.

සැකකරුවන් නිරීක්‍ෂණය කළ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිශාන්ත හපුආරච්චි මහතා ඔවුන් තවදුරටත් රහස් පොලිසියේ රඳවා ගෙන විමර්ශනය කිරීම සඳහා අවසර ලබා දුන්නේ ය.

වත් මසකින් සැකකරුවන් නැවත අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් හපුආරච්චි මහතා රහස් පොලිසියට නියෝග කළේය. මේ සැකකරුවන් තිදෙනා මානුෂිය මෙහෙයුම සිදු කරන අවස්ථාවේ දී ආරක්‍ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන රහස් පොලිසියට බාර දී තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා