ඇනස්ලි ඩයස් අභාවප‍්‍රාප්ත වෙයි

ඇනස්ලි ඩයස් අභාවප‍්‍රාප්ත වෙයි

‘ප‍්‍රවීණ විකට රංගන ශිල්පී ඇනස්ලි ඩයස් මහතා ඊයේ (12) අභාවප‍්‍රාප්ත විය. ඔහු මිය යන විට 82 වැනි වියෙහි පසුවිය.

දේහය කැලණිය, දළුගම, පරණ පාරේ පිහිටි අංක 377 දරණ ස්ථානයේ පිහිටි නිවෙසේ තැන්පත් කැර ඇත.

කැලණිය, දළුගම දී 1927 දී ජනවාරි 31 දින උපත ලත් ඒ මහතා, දළුගම ශාන්ත ප‍්‍රැන්සිස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය.

අනතුරුව මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් ද්වීතීයික අධ්‍යාපනය ලබා කැලණිය විද්‍යාලංකාර පිරිවෙනින් පාලි සංස්කෘත භාෂාවන් ප‍්‍රගුණ කෙළේය.

ඉංග‍්‍රීසි ගුරුවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ඇරඹූ ඔහු අනතුරුව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තකයෙක් වශයෙන් සේවය කෙළේය.

50 දශකයේ ගුවන් විදුලියේ ඇරඹීම විහිළු තහළු වැඩසටහනෙන් හාස්‍ය රංගන ක්ෂේත‍්‍රයට ඇතුළුව බර්ටි ගුණතිලක හා සැමුවෙල් රොද්‍රිගු සමඟ කළ විනෝද සමයෙන් ඉමහත් ජනප‍්‍රියත්වයක් ළඟා කර ගත්තේය.

ශ‍්‍රී ලංකා ජනරජයේ සංස්කෘතික අමාත්‍යාංශයේ ‘ලංකාතිලක’ සම්මානයෙන් ද හේ ගෞරව බහුමානයට පාත‍්‍ර විය.

දශක හතරක් පුරා හාස්‍ය රංගන ශිල්පියෙක් ලෙස අඛණ්ඩ ජනප‍්‍රියත්වයක් රඳවාගෙන ගිය ඇන්ස්ලි ඩයස් මහතාගෙන් විකට රංගන ක්ෂේත‍්‍රයට සුවිශේෂ සේවාවක් ඉටු වී ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා