ජාතියේ ගෞරවය රැකගත හැක්කේ නීතිය හා සාමය රැකුනොත් පමණයි

ජාතියේ ගෞරවය රැකගත හැක්කේ නීතිය හා සාමය රැකුනොත් පමණයි

විශේෂ කාර්ය බළකායේ විසිරීයාමේ උත්සවය අමතා ජනපති කියයි

ත‍්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගත්ත ද ජාතික ආරක්ෂාව රැක නොගෙන රටට ස්ථිරසාර සාමයක් උදා කළ නොහැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (12) පැවැසීය.ජනාධිපතිවරයා මේ අදහස් පළ කෙළේ ශී‍්‍ර ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ කාර්ය බළකායේ 60 වන මූලික පුහුණු පාඨමාලාව හැදෑරූ නිලධාරීන් හා සෙසු නිලයන්ගේ විසිර යාමේ උත්සවයට ඊයේ (12) සහභාගි වෙමිනි.

විශේෂ කාර්ය බළකායේ ආධුනික උප පොලිස් පරීක්‍ෂකවරුන් 100 දෙනෙකු සහ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 314 දෙනෙක් ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකා පුහුණු මධ්‍යස්ථානයේදී ඊයේ (12) පැවැති උත්සවයේ දී විසිර ගියහ.

 

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ හා සෙසු නිලයන්ගේ විසිර යාමේ අවස්ථාවට සහභාගි වීමට කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකා පුහුණු පාසලට ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රට දැය වෙනුවෙන් දිවිපිදූ එම බළකායේ විරුවන්ට පුෂ්පෝපහාර දක්වන අයුරු.

ඡායාරූපය - චන්දන පෙරේරා

අති ශූර ආධුනික වෙඩික්කරු සම්මානය ආධුනික පොලිස් කොස්තාපල් අංශයෙන් දිනා ගත් ආධුනික පොලිස් කොස්තාපල් ලලිත් කුමාරසිරි ආධුනික පොලිස් උප පොලිස් පරීක්ෂක අංශයේ අතිශූර වෙඩික්කරු සම්මානය දිනා ගත් ආධුනික පොලිස් උප පොලිස් පරීක්‍ෂක කවින්ද කුමාර ජනාධිපතිවරයා අතින් සම්මානයෙන් පිදුම් ලැබූහ.

අතිශූර ආධුනික පොලිස් කොස්තාපල්වරයාට හිමි සම්මානය රවින්ද්‍ර පෙරේරා සහ අතිශූර ආධුනික උප පොලිස් පරීක්‍ෂකවරයාට හිමි සම්මානය සනත් උදයංග විසින් ජනාධිපතිවරයා අතින් ලබා ගත්හ.

මෙහිදී හොඳම කණ්ඩායම ලෙස තේරුණු අංක දෙක කණ්ඩායමට ද ජනාධිපතිවරයා අතින් සම්මාන පිරි නැමිණ.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත පොලිස් විශේෂ කාර්යය බළකාය ජනාධිපති සම්මාන පුද කළ අතර උත්සවය අවසානයේ විශේෂ සන්දර්ශනයක්ද පැවැත්විණ.

ස්ථිර සාර සාමය උදා නොකර රට සංවර්ධනය කරා ගෙන යා නොහැකි බව පැවැසූ ජනාධිපතිවරයා තමා සියලු දේ කරන්නේ එය මැනවින් අවබෝධ කරගෙන ය.

නිදහසින් පසු රට රැක ගැනීමට කැප නොවීමේ ඵල විපාක පසුගිය දශක තුනක කාලය තුළ ජනතාව හොඳින් අත්විදි බව සිහිපත් කළ ජනාධිපතිවරයා ඒ අතීතයෙන් පාඩම් ඉගෙන කටයුතු කළ යුතු බවත් පෙන්වා දුන්නේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී මෙසේද පැවැසීය.

අපි පසුගිය වසර දෙකහමාරක කාලය තුළ අති විශිෂ්ඨ මෙහෙයුමක යෙදිලා මුළු ලෝකයම විෂ්මයට පත් කළා. ලෝකයේ බලවත්ම ත‍්‍රස්තවාදීන් ආසියාතික රටකදී සහමුලින්ම පරාජය පත්වුණා.

ඒ විශිෂ්ට මෙහෙයුමේදී විශේෂ කාර්ය බළකාය ඉටුකළ මෙහෙවර අති විශිෂ්ටයි. විනයෙන්, කැපවීමෙන්, ධෛර්යයෙන් වාගේම වීරෝදාරත්වයෙන් ආරක්ෂක සේවාවන් අතර ඉතා ඉහළ තැනක මේ විශේෂ කාර්ඩ බළකාය වැජඹෙනවා.

අද විසිරයන ඔබ සේවයට එක්වන්නේ එබඳු කීර්තිමත් බළකායකටයි. ඒ නිසා අද විසිර යන ඔබ සියලු දෙනාටම මම ඉතාමත්ම සතුටින් සුභ පතනවා.

ජීවිතය පරිත්‍යාගය

අද විසිර යන ඔබ මතක තබා ගත යුතු විශේෂ දෙයක් තිබෙනවා. පේදුරු තුඩුව වැල්වැටිතුරෙයි පාරෙදි 1984 සැප්තැම්බර් මාසයේ පළවෙනිදා නිලධාරීන් හතර දෙනෙක් ජීවිතය පූජා කළ මොහොතේ සිට මේ දක්වා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඇතුළුව මේ බළකායේ සෙබළු 461 ක් මාතෘ භූමිය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරලා තියෙනවා.

දෙසීයකට අධික නිලධාරීන් පිරිසක් පූර්ණ ආබාධිත බවට පත්වෙලා තියෙනවා. ඒ සියලු දෙනාට ජාතියේ ගෞරවය පුද කරන්න මේ මොහොත මම යොදා ගන්නවා. ඒ වගේම ඔවුන්ට අද අපි කරන ගෞරවය පරිපූර්ණතාවයට පත් කරන්න පුළුවන් වෙන්නේ ඔවුන්ගේ කැප කිරීම ඔබ තුළත් වර්ධනය කර ගෙන විසිර ගියොත් පමණයි.

නීතිය හා සාමය

විශේෂ කාර්ය බළකාය ආරම්භ කළේ ත‍්‍රස්තවාදය හිස ඔසවා ගෙන එනකොට, ලෝකයේ කොතැනත් ත‍්‍රස්තවාදීන් මුලින්ම කරන්නේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න ඉන්න පොලිසියට පහර දෙන එකයි.

ඔබ වාගේම පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළ දෙමළ පොලිස් නිලධාරීන්ව එදා සොය සොයා ගිහින් ත‍්‍රස්තවාදීන් විසින් මරා දැම්මා.

දොරේඅප්පා ඝාතනය ගැන පරීක්ෂණ කළ බස්තියම්පිල්ලේ ඇතුළු පොලිස් නිලධාරීන් මරා දාලා උතුරේ පොලිස් ස්ථාන රාශියකට පහර දුන් නිසා ඒ ස්ථාන රාශියක් අනතුරේ වැටිලා තිබුණා. ඒ නිසා ඒ පොලිස් ස්ථාන වලට ආරක්ෂාවට අතුරු හමුදාවක් හැටියටයි විශේෂ කාර්ය බළකාය එදා පිහිටෙව්වේ.

එදා ඉඳන් මේ විශේෂ කාර්ය බළකායෙන් අපේ රටේ ආරක්ෂාවට විශාල සේවයක් කෙරුණා. ඒ නිසා විශේෂ කාර්ය බළකාය තව තවත් ශක්තිමත් කරන්න පහුගිය වසර තුන තුළ අපි තීරණය කළා.

ත‍්‍රස්තවාදීන් මේ රට බෙදන්න එදා ඉඳන්ම සීමාවක් නැතිව නොනවතින සටනක් කළා. නමුත් අපේ ආණ්ඩු එකක්වත් ත‍්‍රස්තවාදයට එරෙහිව නොනවතින සටනක් කළේ නෑ. අපි ත‍්‍රස්තවාදය අතුගා දමන නොනවතින සටන ස්ථිර අධිෂ්ඨානයෙන් අපි මාවිල්ආරු වලින් ආරම්භ කළා, දැන් ඒ අනභිභවනීය මෙහෙයුම විජයග‍්‍රහණයෙන් අවසන් කරලා තිබෙනවා.

විශාල කැපකිරීම්

නමුත් ඒ විජයග‍්‍රහණය ලබන්න පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ කාර්ය බළකාය විශාල කැප කිරීම අපි මතක් කරන්න ඕනෑ.

ත‍්‍රස්තවාදීන්ගේ ඊළාම් සිතියමේ නැඟෙනහිර අවසාන ප‍්‍රබල බළකොටුව හැටියට සඳහන් වුණේ අම්පාරේ කාංචිකුඩිච්චිආරු ප‍්‍රදේශය. මේ ප‍්‍රදේශය ත‍්‍රස්තවාදීන්ගෙන් නිදහස් කර ගන්න විශේෂ කාර්ය බළකාය එල්ල කළ වීර විකුම්, වීර ගිගුම් මෙහෙයුම් ත‍්‍රස්තවාදීන්ට අමතක නොවන පාඩම් උගන්නපු බව කියන්න ඕනෑ.

තුන්වෙනි ඊලාම් යුද්ධයේ අගදී නැඟෙනහිර දී වැදුනු හොඳම අකුණු පහර ත‍්‍රස්තවාදීන්ට වැදුනේ විශේෂ කාර්ය බළකායෙන්. ඒ අකුණු පහර මෙහෙයුම බව මම කියන්න ඕනෑ.

අපි මානුෂික මෙහෙයුම් ඇරඹුවහම විශේෂ කාර්ය බළකාය නියතයි ජය මෙහෙයුමේ යෙදිලා අම්පාරේ ත‍්‍රස්තවාදී බලකොටු විසිහතරක් බිමට සමතලා කරලා වන්නියට යන සේනාංකවලට ජය නියත බව පෙන්නුවා.

විශේෂ කාර්ය බළකායේ ආදේශ පාඨයත් “නියතයි ජය” කියන වචන දෙක. ඒ වචන දෙක හැම මෙහෙයුමකදීම තහවුරු කර ගන්න මේ බළකායට පුළුවන් වුණා.

ත‍්‍රස්තවාදීන්ට විරුද්ධව කළ සටන් වලදී භූමිය හොඳින් දැන සිටීමේ වාසිය කවදත් තිබුණේ ත‍්‍රස්තවාදීන්ට. එහෙත් නැඟෙනහිරදී ඒක වෙනස් කරන්න විශේෂ කාර්ය බළකායට පුළුවන් වුණා.

හමුදාව ජීවිත පරිත්‍යාග කරලා ආරක්ෂා කර දෙන ප‍්‍රදේශ ආරක්ෂා කර ගත්තේ නැත්නම්, නිවැරදිව කළමනාකරණය කර ගත්තේ නැතිනම් අපිට මේ ජයග‍්‍රහණණය ජාතියට ලබා දෙන්න බැරුව යනවා.

මාවිල්ආරු මුදවාගෙන හමුදා සේනාංක ඉදිරියටම යනකොට මඩකලපුවේ සමහර ප‍්‍රදේශත් සැපයුම් මාර්ගවලත් හිටපු හමුදා කණ්ඩායම් අපිට ඉදිරියට ගෙනියන්න සිදුවුණා.

එතකොට ඒ ප‍්‍රදේශ පැය විසිහතරක් ඇතුළත බාරගෙන ආරක්ෂා කිරීමේ බරපතල වගකීම පැවරුණේ විශේෂ කාර්ය බළකායට. වෙල්ලාවලි, වව්නතිව්, කොක්කඩිචෝලේ යන ප‍්‍රදේශ වල විශේෂ කාර්ය බළකායේ සේනාංක තුනක් යොදවලා ආරක්ෂා කර ගෙන ඉන්න ගමන් තොප්පිගල මුදවා ගැනීමේ මෙහෙයුමට විශාල සහයෝගයක් විශේෂ කාර්ය බළකායෙන් ලැබුණා. අද නැෙඟනහිර පළාතේ නිදහස භුක්ති විඳින ජනතාව විශේෂ කාර්ය බළකායට ස්තුතිවන්ත වෙන්න ඕනෑ.

ඓතිහාසික ගමන

නැඟෙනහිර විතරක් නොවෙයි නැඟෙනහිරින් ඉදිරියට ගිහින් වන්නිය මුදා ගන්න යනකොට විශේෂ කාර්ය බළකායෙන් ලැබුණ සහාය අපට අමතක කරන්න බෑ.

අපේ හමුදාව වන්නියට ඇතුල් වෙනකොට ඕමන්තෙයි ඉඳන් කනගරායකුලම් දක්වා ඒ - 9 පාර ආරක්ෂා කළේ මේ බළකාය, පසුගිය මාර්තු විසිපස්වන දා පළවෙනි හමුදා කණ්ඩායම ඒ – 9 පාරේ යාපනයට ඒ ඓතිහාසික ගමන යනකොට ආරක්ෂාව සැපයුවේ විශේෂ කාර්ය බළකාය.

හමුදාව වන්නියේ මෙහෙයුම් කරනකොට යාල කැලයට පැන ගත්ත ත‍්‍රස්තවාදීන් මොණරාගල, ඔක්කම්පිටිය ප‍්‍රදේශශ වල ගොවියන්ට අමු අමුවේ මරාදාන්න ගත්තා.

ත‍්‍රස්තවාදීන්ගේ මර්මස්ථාන වලට හමුදාව යනකොට ඈත ගම්වල ජනතාව මරලා තමන්ගේ මර්මස්ථාන වලට න හමුදාව මොණරාගලට, යාලට කැඳවන්නයි ත‍්‍රස්තවාදීන් උත්සාහ කෙළේය. නමුත් අපේ විශේෂ කාර්ය බළකාය ඒකට ඉඩ දුන්නේ නෑ.

පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න මහතා අද පොලිස් විශේෂ කාර්ය බළකායට ඉතා වැදගත් දිනයක්. අප සියලු දෙනාම එක ධජයක් යටතේ ජීවත්වීමට ලැබීමෙන් පසු ජනාධිපතිතුමා මෙහි පැමිණීම ඉතිහාසගත වෙනවා.

ඒ විශේෂ කාර්ය බළකාය පිළිබඳව ඔබතුමා කරුණු රැසක් ප‍්‍රකාශ කළා. ඒ විශිෂ්ටත්වය අපට ලබා ගැනීමට ඔබ තුමා විශාල සහයක් අපට දුන්නා. මේ බළකායට දරුවන් පරිත්‍යාග කළ දෙමාපියනට අපේ ගෞරවය හිමි වනවා.

දිවයිනේ සෑම ප‍්‍රදේශයකම පාහේ විශේෂ කාර්ය බළකාය මෙහෙයුම් කරනවා. මේ රටේ කුරිරු යුද්ධය නිසා මිය ගිය නිලධාරීන්ගේ පවුල් අපි තනි කරන්නේ නැහැ.

ඔවුන් වෙනුවෙන් අපි විශේෂ වැඩ පිළිවෙළක් කි‍්‍රයාත්මක කරනවා. අද විසිර යන ඔබගෙන් මා ඉල්ලා සිටින්නේ මේ බළකායේ ගෞරවය රකින ලෙසයි.

විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරී කේ. එම්. එල්. සරත්චන්ද්‍ර මහතා 1983 වසරේ ඇරඹි විශේෂ කාර්ය බළකාය රටේ ත‍්‍රස්තවාදය විනාශ කරන්න විශාල කාර්යයක් ඉටු කළා.

මේ රට නිදහස් කර ගන්න සටන් වැදුණු විරුවන්ට අපේ ජනාධිපතුමාගේ නායකත්වය විශාල ශක්තියක් වුණා. මේ ජයග‍්‍රහණයට ඔබතුමාගේ නායකත්වය අයෝමය ශක්තියක් වුණා.

කොටි ත‍්‍රස්තවාදය සමඟ වගේම දේශීය කොටි හිතවාදීන් ජාත්‍යන්තර බලපෑම්වලට එඩිතරව මුහුණ දුන් ඔබතුමා නායකත්වය සතු උතුම් ගුණාංගයක් බව ලොවට පෙන්වා දුන්නා.

ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්‍ෂක මණ්ඩලික ප‍්‍රධානී එයාර් චිෆ් මාෂල් ඩොනල්ඩ් පෙරේරා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද බාලසූරිය , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (පුහුණු) පැටි‍්‍රක් ආයමා මහත්වරුද මේ අවස්ථාවට එක් වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා