වැල්ලවත්ත බැංකු කොල්ලයේ සැකකරුවන් 24දා තෙක් රක්ෂිතයේ

වැල්ලවත්ත බැංකු කොල්ලයේ සැකකරුවන් 24දා තෙක් රක්ෂිතයේ

වැල්ලවත්තේ පෞද්ගලික බැංකු මංකොල්ලයට සම්බන්ධ හමුදා කපිතාන් සහ බැංකු සේවකයා ඇතුළු 8 දෙනෙකු ජුනි 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගල්කිස්ස අතිරේක මහෙස්ත‍්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය නියෝග කළාය.

සැකකරුවන් සන්තකයේ තිබූ ගිනි අවිය රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද වැඩිදුරටත් නියෝග කළාය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ අසිත රොෂාන්, නලින්ද අනුරුද්ද, ඒ. ටී. තෙන්නකෝන්, චමින්ද රොෂාන් ඉබ‍්‍රායිම් ස්මයිල්, සුනිල් පෙ‍්‍ර්මරත්න යන අයයි.

අනෙක් සැකකරු වන දමිත පිටගල ලියනගේ නැමැති අය හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කරන ලෙස නියම කළාය.

කකුලක ආබාධයක් හේතුවෙන් අසිත පිටිගල නැමති සැකකරු වෑන් රථයකින් අධිකරණයට ගෙන්වා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

මංකොල්ල කෑ මුදලින් රුපියල් ලක්ෂ 107 ක් මේ වනවිට සොයාගත් බවත් එයින් ලක්ෂ 7ක් සැකකරුවන් වියදම් කර ඇති අතර රුපියල් ලක්ෂ 15ක් සොයාගැනීමට තිබෙන බවද කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට පැවසීය.

සැකකරුවන් ජුනි 24 දින නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා