මව සහ අනියම් සැමියා සැකපිට අත්අඩංගුවට

මව සහ අනියම් සැමියා සැකපිට අත්අඩංගුවට

වයස අවුරුදු 2 1/2ක සිඟිති දරුවෙකුගේ මරණය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසිය දරුවාගේ මව සහ ඇගේ අනියම් සැමියා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

වඩාගෙන සිටියදී බිම වැටුණු බව පවසමින් මේ සැකකාර යුවළ දරුවා කුලියාපිටිය රජයේ රෝහලට ඇතුළත් කිරීමට පැමිණ ඇත්තේ ඉකුත් 11 වැනිදා උදේ 7.00 ට පමණය.

මේ සිඟිත්තාගේ සිරුරේ කැපුම් තුවාල රැසක් තිබූ බවත් දරුවා රෝහලට ඇතුළත් කිරීමට පැමිණෙන විටදී මියගොස් සිටි බවත් කුලියාපිටිය රෝහල් පොලිසිය පවසයි.

චතුර ඩිල්ෂාන් නවරත්න නැමැති මියගිය සිඟිත්තාගේ මුහුණේ, බෙල්ලේ හා පිට ප‍්‍රදේශයේ තැලුම් තුවාල හා කැළල් රැසක් දක්නට ලැබූ බවද කුලියාපිටිය පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව සැකකාරිය පොලිිසියට ප‍්‍රකාශ කර ඇත්තේ තම සැමියා තමාට අතින් පයින් පහර දෙන අවස්ථාවේ දරුවා තමා අතින් ඉවතට විසි වී ගෙදර බිත්තියේ හැපී බිම වැටුණු බවයි.

තම බිරිය හා තමා අතර ඇතිවූ බහින්බස් වීමකදී උරණ වූ බිරිය දරුවාට අමානුෂික ලෙස පහර දුන් බව සැකකරු පොලිසියට පවසා තිබේ.

සිඟිත්තාගේ මළසිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකර ඇත.

සැකකරු හා සැකකාරිය කුලියාපිටිය මඩකුඹුරුමුල්ල ප‍්‍රදේශයේ කොහුමෝලක කම්කරු රැකියාවේ නියුතුව එම කොහුමෝල පිහිටි ඉඩමේ නිවෙසක පදිංචිව සිට ඇත.

සිඟිත්තාගේ මරණය පිළිබඳව කුලියාපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා