අපේ නායකයෙක් අපේම පාලනයක්

අපේ නායකයෙක් අපේම පාලනයක්

ඇල්ලේ ගුණවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ

මහින්ද ජනාධිපතිවරයා මෙලක පාලනය භාරගෙන සිව් වසරක් ගෙවී ගොසින්. ඉකුත් වසර හතර පිළිබඳව හා ජනාධිපතිවරයා පිළිබඳව පුනරාවර්ජනය කිරීමක් අනවශ්‍ය තරමටම කෘතවේදී ජනතාව ඒ පිළිබඳව දැනුවත්ව සිටී.

මෑත කාලයේ අප දුටු බොහෝ ජන නායකයින් බලයට පැමිණීමට පෙර ජනතාව කෙරෙන් ලබාගත් ගෞරවය විශ්වාසය බලයට පැමිණීමත් සමඟ පලුදු කරගත් බවයි මෑත ඉතිහාසය අපට සාක්ෂි සපයන්නේ.

එහෙත් ඒ මග වෙනස් කළ ජන නායකයෙකු ලෙස මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා නම් කිරීමට බොහෝ විචාරකයින් අද පෙළඹී සිටී.

යුද්ධයේ ආරම්භයේ සිට අවසානය දක්වා රණවිරුවන් හා ජන නායකයින් දැනුමෙන් ආකල්පවලින් හා මානසික ශක්තියෙන් සන්නද්ධ කළ ප්‍රතිපත්තිගරුක මධ්‍යස්ථ මතධාරී දේශපේ‍්‍රමී භික්ෂුන් වහන්සේ නමක් වන ඇල්ලේ ගුණවංස නාහිමියන් ඉකුත් වසර හතර පිළිබඳව කළ සිංහාවලෝකනයකි මේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සිව් වසරක පාලන කාලය පිළිබඳව ආපසු හැරී බැලීමට කලින් එතුමා පාලනය භාරගත් ශ්‍රී ලංකාවේ එවක තතු පිළිබඳව ප්‍රථමයෙන් අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

වසර තිහක් පැරැණිව ඔඩුදිවූ යුද්ධයත් සමඟ බටහිර අධිරාජ්‍යවාදී බලවේගවලට තෝතැන්නක්ව තිබූ ශශ්‍රී ලංකාවක් එතුමාට පාලනය කරන්නට හිමි වෙන්නේ.

තැන් තැන්වල පුපුරා යන බෝම්බවලින් මිනිසුන් සිය දහස් ගණනක් එකාපිට එකා වැටී මිය යනවා පමණක් නොවෙයි මේ මාතෘභූමිය එක්සත් ජාතික පක්ෂ රජය විසින් රනිල් වික්‍රමසිංහ මහතාගේත් ප්‍රභාකරන්ගෙත් අත්සනින් යුතුව ගිවිසගත් ආකාරයට බෙදා වෙන්කර ඔප්පු සකසා තිබූ ශශ්‍රී ලංකාවක් එදා මහින්ද රාජපක්‍ෂ මහතා භාරගත්තේ.

එපමණක් නොවෙයි. ශශ්‍රී ලංකාව තුළ එදා වෙනම රාජ්‍යයක අධිකරණ පිහිටුවල තිබුණ. බැංකු පිහිටවල තිබුණ. මුද්දර නිකුත් කරල තිබුණ. භයානකම කාරණය වුණේ, මේ රටේ විශාල පිරිසක් “ඔන්න ඕක දීල දාපුවම මොකද?” කියා සැහැල්ලුවෙන් රට බෙදන මහා පාපකර්මයට රුකුල් දෙන මානසිකත්වයකට පත්ව සිටීමයි. ත්‍රිකුණාමලයේ උණුදිය උල්පත්වලින් නාන්න බදු ගෙවල වීසා අරගෙන ගියත් මොකද කියලයි සමහරු කිව්වෙ.

මේ කියන ඊනියා සාමයකට රැවටුන ජනතාවක් හිටිය රටක් තමයි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා පාලනය කරන්නට භාරගත්තෙ. ඒ වන විටත් අපේ ජල සම්පත, වන සම්පත භූමි සම්පත, මුහුදු සම්පත, ඛනිජ ද්‍රව්‍ය ආදී මහාර්ඝ සම්පත් අධිරාජ්‍යවාදීන්ගේ සූරාකෑමට එකඟව පිඹුරුපත් සාදාගෙනයි තිබුණෙ. ගෙදර අම්මයි තාත්තයි වැඩට ගියෙ දෙසැරෙකට.

අම්ම බස් එකේ යනවනම් තාත්ත කෝච්චියෙ ගියෙ. ජීවිතය ගැන විශ්වාසයක් තිබුණෙ නෑ. මානසික අතින් අන්ත අසරණ වෙලයි බහුතර ජනතාවක් ජීවත් වුණේ. පාසල් ගිය දරුවා නිවසට ඒවිද? ඒ වෙනුවට මළ මිනියක් ගෙදරට එවයිද කියන චකිතය හැම අම්ම, තාත්ත කෙනෙක් තුළම තිබුණ.

මේ සුහදත්වය ඇත්තේ කා ගාවද...

නිතර පාසල් වහන්න සිදු වුණා. මෙහෙම රටක් තමයි ජනාධිපතිතුමා පාලනය කරන්නට භාර ගත්තෙ. හැබැයි දැන් බොහෝ දෙනාට මේ බව අමතක වී යාම ශෝචනීයයි.

මේ නව ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තියත් සමඟ එතෙක් පැවති යුද වාතාවරණයන්හි පවා වෙනසක් සිදුවුණා. එතෙක් අපේ හමුදාවන්ට ඒකාබද්ධ ශක්තිමත් ප්‍රබල වැඩසටහනක් නොතිබූ බව පැහැදිලියි. හමුදාවන් අතරත් යුද්ධයක් තිබුණා.

අපේ හමුදාවන් තුළටත් ඇතැම් බටහිර අධිරාජ්‍යවාදීන්ගේ බලවේග ඇතුළු වෙලා උපක්‍රමශීලීව හමුදා බලයේ කොඳුනාරටි කඩා දමන තැනට පත්ව තිබුණා. බටහිර බලවේග අපේ හමුදාවේ හා පොලීසියේ ඇතැම් නිලධාරීන් තුමන්ගේ පරමාර්ථ සාධනයට බරපතල ලෙස යොදාගෙන තිබුණා. ඒ වගට සාක්ෂි මේ වන විටත් අනාවරණය වෙමින් පවතිනවා.

ප්‍රථමයෙන් ත්‍රිවිධ හමුදාව හා පොලීසිය මානසික වශයෙන් සන්නද්ධ කිරීමටත් දෙවනුව ඔවුන්ට යුද්ධය සඳහා අවශ්‍ය සියලු පහසුකම් හා උපකරණ ලබාදීමටත් ජනාධිපතිවරයා සතුව සූක්ෂම වූ ඥානයක් තිබුණා.

මේ රටේ හිටපු හැම නායකයෙක්ම මේ රට බෙදල වෙන්කරල දෙන්න ඕනෑ කියන තැන හිටිය. මං දන්න විදියට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා එතනින් වෙනස් මගක චින්තනයක් තිබූ නායකයෙක්. ලෝකයේ ඕනෑම ගිවිසුමක් අත්සන් කරන්නේ පාර්ශව දෙකේ දෙදෙනාම එක තැනකට එකතුවෙලා. ඒත් රනිල් වික්‍රමසිංහ හා ප්‍රභාකරන් ඒ ගිවිසුම අත්සන් කරන්නෙ දෙතැනක ඉඳන්.

මේ තරමටම අපේ හිටපු නායකයින් බටහිර බලවේගවල ඉත්තන් වෙලයි හිටියෙ. ඒ වගේම අපි අමතක නොකළ යුතු කාරණයක් තමයි එතුමා භාරගත්තෙ කලින් පත්කරන ලද මන්ත්‍රී මණ්ඩලයක් හා කැබිනට් මණ්ඩලයක් සිටින රටක්. වරින් වර එහි වෙනස්වීම් සිදුවුණත් එය කිසි සැලැස්මකට අනුව පත් කරගත් ඉලක්කගත කැබිනට් මණ්ඩලයක් විදියට දකින්න අමාරුයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධාන ඉලක්කය වූ යුද්ධය ජයගැනීම සඳහා යෙදවූ ඒ කාලය තුළදී රටේ මහා සංවර්ධනයක් සිදුවූවා යයි මා නොපවසන්නේ ඒ නිසයි. එහෙත් මේ රටේ බහුතරය සංවර්ධන ක්‍රියාදාමය දියත් කළයුතුයි. එසේ නොමැතිව රජයට වගකීම් භාරදීල විවේචන හා යෝජනා විතරක් ඉදිරිපත් කිරීම අමනෝඥ ක්‍රියාවක් ෂදියටයි මා දකින්නේ. අපි දිනන්න බෑ කියපු යුද්ධයක් දිනාගත්ත ජාතියක් කියන දේ අමතක නොකළ යුතුයි.

මෙවැනි තත්ත්වයක් යටතේ එදා හිටපු නායකයින් කල්පනා කෙළේ රට කඩල ඔවුන්ට දෙන්නෙ මොන ක්‍රමයට ද කියන එකයි. සමහරු කිව්ව ස්වයං පාලනයක් ගැන. තව පිරිසක් කිව්ව පෙඩරල් ක්‍රමයක් ගැන. ස්වයංනිර්ණය අයිතිය ලබාදෙන්න කතාකරපු පිරිසකුත් ඒ අතර හිටියා. මේ කොයි ක්‍රමයට වුණත් රට බෙදන්න මිසෙක එක්සත් කිරීමක සංකල්පයක් ඔවුන් අතර තිබුණේ නෑ.

ඒ නිසා බොහෝ දෙනා සිතූ® කාරණයක් තමයි මෙයින් දෙමළ ජනයාගේ ප්‍රශ්න විසඳෙන බව. මා හට ඇති ප්‍රධානම ගැටළුව නම් මේ රටේ දෙමළ ජනතාවට දෙමළවීම නිසා ඇතිවී ඇති ගැටළුව කුමක්ද? යන්නයි. අපට ජාතියක් ලෙසට රැකියා ප්‍රශ්න සෞඛ්‍ය ප්‍රශ්න අධ්‍යාපන විෂමතා ආදී ප්‍රශ්න රැසකට මුහුණදීමට සිදුවෙනව. ඒ කිසිවක් දෙමළ ජනයාට පමණක් සීමා වෙලා නැහැ.

ඒ වගේම ඔවුන්ට පමණක් වූ එබඳු ගැටළුවක් ඇතිනම් එය වහාම ප්‍රකාශ විය යුතුයි. එහෙමත් නොවී අපේ සමහරු කොහොමද දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න යනව කියන්නෙ. උතුරු නැඟෙනහිර ප්‍රශ්න විසඳුමට ශශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකයින් 2/3 ක් ම ඉන්නෙ දකුණේ. ඒකෙන් ඒ අයගෙ ප්‍රශ්න විසඳෙන් නෑ. නැති ප්‍රශ්නයක් මේ මවාගෙන තියෙන්නෙ.

වසර තිහක කාලයක් අපි කව්රුත් යුද්ධෙන් දුක් වින්ද. ඒ යුගයේ දී මටත් කීප වතාවක්ම අත්අඩංගුවට පත්වෙන්න සිද්ධ වුණා. මාව ඝාතනය කරන්නත් උත්සාහ ගත්ත අවස්ථා තිබුණා. මට වස විස දුන්න. ඒ වගේම 1978 දී ජේ. ආර්. මහත්තයා මං හිටපු පන්සල පවා රජයට පවරා ගත්ත.

අපිත් අසීමිත විදියේ කායික මානසික පීඩා වින්ද. මේ පීඩාවලට ලක් කරමින් ඔවුන් අපෙන් ඉල්ලා සිටියෙ බුද්ධ ධර්මයේ නාමයෙන් වත් රට බෙදා වෙන්කර දීමට එකඟ වෙන්න කියලයි.

බුදු දහමේ දාන පාරමිතාව හොඳට මෙනෙහි කරල ප්‍රභාකරන් කියන දේශද්‍රෝහී මිනීමරුව ශ්‍රී මහා බෝධිය ළඟට ගෙනල්ල අතපැන් වත්කරල මිනිහ ඉල්ලන ප්‍රමාණයක් මේ රටෙන් පූජාකරන්න තිබුණ.

නිර්වාණය සාක්ශාත් කරගනිත්වා කියල පින් අනුමෝදන් කරන්නත් තිබුණ. එකොට මේ ප්‍රශ්නය විසඳෙයි ද? ඒත් දැන් අහිංසක දමිළ ජනතාව ප්‍රශ්නයක් නැතිව ජීවත් වෙනව. රට තුළ යුද්ධ කරන්න තරම් ප්‍රශ්න නැහැ.

මා දකින විදියට ජනාධිපතිතුමාට මෙවැනි එඩිතර නිවැරැදි තීරණ ගැනීමට පවුල් පරිසරය හා ඔවුන්ගේ වටපිටාවත් බලපෑව. එතුමා බෞද්ධ චීවරයේ ගුණ සුවඳ නිසි ලෙස හඳුණන නායකයෙක්. මලක් පූජා කරන්න භික්ෂූන් වහන්සේට දන් හැන්දක් බෙන්න, ගිලන්පස ටික පිරිනමන්න, කොටින්ම කියනවානම් බෞද්ධයෙක් විදියට පන්සල් යන්න එතුමා දන්නවා.

ටයිකෝට් ඇඳන් පාට ඇඳුම් ඇඳන් එතුමා පන්සල් යන්නෙ නෑ. ඒත් අපි දැකල තියනව දළදා හාමුදුරුවො ළඟට තනි අතින් මල් වට්ටිය රැගෙන යන නායකයොත් අද රටේ ඉන්නව.

“එතුමා බෞද්ධයෙක් වුණත් අන්‍ය ආගමික පූජකයන් සමඟත් ඉතා කුලුපග සම්බන්ධතාවක් පවත්වනව. මේ ආකාරයට සමබරව සාධාරණව තමන්ගේ සම්බන්ධතා පවා පැවැත්වීමට දන්නා නායකයකු බිහිවීමත් උදම් ඇනිය යුතු කාර්යයක්.

1956 ඇතිවූ සමාජ සංස්කෘතික විප්ලවයේ ආශ්වාදය ලබමින් හැදුන වැඩුන නිසා ඔහු තවදුරටත් දේශපේ‍්‍රමී නායකයෙක් බවට පත් වෙනව. ඒ නිසා එතුමාට මේ රටේ අක්මුල් ගැන හොඳ අවබෝධයක් තිබෙනව.

වෙනත් රටවල වගේ ජාතියට අනන්‍යවූ සංස්කෘතියක් නෙවෙයි අපේ රටේ තිබෙන්නෙ. මක්නිසාද අපේ ජාතිය, ආගම කියන්නෙ ගසට පොත්තක් පොත්තට ගසක් වගේ එකට බද්ධ වූවක්.

ඒ නිසා මේ රටේ තියෙන්නෙ බෞද්ධ සංස්කෘතියක්. දේශීය චින්තනය කියන්නෙ බෞද්ධ චින්තනය. සමබරව දේශීය චින්තනය ගොඩනඟන්න උත්සාහ කරන මේ නායකයා බෞද්ධ සැදැහැවතුන්ගේ ගුණ සුවඳ කැටිවුණ පන්සලේ බත්ටිකක් කෑවත් සතුටක් කියල හිතන්නෙත් ඒ නිසා විය යුතුයි.

දැන් අපි බොහෝ දේ දිනාගෙන අවසන්. ඒත් අමතක නොකළ යුතුයි අපි පරාජය කෙළේ බටහිර අධිරාජ්‍යවාදී බලවේගවල හමුදා සේනාංකය විතරයි. එහෙත් එයින් ඔවුන් තමන්ගේ සැලසුම් හකුලාගෙන නැහැ.

ඔවුන්ගේ සිතියම් ඔවුන්ගේ පිඹුරුපත් තාමත් ඔවුන් ළඟ සජීවීව සුරක්ෂිතව තිබෙනව. ඒවා නැවත හිස ඔසවන්නේ වෙනත් බලවේගවල ආකාරයෙන්. ඒ නිසා බුද්ධිමත්ව මනා සිහියෙන් යුතුව මේ බලවේග බිඳ දැමීමට පෙළගැසීමට මේ රටේ ජනතාවට විශාල වගකීමක් තිබෙන බව මතක තබාගත යුතුයි.


සබැඳි පුවත්