ජාතික ගමන් සගයා ශක්තිමත් වූ සිව් වසර

ජාතික ගමන් සගයා ශක්තිමත් වූ සිව් වසර

ඕනෑම රටක ප්‍රවාහන සේවාව එරට සංවර්ධන ක්‍රියාදාමයට ප්‍රධාන සාධකයකි. යහපත් පොදු ප්‍රවාහන සේවාවක් නොමැතිව කිසිදු රටකට සංවර්ධනය කරා ගමන් කළ නොහැකිය. ආර්ථික, සමාජයීය, සංස්කෘතික කවර අන්දමේ දියුණුවක් සඳහා වුවද ප්‍රවාහන සේවාවෙන් ඉටුවන්නේ මහත් වූ මෙහෙවරකි.

මහින්ද චින්තන ප්‍රකාරව පොදු ප්‍රවාහනයේ ස්වර්ණමය යුගය උදාකිරීම සඳහා රජය පියවරවල් රැසක් ගෙන ඇති අතර, නව ව්‍යාපෘති ගණනාවක් අරඹා තිබේ.

ප්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ජාතික ගමන් සගයා ලෙස ප්‍රවාහනය ශක්තිමත් කරමින් සිටී.

ශක්තිමත් ලංගමක් බිහි කළ ජනාධිපතිතුමා සමඟ ප්‍රවාහන ඇමැතිතුමා

මෙරට පොදු ප්‍රවාහනය දුම්රිය රාජ්‍ය බස් හා පුද්ගලික බස් සේවා වශයෙන් අංශ තුනකින් ක්‍රියාත්මක වෙයි. මගී ප්‍රවාහනය මෙන් ම භාණ්ඩ ප්‍රවාහනය ද ඒ අනුව සිදුවන්නකි. වසර 2010 වන විට මගී ප්‍රවාහනයට දුම්රියේ දායකත්වය සියයට 5 සිට 10 දක්වාත්, භාණ්ඩ ප්‍රවාහනයේ සියයට 1 සිට 10 දක්වාත් වර්ධනය කිරීමට අදහස් කෙරේ.

ප්‍රවාහන ප්‍රතිශතය

පොදු ප්‍රවාහන ක්‍ෂේත්‍රය ජනතා හිතකාමී මෙන් ම රටේ ආර්ථික නවෝදයේ හවුල්කරුවෙකු වන පරිදි නඟාසිටුවීමට ගෙන ඇති ක්‍රියාදාමයන් නිසා අද වන විට ප්‍රවාහනය තුළ අලුත් ප්‍රබෝධයක් ජනතාවට ද දකින්නට හැකි වී ඇත. ප්‍රවාහනය විධිමත් කිරීම සඳහා ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් ද මේ වන විට සකස් කර තිබේ.

සියවස් එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ ජාතික ප්‍රවාහන පද්ධතියේ දැවැන්ත කොටස්කරුවකු වූ දුම්රිය 21 වැනි සියවස තුළදීත් සිය වගකීම නොපිරිහෙලා ඉටුකරමින් සිටී. දිනකට ලක්‍ෂ තුනකට වැඩි පිරිසකට ගමන් පහසුව සලසන දුම්රිය දිනකට ගමන් වාර 312 ක් පමණ ධාවනය කෙරෙයි. 2008 වසර දුම්රිය සංවර්ධනය කිරීමේ දිගු කාලීන ක්‍රියාවලියේ පදනම් වර්ෂය විය.

චීනයෙන් ආනයනය කරන ලද දුම්රිය මැදිරි 100 දුම්රිය මගට පිවිසීමත් සමඟ වසර 15 ක සිට පැවැති දුම්රිය මැදිරි නියඟය නිමාවට පත් විය.

වසර 10 ක් පුරා නව බලවේග කට්ටල දුම්රිය පහස නොලැබූ දුම්රිය මාර්ගයට තවත් බලවේග කට්ටල දුම්රිය 15 ක් එක්විය. මෙම එක් දුම්රියකින් වරකට මගීන් 1500 ක් ගෙන යා හැකි අතර දුම්රිය පැයට කි. මීටර් 50 ක පමණ වේගයෙන් ධාවනය කිරීමට හැකිය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රාජ්‍ය තන්ත්‍රික ජයග්‍රහණයක් නිසා එම දුම්රියන් 1998 පැවැති මිල ගණන්වලටම ලබාගැනීමට හැකි විණි.

මෙම දුම්රියන් ධාවනයට එක්කිරීමත් සමඟ සියලුම දුම්රිය මාර්ගයන්හි මගී ප්‍රවාහන ප්‍රතිශතය ඉහළ ගොස් තිබේ.

මෙම බලවේග කට්ටල 15 ත් සමඟ ශශ්‍රී ලංකාවේ දුම්රිය සේවාවේ බලවේග කට්ටල දුම්රිය ඇණිය 50 දක්වා ඉහළ ගියේය. මේ සඳහා වැය වූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 40 කි.

විශිෂ්ට ජයග්‍රහනය

දිනකට ඩීසල් විදුලි එන්ජින් අවශ්‍යතාව 60 ක් පමණ වුවත් සේවයේ යෙදීමට හැකි එන්ජින් ප්‍රමාණය 48 ක් 50 ක් තරම් විය. එයට විසඳුමක් ලෙස දුම්රිය එන්ජින් 15 ක් මිලට ගැනීමේ ව්‍යාපෘතිය හඳුන්වා දිය හැකිය.

නව එන්ජින් ගැනීමෙන් දුම්රිය කාලසටහන සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි අතර දුම්රිය එන්ජින් අධික ලෙස ධාවනය කිරීම අඩු කිරීම, භාණ්ඩ ප්‍රවාහනය ශක්තිමත් කිරීම, මෙම ව්‍යාපෘතිය නිසා ලැබෙන වාසි අතර වෙයි. මේ සඳහා ආයෝජන මුදල රුපියල් මිලියන 3000 කි.

එසේම උඩරට දුම්රිය මාර්ගය සඳහා බලවේග කට්ටල දුම්රිය 7 ක් හඳුන්වා දීමට යයි.

ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ මුහුදුබඩ දුම්රිය මාර්ගය නවීකරණය කිරීමට පියවර ගෙන තිබේ. මෙම ව්‍යාපෘතිය අදියර 2 කින් නිමකෙරෙන අතර ඒ සඳහා ඉන්දියානු රජය ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක ප්‍රතිපාදන ලබා දී තිබේ. මේ යටතේ බලවේග කට්ටල 20 ක් දුම්රිය එන්ජින් 3 ක් ශශ්‍රී ලංකා දුම්රිය සේවයට ලැබෙන අතර දුම්රිය සේවකයින් 600 කට විදේශ පුහුණුවක් ලබා දෙනු ලැබේ.

මෙම මාර්ගය සංවර්ධනය කිරීමෙන් පසු මගී දුම්රිය ධාවනය පැයට කි. මීටර් 100 ට පමණ වැඩි කෙරෙනු ඇත.

උතුරේ තල් රුප්පාවත් දකුණේ පොල් රුප්පාවත් යා කරමින් ගමන් කළ යාල් දේවියට එක් කාලසීමාවකදී එම ගමන් මඟ හරස් විය.

සිංහල දමිල සමගිය

වසර 20 කට පසු යාල්දේවිය වව්නියාවට ඔබ්බෙන් ගමන් කරවීම විශිෂ්ට ජයග්‍රහණයකි.

යාල්දේවිය දැන් වව්නියාවේ සිට තාන්ඩිකුලම් දක්වා කි. මීටර් 3 ක පමණ දුරක් යයි.

ශශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නැඟෙනහිර නවෝදය, උතුරු මිතුරු ව්‍යාපෘතිය මෙන් ම දුම්රිය සේවක ශ්‍රමය යටතේ උතුරු නැඟෙනහිර දුම්රිය ධාවනය කාර්යක්‍ෂම කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව සිංහල දෙමළ සමඟියේ සංකේතයන් වූ යාල්දේවි දුම්රිය මග කඩිනමින් ඉදිවෙමින් පවතී.

උතුරටත් ගමන් පහසුව

රාජ්‍ය බස් සේවාව

ඕමන්ත දුම්රිය ස්ථානය දෙසැම්බර් මස 31 වැනි දිනට පෙර නිමකිරීමට ඬයමිතය. තිබෙන දුම්රිය මාර්ග සංවර්ධනය කරන අතරම නව දුම්රිය මාර්ග ඉදිකිරීමට ද දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

කි. මීටර් 127 ක් වන මාතර කතරගම දුම්රිය මාර්ගයේ ප්‍රථම අදියර වන මාතර සිට බෙලිඅත්ත දක්වා කොටසේ ඉදිකිරීම් මේ වන විට අරඹා තිබේ.

මේ සඳහා ඇස්තමේන්තු ගත මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 300 කි. අදියර තුනකින් ඉදිකෙරෙන මාතර – කතරගම මාර්ගය 2014 වසරේ නිමකෙරෙනු ඇත.

මාතර බෙලිඅත්ත කි. මීටර් 27, බෙලිඅත්ත වීරවිල කි. මීටර් 73 හා වීරවිල කතරගම කි. මීටර් 27 වශයෙන් මෙම මුළු මාර්ගය ඉදිකෙරෙයි. මාතර බෙලිඅත්ත දක්වා කොටසේ නිල්වලා ගඟ හරහා ඉදිකෙරුණු පාලම මීටර් 100 ක් දිග වන අතර ඒ සඳහා වැය වූ මුදල රුපියල් මිලියන 100 කි.

කළුතර උතුර දක්වා ද්විත්ව මාර්ගය රාගම සිට මීගමුව දක්වා ද්විත්ව මාර්ගය පොල්ගහවෙල සිට අනුරාධපුරය දක්වා ද්විත්ව මාර්ගය ඉදිකර ඇති අතර, කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පමුණුවන වංගු ඉවත් කිරීමටත්, එම මාර්ගයට සරිලන දුම්රිය කට්ටල මිලට ගැනීමටත් කටයුතු යොදා තිබේ.

කෙටි ධාවන දුර සඳහා රේල් බස් 10 ක් යෙදවීමට පියවර ගෙන ඇති අතර නගරාන්තර දුම්රියන් සඳහා මැදිරි ආසන වෙන්කිරීම් පහසු කර තිබේ. වැඩිවන ඉල්ලුමට සරිලන සේ දුම්රිය මාර්ග සංඥා පද්ධතිය හා විදුලි සංදේශ ජාලය නවීකරණය කිරීමට පියවර ගෙන ඇති අතර දුම්රිය හරස් මාර්ගවලට ආරක්‍ෂාව සැලසීම සියලුම දුම්රිය ස්ථාන සුපිරිසර ව්‍යාපෘතිය යටතේ දැකුම්කළු මගීී පහසුකම් සහිත ස්ථාන බවට පත්කිරීමටත් පියවර ගෙන තිබේ. දුම්රිය උරුමයන් රැකගැනීමට මෙන් ම බාල පරපුරට දැනගැනීම සඳහා දුම්රිය කෞතුකාගාරයක් ද ඉදිකර තිබේ.

රාජ්‍ය බස් සේවාව වන ශශ්‍රී ලංගම සමස්ත මගී ප්‍රමාණයෙන් සියයට 20 ක් ප්‍රවාහනය කරනු ලබයි. ලංගම බස් රථ ඇණිය 9408 ඉක්මවා ඇති අතර දෛනිකව ධාවනය කරන ලද බස් ප්‍රමාණය 5500 ඉක්මවයි.

රාජ්‍ය බස් සේවා ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 325 ක පමණ වියදමින් නව එන්ජින් කට්ටල 300 ක් ගෙන්වා ඇති අතර රුපියල් මිලියන 186 ක වියදමින් බස් රථ 400 ක සුළු අලුත්වැඩියාවන් හා විශාල අලුත්වැඩියා කර තිබේ.

පුද්ගලික අංශ

ප්‍රාදේශීය වශයෙන් ලිහිසි තෙල් ගබඩා කොට ඩිපෝ වෙත බෙදාහැරීමේ ව්‍යාපෘතියක් අරඹා ඇති අතර එය ඩිපෝවලට විශාල සහනයක් වී තිබේ. ප්‍රාදේශීය වැඩපළවල් වැඩිදියුණු කිරීම, එන්ජින්, බස් බොඩි, ඉන්ධන විදින ගියර් බොක්ස්, ඉන්ධන විදින පොම්ප ප්‍රමාදයකින් තොරව අලුත්වැඩියා කර ගැනීමට හැකි වී තිබේ.

ඒකල, කලුදෑවල හා අම්පාර ටයර් කර්මාන්තශාලා ඇතිකිරීමට පියවර ගෙන ඇති අතර සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ආදර්ශ ඩිපෝ 33 ක් පවත්වාගෙන යනු ලැබේ. මහින්ද චින්තනය යටතේ ගැමිසැරිය, සිසු සැරිය, නිසි සැරිය කාර්යාල සේවා හා දුම්රිය බස් ඒකාබද්ධ සේවා වශයෙන් විශේෂ ව්‍යාපෘති 5 ක් ක්‍රියාත්මක කර තිබේ.

මූල්‍ය ලාභය පමණක් පදනම් කරගෙන බස් රථ ධාවනය කිරීමෙන් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ අවශ්‍යතා ඉටුනොවන බැවින් ඊට විසඳුමක් ලෙස මෙම සේවා ඇරඹිණි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව ශ්‍රී ලංගම හා පුද්ගලික අංශ සහභාගි කරවාගෙන මෙම ව්‍යාපෘති ක්‍රියාවට නංවා තිබේ.

වැඩකරන ජනතාව

පාසල් සිසුන්ට විශ්වාසනීය ආරක්‍ෂාකාරී හා අඩු වියදම් බස් සේවා සැලසෙන සිසු සැරිය මෙම වසර අවසාන වන විට බස් 1000 දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබේ.

සංවර්ධනය වෙමින් පවත්නා ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන ජනතාවට නිත්‍ය හා අඩු වියදම් ප්‍රවාහන සේවාවක් ගැමි සැරිය මගින් සැපයේ.

නිසි සැරිය බස් සේවාව රාත්‍රී හා අළුයම් කාලය සඳහා ක්‍රියාත්මකය. මෙය කොළඹ හා අවට මාර්ග 100 ක ක්‍රියාත්මක කෙරෙන අතර එය ක්‍රියාත්මක වන්නේ උඩහමුල්ල, කැස්බෑව හා හෝමාගම ඩිපෝ මගින් පවත්වාගෙන යන රාත්‍රී බස් සේවාවන්ට අමතරවය.

වරකාපොල, පානදුර, පාදුක්ක, මීගමුව, ලබුගම, තරාල යන ප්‍රදේශවලින් කොළඹ, මාලිගාවත්ත දක්වා කාර්යාල සේවා පැවැත්වේ.

සේවය සඳහා කොළඹට පැමිණෙන අයගේ පහසුව සඳහා දෙමටගොඩ හා බම්බලපිටිය දුම්රිය ස්ථානවල සිට දුම්රිය බස් ඒකාබද්ධ සේවාවන් අරඹා තිබේ.

වැඩ කරන ජනතාව සඳහා පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළෙන් ද ගමනාන්ත 22 ක් දක්වා රාත්‍රී බස් සේවා අරඹා ඇති ඉදිරියේදී සෑම ප්‍රධාන නගරයකම සිට රාත්‍රී බස් සේවා අරඹන බව ප්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

නව තාක්ෂණය

රියදුරු පුහුණුව විධිමත් කිරීම සඳහා රියදුරු පුහුණු පාසල් ප්‍රතිසංවිධානය කිරීමට පියවර ගෙන ඇති පෞද්ගලික බස් සේවාව විධිමත් කිරීම සඳහා බස් හිමියන් ඒකරාශී කොට බස් සමාගම් පිහිටුවීමට පියවර ගෙන තිබේ.

17000 ක් පමණ වන පුද්ගලික බස්වලින් ද, විශාල සේවාවන් සිදුවන අතර එය විධිමත් කිරීම සඳහා පුද්ගලික බස් කර්මාන්තයේ නියැලී සිටින රියදුරු කොන්දොස්තරවරුන්ට පුහුණුව ලබාදීම නිල ඇඳුම් ලබාදීම, පුද්ගලික බස්වලින් ප්‍රවේශපත් නිකුත් කිරීමට සැලැස්වීම වාහනවල ශබ්ද මට්ටම සීමා කිරීම ඇතුළු ක්‍රියා රැසකට හඳුන්වා දී තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා වේරහැර ශාඛා කාර්යාලයක් පිහිටුවා ඇති අතර නව තාක්ෂණයෙන් යුතු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැළපෙන නව රියදුරු බලපත්‍රයක් හඳුන්වා දෙමින් සිටී. බස්නාහිර පමණක් ක්‍රියාත්මක වූ වායු විමෝචන වැඩසටහන මේ වන විට උතුරු, උතුරුමැද හා මධ්‍යම පළාත්වල ද අරඹා තිබේ.

මගී අවශ්‍යතාවලට සරිලන පොදු ප්‍රවාහන සේවාවන් සැලසීමට රජයත් ප්‍රවාහන අමාත්‍යාංශයත් ගන්නා වෑයම සාර්ථක කර ගැනීමට මගී ජනතාවගේ සහාය ද අත්‍යවශ්‍ය වෙති.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්