බල ශක්ති අර්බුදයට ස්ථිර විසඳුමක්

බල ශක්ති අර්බුදයට ස්ථිර විසඳුමක්

රටක සංවර්ධනය යනු බොහෝ පැතිකඩ ඔස්සේ විමසා බැලිය යුතු තත්ත්වයකි. එහි දී සමාජ, ආර්ථික සදාචාර, සංස්කෘතික සංවර්ධනය මෙන්ම භෞතික සංවර්ධනයද ප්‍රධාන අංගයකි.

භෞතික සංවර්ධනයේ දී බල ශක්තියට හිමි වනුයේ වැදගත් ස්ථානයකි. පසුගිය කාලයේ රටක් වශයෙන් අප රටේ ජල විදුලි බලය හා බලශක්තිය සංවර්ධනය උදෙසා ගනු ලැබූ තීරණ ගණනාවකි.

එහෙත් එම තීරණ ඒවා ක්‍රියාත්මක කිරීමේ දී දක්නට ලැබුණු දේශපාලන සහ වෙනත් බලපෑම් නිසාත් මේ සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක වන බවත් පෙනෙන්නට තිබුණේ නැත. මේ නිසා දිනෙන් දිනම ලංකාවේ බල ශක්ති අර්බුදය උග්‍ර වන බව පෙනෙන්නට තිබුණි.

2005 වර්ෂය වන විටද මේ තත්ත්වය උග්‍රවන බව පෙනෙන්නට තිබුණි. මේ අතර ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ජනාධිපතිවරණය පැවැත්විණි. එහි දී එවක අගමැතිවරයා වූ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදය පිළිබඳ නිවැරැදි දැක්මකින් යුක්ත විය. රාජපක්ෂ මහතා සිය මහින්ද චින්තන ප්‍රකාශනය තුළ මේ තත්ත්වය පැහැදිලි ලෙස දැක තිබුණි.

දේශපාලන හා වෙනත් බලපෑම් නිසා අපගේ බල ශක්ති ක්ෂේත්‍රය අවුල් ජාලයක් වී ඇත. ලෝක වෙළෙඳ පොළේ වැඩිවන ඉන්ධන මිලෙහි බරින් අපගේ දිළිදු ජනතාව හා රටේ ආර්ථිකය මුදා ගැනීමත් බලශක්ති සැපයුම රට තුළ ඉල්ලුමට සරිලන මට්ටමට ඉහළ නැංවීමත් මගේ ප්‍රධාන ඉල්ක්කය වනු ඇත. දේශයේ බලශක්ති සුරක්ෂිතාවට සහ බලශක්ති සංරක්ෂණයට ඉහළ ප්‍රමුඛත්වයක් ලබා දෙනු ඇත.

ජනතාවගේ සමාජ ප්‍රශ්න පාරිසරික බලෑම් ආදී සියල්ල සැලකිල්ලට ගෙන ගල් අගුරු තාප බලාගාරයක්ද, ජල විදුලි බලාගාරයක්ද විදුලිබල මණ්ඩලයේ ජනක සැපයුම් වලට අනූකූලව කඩිනමින් ඉදිකරමි’’

මහින්ද චින්තන 47 පිටුව

බොහෝ විට අප රටේ දක්නට ලැබුණේ මෙවැනි තීරණ දේශපාලඥයන් විසින් ජනතාවට ප්‍රකාශ කළඳ ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවීම ය. එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ එය තවදුරටත් පොරොන්දුවක් පමණක් ප්‍රකාශයක් පමණක් වූයේ නැත.

එය වඩාත් සක්‍රීයව ක්‍රියාවට නැඟෙන්නට විය. වසර 2012 දී සැමට විදුලිය ලබාදෙමින් බලශක්ති අර්බුදයට තිරසාර විසඳුමක් ලබාදීම සඳහා ගෙවුණු සිව් වසරක සිය පාලන කාලය තුළ ජනාධිපතිවරයා ක්‍රියාකර තිබේ.

කෙලවරපිටිය තාප විදුලි බලාගාරය විවත කරමින්...

මෙහි දී බලශක්ති සංවර්ධනය උදෙසා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන සැලසුම් ක්‍රියාත්මක වන්නට විය.රටක් වශයෙන් බලශක්ති සංවර්ධනයේ දී අප මුහුණ දී තිබෙන ප්‍රධානතම ප්‍රශ්නය වූයේ ජල විදුලි බලාගිර ධාරිතාව රටේ සමස්ත විදුලි ඉල්ලුමෙන් 35% කට සීමා වී තිබීමය.

65% කට අධික රටෙහි විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා ඛනිජ තෙල් බලාගාර මත රඳා පැවැතීමට සිදුවීම සංවර්ධනය වන රටක් ලෙස ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බරපතළ ගැටලුවකි.

ලෝක වෙළෙඳ පොළේ ඛනිජ තෙල් මිල ගණන් ඉහළ යාමත් සමඟ ඛනිජ තෙල් බලාගාර වලින් නිපදවන විදුලි ඒකකයක නිෂ්පාදන වියදම උච්චාවචනය වීම විදුලි බල අමාත්‍යාංශය මුහුණ දී තිබෙන ප්‍රධානතම ගැටලුවයි.

ඒ අනුව රුපියල් 19.50ක නිෂ්පාදන වියදමක් දරා නිපදවෙන විදුලි ඒකකයක් විදුලි පාරිභෝගිකයන්ට රු. 14.40ක සහනදායි මිලකට අලෙවි කිරීම හේතුවෙන් එක් විදුලි ඒකකයකින් රු. 5.10ක අලාභයක් ලබමින් වසරකට රු බිලියන 42 ක අලාභයක් ලැබීම ලංවීම තුළ බරපතළ මූල්‍ය අර්බුදයක් නිර්මාණය වීමට හේතු වී ඇත.

මෙම මූල්‍ය අර්බුදය ජයගෙන විදුලි පාරිභෝගිකයින්ට සහනදායි මිලකට විදුලි ඒකකයක් ලබා දීමෙන් මහින්ද චින්තනයෙන් අපේක්ෂා කරන 8% ක ආර්ථික සංවර්ධන වේගය ළඟා කර ගැනීමට අවශ්‍ය දිගුකාලීන බලශක්ති සැලසුමක් විය.

ඒ අනුව දිවයිනේ ප්‍රදේශ තුනක දැවැන්ත බලාගාර තුනක් ඉදිකිරීමට පසුගිය සිව් වසරක කාලය තුළ හැකිවිය. මෙය එක් අතකින් විදුලිබල අමාත්‍යාංශයද තවත් අතකින් රටේ ජනතාවද ලැබූ සුවිශාල ජයග්‍රහණයකි. මේ අනුව 2012 වන විට මෙගා වොට් 3050ක ධාරිතාවයක් ඉහළ කොත්මලය, පුත්තලම, ත්‍රිකුණාමලය විදුලි බලාගාර තුළින් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතී.

එමෙන්ම විවිධ දේශපාලන සහ මහජන උද්ඝෝෂණ නිසා දශකයකට අධික කාලයක් ක්‍රියාත්මක කිරීමට නොහැකිව තිබූ නෝරච්චෝල , පුත්තලම ගල්අගුරු බලාගාරය ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීම මත 2006 මැයි 11 වෙනි දින ආරම්භ කෙරිණි. එය ජාතික සංවර්ධනය උදෙසා ලංකාව තැබූ යෝධ ඉදිරි පිම්මක් බව බොහෝ විචාරකයන්ගේ ප්‍රසාදයට ද පාත්‍ර වූහ.

ශ්‍රී ලංකා ඉතිහාසයේ විදුලිබල අවශ්‍යතා සඳහා ගල් අඟුරු බලශක්ති ප්‍රභවය භාවිතා කරන ප්‍රථම බලාගාරය පුත්තලම නොරොච්චෝල ප්‍රදේශයේ ඉදිකිරීමෙන් ප්‍රතිස්ථාපනය වන පවුල් 72 ක සඳහා නොරොච්චෝලය , දළුව ප්‍රදේශයේ අංග සම්පූර්ණ නිවාස 80ක් ඉදිකර එම ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට විදුලිබල අමාත්‍යාංශය මේ වන විට පියවර ගෙන ඇති අතර එම ව්‍යාපෘතිය යටතේ පාලම් හන්දියේ සිට කල්පිටිය දක්වා දිවයන මාර්ගයේ ;නාරච්චෝල බලාගාරය දක්වා කිලෝමීටර 18ක ප්‍රමාණය අඩි 60කින් යුත් පුළුල් මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීම මේ වන විට ආරම්භ කර තිබේ.

නොරොච්චෝලය සිට බලාගාරය දක්වා කි. මී. 1 1 / 2 ක මාර්ගය සංවර්ධනය කර විදුලි ආලෝකය ලබා දීමටද පියවර ගෙන ඇත. දළුව ප්‍රදේශය සංවර්ධනය වූ ප්‍රදේශයක් බවට පත්කර මාර්ග පහසුකම්, පාසල් , ප්‍රජා ශාලා, අරෝග්‍ය ශාලා ඉදිකිරීමට මේ වන විට පියවර ගෙන ඇත. ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් 80ක් මේ ප්‍රදේශයේ පදිංචි කිරීමට කටයුතු සූදානම් කර ඇත.

බලාගාරයේ ප්‍රධාන ජැටියේ ඉදිකිරීම් කටයුතු පසුගියදා ආරම්භ වූ අතර ව්‍යාපෘතියේ ඉදිකිරීම් වල විශාල ප්‍රගතියක් මේ වන විට ලබා තිබේ. පියවර 3 ක් යටතේ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 900ක ධාරිතාවක් මුදා හැරීමට සැලසුම්කර ඇති මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 445ක් පමණ වැයවේ.

මෙලෙසින්ම දශකයට අධික කාලයක් ඇනහිට තිබූ ඉහළ කොත්මලේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට මෙම වසරේ ලැබීමද බලශක්ති සංවර්ධනයේ සාර්ථක පියවරකි. මෙගා වොට් 150ක ධාරිතාවෙන් යුත් මෙම බලාගාරයේ ඉදිකිරීම් කටයුතු 2006 වසරේ මුල් භාගයේ ආරම්භ කළේ ය.

මේ ව්‍යාපෘතිය නිසා ප්‍රතිස්ථාපනය වන පවුල් 495ක් සඳහා තලවකැලේ නගරයේ අංග සම්පූර්ණ නිවාස කාණ්ඩ 4ක් යටතේ ඉදිකර තිබේ. ඉහළ කොත්මලේ ව්‍යාපෘතිය ඉදිකිරීමෙන් ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටද අමාත්‍යාංශය මේ වන විට පියවර ගෙන ඇත. මේ නිවාස 495 අදාළ පවුල් වලට ලබා දීමද දැනටම අවසන් වී තිබේ.

බලශක්ති සංවර්ධන කෙටි කාලීන සැලසුම් යටතේ නිමකිරීමට අපේක්ෂිත කෙරවලපිටිය බලාගාරයේ ඉදිකිරීම් කටයුතු 2007 වර්ෂයේ ආරම්භ විය. එය 2007 නොවැම්බර් 23 වන දින ජාතියට තිළිණ කෙරිණි.

ලක්දනව් සමාගම ඉදිකිරීමේ කටයුතු එක්ව ක්‍රියා කළ මෙයට දේශීය ඉංජිනේරුවන් ගේ දායකත්වයෙන් නිම වී තිබේ. මෙගාවොට් 300ක ධාරිතාවකින් යුත් මෙම බලාගාරය ආරම්භයේ දී ඩීසල් බලාගරයක් ලෙස ක්‍රියාත්මක වී පසුව ස්වභාවික ගෑස් බලගාරයක් බවට පරිවර්තනය විය. 2009 දී ඇති විය හැකි විදුලි අර්බුදයට කඩිනම් පියවරක් වශයෙන් මෙම බලාගාරය නිම කිරීමට පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ සෑම ගම්මානයකටම විදුලිබලය ලබා දීම සඳහා වාර්ෂිකව වැඩිවන 8%ක විදුලිබල ඉල්ලුමට සරිලන විදුලි ධාරිතාවය මෙගාවොට් 150ක්. එහෙත් එම ධාරිතාවය ජනනය කිරීම සඳහා මෙතෙක් අනුගමනය කළ මන්දගාමී ක්‍රියා කලාපය නිසාවෙන් ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදයක් නිර්මාණය වීමට හේතු සාධක පැවැතියේ ය. පසුගිය වර්ෂයේ ඒ සියලු කටයුතු විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය යටතට ගෙන කටයුතු කෙරිණි.

විදුලිබල මණ්ඩලය දිරිමත් කරමින් බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීම සඳහා විදුලි බල අමාත්‍යාංශය කාර්යක්ෂම හා ඵලදායි ක්‍රියා මාර්ග අනුගමනය කර එතෙක් ප්‍රමාද වූ කුඩා බලාගාර, මධ්‍යම පරිමාණ බලාගාර හා මහා පරිමාණ බලාගාර ඉදිකිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දීමට අමාත්‍යාංශය පියවර ගත්තේ ය.

ගිංගඟ, උමා ඔය, බ්‍රොඩ්ලන්ඩ්, මොරගොල්ල යන මධ්‍යම පරිමාණ ජල විදුලිබලාගාර ආරම්භ කිරීමට ද අමාත්‍යාංශය පියවර ගෙන ඇත. එයින් මෙගාවොට් 125ක ධාරිතාවකින් යුත් උමා ඔය විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු මේ වසරේ ආරම්භ කරනු ලැබිණි.

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය

වර්තමාන ලෝකයේ බලශක්ති සංවර්ධනයේ නව ප්‍රවණතාවක් නම් ස්වභාවික බලශක්ති සංවර්ධනයයි.

ශ්‍රී ලංකාවද පවතින ස්වභාවික බලශක්තීන් උපයෝගි කරගෙන බලශක්ති ජනනය කිරීම ආරම්භ කර ඇත. ඒ අනුව පසුගිය කාලයේ කුඩා පරිමාණයෙන් ආරම්භ කළ

සුළං, දැව දහන, ජීව ශක්ති ඉවතලන උක්රොඩු ආශ්‍රිත විදුලි ජනනය සූර්ය බල වැනි ස්වභාවික බලශක්ති සංවර්ධනය කිරීම කටයුතු කර ඇත.

පැලවත්ත සීනි සමාගම ඉවත ලන උක්රොඩු භාවිතයෙන් දැනට නිපදවන මෙගාවොට් එකක ධාරිතාවයෙන් යුත් විදුලි ජනනය මෙගාවොට් 50 දක්වා දියුණුකර එයින් නිපදවෙන විදුලිබලය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමටද කටයුතු කෙරේ.

කොළඹ නගරයේ ඉවත ලන කුණු උපයෝගී කරගෙන ජීව ශක්ති ජනන බලාගාරයක් ඉදිකිරීමටත් එමගින් මෙගාවොට් 32ක විදුලිධාරිතාවයක් එක්කර ගැනීමට කටයුතු ආරම්භ වී තිබේ.

තවද පසුගිය සිව්වසර තුළ පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය උදෙසා ඉටුකළ ජාතික මෙහෙවර තුළින් මෙගාවොට් 130ක්ව පැවැති කුඩා පරිමාණයේ ජල විදුලිබලාගාර ධරිතාව මෙගාවොට් 400 දක්වා සංවර්ධනය කෙරේ.

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇරඹෙනුයේ ද මහින්ද චින්තනයට අනුව ස්වභාවික බලශක්තීන් සංවර්ධනයෙන් රටට අවශ්‍ය බලශක්තිය ලබා ගැනීමටය.

මේ යටතේ දැන මෙගා වොට් එකක දැව දහන බලාගාරය මෙගාවොට් 180ක් දක්වා සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වේ. එහි දී ග්ලිඩ්සීරියා වගාවට ජනතාව යොමු කරමින් රටේ ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමටද එමෙන්ම බලශක්තිය ලබා ගැනීමටද බලාපොරොත්තුවේ.

මේ යටතේ ඇඹිලිපිටිය, මොනරාගල, හම්බන්තොට, අනුරාධපුර වැනි ප්‍රදේශ වල නව බලාගාර ඉදිකිරීමටද අවධානය යොමු ව තිබේ. සුනිත්‍ය බලශක්ති අධිකාරිය යටතේ සුළං, ඩෙන්රෝ සූර්යබල හා කුඩා පරිමාණ ජල බලාගාර වලින් මෙගාවොට් 400ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට ඉදිරි වසර පහ ඇතුළත එක් කිරීමට සැලසුම් කර තිබේ.

බලශක්ති සංරක්ෂණය

තවද බලශක්ති කළමනාකරණයට විදුලි පාරිභෝ්ගිකයන් යොමු කරමින් අපතේ යන 20%ක විදුලි බලය ඉතිරි කර ගැනීම සඳහා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් මිලියන 3.8ක් වන විදුලි පාරිභෝගිකයන් දැනුවත් කිරීම සඳහා බලශක්ති සංරක්ෂණ වැඩපිළිවෙළක් අරඹා තිබේ. මෙමගින් ඉහළ යන විදුලි ඉල්ලුම 50%ක් දක්වා පාලනය කර ගැනීමට හැකියාවක් ලැබී ඇත. ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 85%කට විදුලි සැපයීමට හැකියාව ලැබී ඇත. ඉතිරි 15%ක ජනතාව සඳහා විදුලිබලය නොලැබීයාම රටේ සමාජ, ආර්ථික, සංවර්ධනයට බෙහෙවින් බලපා තිබේ. ග්‍රාමීය විදුලි ව්‍යාපෘති වැඩසටහන යටතේ දිවයිනේ ග්‍රාමීය ජනතාවට විදුලිය ලබාදීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ආරම්භ කළ ග්‍රාමීය විදුලි යෝජනා ක්‍රම 7200කින් ව්‍යාපෘති 4900ක් 2007 වසරේ දී අවසන් කෙරිණි. විදුලි බලය රහිත දිවයිනේ සෑම ගම්මානයකට විදුලිය ලබා දීමේ අරමුණින් චීන ණය ආධාර අමෙරිකානු ඩොලර් මිලියන 24ක් ලැබී ඇත. එම මුදලින් ග්‍රාමීය විදුලි යෝජනා ක්‍රම 75,000කට නව විදුලි සම්බන්ධතා ලබා දී ඇත.

උතුරු නැඟෙනහිර යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශවල විදුලි බල සැපයුම පුළුල් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය ආධාර ලැබිණි. එමගින් පවුල් 12,000කට විදුලිය ලබාදුනි. මීට අමතරව ‘’විදුලමු ශ්‍රී ලංකා’’ වැඩසටහන යටතේ හම්බන්තොට පවුල් 40,000 ක් සඳහා විදුලිබලය ලබා දීමට මූලික කටයුතු කර තිබේ.

එහි දෙවන අදියර යටතේ රත්නපුර දිස්ත්‍රික්කයටද පසුව කෑගල්ල, මොනරාගල , ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලද විදුලිය නොමැති පවුල් සඳහා විදුලිය ලබා දීමට සැලසුම් කර තිබේ.

නැඟෙනහිර නවෝදය යටතේ ත්‍රිකුණාමලය මඩකලපුව දිස්ත්‍රික්කවල ජනතාවගේ ග්‍රාමීය විදුලිබල අවශ්‍යතා සම්පූර්ණ කිරීමට රුපියල් මිලියන 2400ක් වැය කර තිබේ. උතුරු පළාතේ ද සෑම ගම්මානයක්ම ආවරණය වන පිරිදි නව විදුලි යෝජනා ක්‍රම 400ක් ලබා දීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ ස්වභාවික ගෑස් බලශක්ති ප්‍රභවය උපයෝගී කරගෙන විදුලිය නිපදවීම සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙළක් අරඹා ඇත.

ජාතික සංවර්ධනයේ අත්‍යාවශ්‍ය සාධකයක් වන විදුලි බලය රටේ කර්මාන්ත හා වානිජ සේවා වල දියුණුව සඳහා යොදා ගත හැකි පරිදි අවම මිලකට විදුලි බල ලබා දීම විදුලිබල අමාත්‍යාංශයේ ඒකායන අරමුණ වී තිබේ. මේ සඳහා දැනට නිපදවන මෙගාවොට් 2400ක ධාරිතාව හා ගිගාවොට් පැය 8400 ප්‍රමාණය ඉදිරි වසර තුළ ගිගාවොට් පැය 12000ක් දක්වා සංවර්ධනය කිරීමට ද බලාපොරොත්තු වේ.

තවද ලංකා විදුලිබල මණ්ඩලය කාර්යක්ෂම මහජන ආයතනයක් බවට පත් කිරීම විදුලි බල අමාත්‍යාංශයේ ප්‍රධානතම ඉලක්කයක් වී ඇත. විදුලි පාරිභෝගිකයන්ට ලබා දිය යුතු සේවාව අඛන්ඩව හා කාර්යක්ෂමව ලබාදීම කෙරෙහි අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබේ.

සේවක සුබ සාධනය ;වනුවෙන් මහින්ද චින්තන ප්‍රතිපත්ති වලට අනුව 2006 වැටුප් ප්‍රතිශෝධන සකස් කිරීමේ දී ඉතිහාසයේ කිසිම දිනක හිමිනොවූ 33 1 / 3ක වැඩිම වැටුප් වැඩිවීමක් ලබා දී ඇත. 2010 ජනවාරි මාසයේ දී ද වැටුප් වැඩිවීමක් ලබා දීමට කටයුතු කෙරේ.

ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතය උදෙසා බලශක්ති සංවර්ධනය කිරීම සිදුකරන අතරම අරපිරිමැස්මෙන් විදුලිය පාවිච්චි කිරීම සඳහා ජනතාව පෙලඹවීමටද කටයුතු කෙරේ.

විදුලි බලය කාර්යක්ෂම ලෙස ජනතාවට ලබාදීමේ දී විදුලි සම්පේ‍්‍රෂණ පද්ධති සංවර්ධනය ඉතා වැදගත්ය. මේ අනුව නව විදුලි සම්පේ‍්‍රෂණ මාර්ග සැලසුම් කිරීමේ ව්‍යපෘතිය යටතේ කෙරවලපිටිය, කොටුගොඩ සම්පේ‍්‍රෂණ ව්‍යාපෘතිය කෙරවලපිටියේ කිලෝවොට් 220ක ගෑස් ග්‍රීඩ් උප පොළක් ඉදිකිරීම, කෙරවලපිටිය විදුලිබලාගාරයේ සිට කොටුගොඩ ග්‍රීඩ් උපපොළෙ දක්වා කිලෝවොට් 220ක ධාරිතාවකින් යුත් සීබ්‍රා සම්පේ‍්‍රෂණ රැහැන් මාර්ගයක් ජබික් අරමුදල් උපයෝගී කරගෙන ඉදිකර ඇත.

එසේම වව්නියාව කිලිනොච්චිය, සම්පේ‍්‍රෂණ මාර්ග ඉදිකිරීමේ කටයුතු ද සිදු වීමට නියමිතය. තවද යාපනය සිට කිලිනොච්චිය අම්බලන්ගොඩ සිට ගාල්ල ග්‍රීසි උපපොළ දක්වා සම්පේ‍්‍රෂණ මාර්ගයද තැනීමට නියමිතය.

මේ සියලු ජාතික කාර්යන්ට අමතරව රටේ බෞද්ධ ජනතාවගේ චිර ජීවනය උදෙසා කටයුතු රැසක් ද විදුලිබල අමාත්‍යාංශය සිදුකර ඇත.

මෙලෙස රටෙහි බලශක්ති හා විදුලිබල ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක් සිදු වූ සිව් වසරක් ලෙස පසුගිය වසර හතර හැඳීන්විය හැකිය.

විශේෂ ස්තූතිය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ මාධ්‍ය ඒකකයට

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්