මැතිවරණ වේදිකාවේ වෙන්දේසි කළ හම්බන්තොට වරායේ සැබෑ වූ සිහිනය

මැතිවරණ වේදිකාවේ වෙන්දේසි කළ හම්බන්තොට වරායේ සැබෑ වූ සිහිනය

සංවර්ධනයේ අරුණළු වත් මෙතෙක් කල් නොවැටුණු හම්බන්තොට දැන් සංවර්ධනයේ රන් අරුණළු වැටී තිබේ.

සියවසකට අධික කාලයක් තිස්සේ දෙස් විදෙස් දේශ ගවේෂකයන් මෙන්ම හම්බන්තොට ජීවත් වූ ජනතාවද මෙතෙක් කල් දැක තිබූ සිහිනය සැබෑවක් බවට පත්ව තිබේ.

ඒ සිහිනය සැබෑවක් බවට පත් කිරීමට ගත වූ වසර සියයකට අධික කාලයක කිසිදු පාලකයකුට හැකියාවක් නොවූයේ උපන්ගමට උපන් දේශයට සැබෑ ආදරයක් ඇති අය නොසිටි නිසා දැයි සැකයක් උපදී.

හම්බන්තොටින් රට පාලනය කිරීමට පත් වූ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට එම සිහිනය සැබෑ කිරීමට හැකියාව ලැබී තිබීම කාගේ්ත් සතුටට කරුණකි.

1908 අගෝස්තු මස 28 දින හම්බන්තොට උප ඒජන්ත තනතුරට පත් වූ ලෙනාඩ් සිඩ්නි වුල්ෆ් පසුව 1960 දී හම්බන්තොට යළි සංචාරකයකට එක් වෙමින් කියා සිටියේද ‘1910 දී මම යෝජනා කලා හම්බන්තොටට නැව් වරායක් හදන්න.

හම්බන්තොට වරාය

අපේ කාලයෙස් කොළඹින් හම්බන්තොටට බඩු එව්වේ නැවෙන්. ආණ්ඩුවට මම සැලැස්මක් ඉදිරිපත් කළා හම්බන්තොටට නැව් වරායක් හදන්න. මහ ලේවාය ළඟ ඉදල ගොන්නොරුව හන්දියෙන් ආරබොක්ක ගම් මායිමෙන් මිරිජ්ජවිලට අලුත් පාරක් කපන්න ඕන.

එය තංගල්ල කතරගම අලුත් මාර්ගය වෙනවා’ මේ ආකාරයට ලෙනාඩ් වුල්ෆ් තම හම්බන්තොට සංවර්ධනය සම්බන්ධයෙන් සිය අදහස් ඉදිරිපත් කර තිබුණි.

ලෙනාඩ් වුල්ෆ්ගේ එම අදහස අද යථාර්ථයක් බවට පත් වූයේ සියවසක් ගෙවෙන අවස්ථාවේදීම එම විශේෂත්වයෙනි.

හම්බන්තොට යෝධ සංවර්ධනයේ ප්‍රධාන අරටුව වරායයි. හම්බන්තොට ජාත්‍යන්තර වරාය ඉදි කිරීම් ඉතාම ශීඝ්‍රයෙන් හා කඩිනමින් සිදු කෙරමින් පවතී.

මහජන චීන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා රජය අතර තිබෙන දීර්ඝ කාලයක තිස්සේ පවතින දැඩි මිතු දමේ ප්‍රතිඵලයක්ලෙස එයට වසර 50ක් සපිරීම නිසා හම්බන්තොට ජාත්‍යන්තර වරාය ඉදි කිරිමේ කොන්ත්‍රාත්තුව සහ ඒ සඳහා මූල්‍ය ආයෝජනයෙන් 85 % ක් ප්‍රමාණයක් විශේෂ ණය පහසුකම් යටතේ ලබාදීමට එකඟ විය.

මේ සම්බන්ධ ගිවිසුම 2007 ඔක්තෝබර් මස 30 දින අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ චීනයේ ඡ්ඔඒර් බැංකුවේ සභාපති ලී රෝගු මහතා අතර අස්සන් කෙරිණි. වරාය ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 360ක් වැය කෙරේ. ඉන් 85 % ක් චීනයෙන් ලබා දෙන අතර ඉතිරි 15 % ලංකා රජය මගින් වැය කෙරේ. චමල් රාජපක්ෂ මහතා වරාය සහ ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස වැඩ බාරගැනීමෙන් පසුව හම්බන්තොට වරායේ ඉදි කිරීම් ආරම්භ කිරීම කඩිනම් විය.

ඒ අනුව වරාය ඉදි කිරීමේ කොන්ත්‍රාත් ගිවිසුම 2007 මාර්තු මස 12 දින ශ්‍රී ලංකා වරාය අධිකාරිය, චයිනා හාබර් ඉන්ජිනියරින් කරිනගිලිමිටඩ් සහ සධනෝ හයිඩ්‍රෝ කෝ්පරේෂන් ලිමිටඩ් සමූහය අතර අස්සන් කෙරිණි.

සියලු ශක්‍යතා අධ්‍යයන නිම කිරීමෙන් පසුව සැමදා සිහිනයක්ලෙස මැතිවරණ කාලයට පමණක් ඡන්ද පොරොන්දු වක් වූ දේශපාලන වේදිකාවට පමණක් සීමා වූ ඡන්ද පෝස්ටරයට සීමා වූ හම්බන්තොට ජාත්‍යන්තර වරාය කවරදාකවත් කවරෙකුටවත් තවත් වෙන්දේසි කිරීමට ඉඩ නොදී මහින්ද රාජපක්ෂ රජය යටතේ 2007 ජුනි මස 07 දින පළමු අදියරේ වැඩ ආරම්භ කෙරිණි.

වරාය ඉදි කෙරෙන පළමු කොටසේ හෙක්ටයාර් 1115 කි. එම ප්‍රදේශය තුළ පවුල් 430ක් ස්ථිර පදිංචිකරුවන් සිටි අතර සාධාරණ මුදල් වන්දි සහ ඉඩම් ලබාදීමෙන් ඔවුන් නැවත පදිංචි කරවීමට පියවර ගෙන තිබුණි. දේශපාලන අධිකාරිය සහ රජයේ සාධාරණ වැඩ පිළිවෙළ නිසා අවම බලපෑම් මත ජනතාව නැවත පදිංචි කරවීමට හැකියාව ලැබිණි.

සුනාමි විපතේදී හම්බන්තොට සිය ගණන් මිනිස් ජීවිත යට වූ දේපළ විශාල ප්‍රමාණයක් යට වූ හම්බන්තොට කරගම්ලේවාය යළි ලේවායක් ලෙසින් නොදැක ජාත්‍යන්තර වරායක් ලෙසින් ලංකා සිතියමේ දැක්වීමට මහින්ද රාජපක්ෂ රජයට හැකි විය. ඒ අනුව මාතර – කතරගම ප්‍රධාන මාර්ගයේ හම්බන්තොට නගරය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය රතුපස්ගොඩැල්ල ප්‍රදේශයෙන් වසා එම කොටස කපා මහසයුරා ගොඩබිමට ගෙනවිත් රට අභ්‍යන්තරයේ තැනෙන එකම වරායද හම්බන්තොට වරාය වේ.

හක්ටයාර් 2000ක වර්ග ප්‍රමාණයකින් සමන්විත හම්බන්තොට වරාය අධියර 03 කින් නිම කෙරේ.

එහි පළමු අදියර 2011 අප්‍රේල් මාසයේදී නිම කිරීමට සැලසුම් කර තිබුණද දැනට සිදු කෙරෙන කඩිනම් සංවර්ධනය හමුවේ එම දිනට කලින් නිම කිරීමට හැකියාවක් තිබේ.

මුල් අදියර යටතේ කරගම්ලේවායේ හෙක්ටයාර් 43 ක ප්‍රදේශයේ මඩ හාරා ඉවත්කර නැංගුරම් පොළ තුනක් ඉදි කෙරේ. වරාය සඳහා මුහුදු පිවිසුම් මාර්ගය මීටර් 16 ක් ගැඹුරින් යුක්ත වේ. නැව් හැසිරවීමේ වටය පටර් 600 කි.

වරායේ සම්පූර්ණ අදියර 03 නිම කිරීම සඳහා වසර 15 කට අධික කාලයක් ගත වේ. සෘජු රැකියා අවස්ථා 6000 ක්ද, වක්‍ර රැකියා අවස්ථා 50000 කට අධික ප්‍රමාණයක් බිහිවේ.

විසල් හම්බන්තොට යටතේ දැනට දිස්ත්‍රික්කයේ විසිරී තිබෙන රාජ්‍ය අංශයේ සියලුම ප්‍රධාන ආයතන එකම වහලක් යටට ගෙන ඒමට තවත් අරමුණකි. මේ සඳහා හම්බන්තොට සිරිබෝපුර අක්කර 72 ක පමණ භූමි ප්‍රදේශයක පරිපාලන සංකීර්ණය ඉදි කෙරේ.

කාර්යාලය ස්ථාපනය කිරීම සඳහා ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ලක්ද තවත් කුඩා ගොඩනැගිලි 06 කින්ද මෙම සංකීර්ණය සමන්විත වේ. රජයේ කාර්යාල 42 ක් සඳහා මෙහි පහසුකම් පවතී. ප්‍රධාන ගොඩනැගිල්ල තුළ එක්වර 300 කට අසුන්ගත හැකි විශාල ප්‍රමාණයේ ශ්‍රවණාගාර 02 ක්ද ඉදි කෙරේ.

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ මෙහි ඉදි කිරීම් සිදු කෙරෙන අතර කොරියානු ඉදි කිරීම් සමාගමක් වන කියං යැන්ග් සමාගම මෙහි ඉදි කිරීම් කටයුතු සිදු කෙරේ. මේ සඳහා ඇස්තමේන්තු ගත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 2800 කි.

පරිපාලන සංකීර්ණයේ ඉදි කිරීම් කටයුතු 2010 මුල් භාගයේදී නිම කිරීමට නියමිත වේ. ස්වභාවික පරිසරය උපරිම වශයෙන් ආරක්ෂා කරමින් හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ ඉදි කිරීම් කටයුතු සිදු කිරීමද තවත් විශේෂත්වයකි.

හම්බන්තොට නව නගරය කේන්ද්‍ර කර ගනිමින් සිරිබොපුර නව සම්මන්ත්‍රණ ශාලාවක්ද ඉදි කෙරේ.

කොරියන් රජයේ ආධාර යටතේ මෙම සම්මන්ත්‍රණ ශාලාව ඉදි කෙරෙන අතර ඒ සඳහා වැය කෙරෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 10.5 ක් වේ.

නවීන පහසුකම් වලින් සමන්විතව ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සම්මේලන පැවැත්විය හැකි මෙම සම්මන්ත්‍රණ ශාලාවේ ඉදි කිරීම් 2011 දී නිම කිරීමට නියමිත වේ.

නගර සංවර්ධනයේදී හරිත කලාපයක අවශ්‍යතාවය හඳුනාගත් මහින්ද චින්තන ප්‍රතිපත්තිය යටතේ හම්බන්තොට නව නගර සංවර්ධන ව්‍යාපෘතියට වියළි කලාපීය උද්භිද උද්‍යානයටද එක් කර ඇත.

අක්කර 360 ක පමණ භූමි ප්‍රදේශයක හම්බන්තොට වියළි කලාපීය උද්භිද උද්‍යානය ඉදි කෙරේ. වියළි කලාපීය ශාඛ සංරක්ෂණය කිරීම මෙහි මුඛ්‍ය පරමාර්ථය වේ.

හම්බන්තොට නව නගරය මෙසේ සංවර්ධනය වන විට පැරැණි නගරය සංරක්ෂණය කිරීමේ කටයුතුද සිදු කෙරේ.


සබැඳි පුවත්