මවගෙන් ලක්ෂ 5ක කප්පමක් ඉල්ලූ සුපිරි පවුලක පුතා කොටුවෙයි

මවගෙන් ලක්ෂ 5ක කප්පමක් ඉල්ලූ සුපිරි පවුලක පුතා කොටුවෙයි

නිර්නාමික දුරකථන ඇමතුම් දී තම මවගෙන් රුපියල් ලක්ෂ පහක කප්පමක් ලබා ගැනීමට උත්සාහ කළ ගල්කිස්සේ සුපිරි පවුලක තරුණයෙකු ඇතුළු තිදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පෙරේදා (7) අත්අඩංගුවට ගෙන තිබේ. එම තරුණයා සමඟ කප්පම් ඉල්ලීමේ සැලසුමට සහය දුන් තවත් තරුණයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත් පිරිස අතර වෙති.

ගල්කිස්ස ප්‍රදේශයේ සුපිරි පවුලක වැඩිමහල් දරුවා වන මේ තරුණයා රාත්‍රි සමාජ ශාලා හෝටල් ඇතුළු සුපිරි පැලැන්තියේ විවිධ විනෝදාංශවලට හුරු වී ඇති අයෙක් බව පැවැසේ. ඔහුගේ පියා නැවක කපිතාන්වරයෙකි. පෙරේදා (07) පෙරවරුවේ මොහු පන්ති යන බව පවසා නිවෙසින් පිටව ගොස් තිබේ. පැයකින් පමණ ඔහු පැහැර ගත් බවට නිර්නාමික දුරකථන ඇමතුමක් මවට ලබා දී ඇත. ඔහුගේ මව මේ පිළිබඳව ගල්කිස්ස පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පරීක්ෂණ සිදුකෙරුණි.

කප්පම්කරුවන් ඉල්ලා සිටින රුපියල් ලක්ෂ පහ දීමට ස්ථාන තුනකට ගියද ඔවුන් පැමිණ නැත. පසුව පොලිස් කණ්ඩායම් ගල්කිස්ස හා ඒ අවට සැරිසරන අවස්ථාවේ ඉහත කී තරුණයා වැල්ලවත්ත ප්‍රදේශයේ බස් නැවතුම්පොළක් අසල සිටිනු දැක තිබේ. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී මිතුරන් සමඟ එක්ව මවගෙන් මුදල් ගැනීමට කළ සැලසුමක් බව පවසා තිබේ. වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් තිදෙනා ගල්කිස්ස පොලිසියට බාර දී ඇත. නියෝජ්‍ය පොලිස්පති (කොළඹ) අනුර සේනානායක මහතාගේ උපදෙස් මත අධ්‍යක්ෂ කොළඹ අපරාධ කොට්ඨාස පොලිස් අධිකාරි, ඒ. ආර්. එල්. රණවීර, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත දික්ඕවිට, පොලිස් පරීක්ෂකවරුන් වන ජනක කුලරත්න, ප්‍රියංකර, උප පොලිස් පරීක්ෂක ප්‍රදීප් කුමාර, සැරයන්වරුන් වන ජගත් මර්වින්, ජයලාල් ඇතුළු කණ්ඩායමක් මෙහෙයුමට සහභාගි වූහ.

අත්අඩංගුවට ගනු ලැබූ මේ පාසල් සිසුවා ඇතුළු මිතුරන් දෙදෙනා ඊයේ (08) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය නියෝග කළාය. සිසුන් තිදෙනාට දැඩි ලෙස අවවාද කළ මහේස්ත්‍රාත්වරිය ඔවුන් මවුපියනට භාරදෙන ලෙසද නියෝග කර ඇත. ගල්කිස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක තිස්ස සුගතපාල මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් (34840) හේමන්ත හෙට්ටිආරච්චි මහතා අධිකරණ කටයුතු සිදුකෙළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා