සතොස විනාශ කළේ කවුදැයි පරීක්ෂණ පවත්වා රටට හෙළි කරන්න

සතොස විනාශ කළේ කවුදැයි පරීක්ෂණ පවත්වා රටට හෙළි කරන්න

- මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර්

ස.තො.ස. සම්පූර්ණයෙන් ම විනාශ කළේ කවුදැයි පරීක්ෂණයක් පවත්වා රටට හෙළිකරන්නේදැයි පත්කළ මන්ත්‍රී අල්හාජ් ඒ. එච්.එම්. අස්වර් මහතා මතුකළ ප්‍රශ්නය සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ ඇමැතිවරයාගේ අවධානයට යොමුකරවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජලසම්පාදන හා ජලාපවාහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) සඳහන් කෙළේය.

අමාත්‍යවරයා එසේ පිළිතුරු දුන්නේ අල්හාජ් ඒ.එච්.එම්. අස්වර් මන්ත්‍රීවරයා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයට අදාළව විමසූ අතුරු ප්‍රශ්නයක් වෙනුවෙනි. ස.තො.ස. ආයතනයේ සිල්ලර ගබඩා පැය විසිහතර පුරා විවෘතව තැබූ කාලයේ එම ආයතනය භාරව ක්‍රියාකළ ඇමැතිවරයා රවී කරුණානායක මහතා බව ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පැවසීය.

ස.තො.ස ආයතනයට අනුබද්ධ සමාගමක් වූ ස.තො.ස කළමනාකරණ සේවා සමාගමෙහි සේවකයන් 55 දෙනෙකු පමණ සේවය කර ඇති අතර එයින් කිහිපදෙනෙකු ඇමැති කාර්ය මණ්ඩලයට අනුයුක්තව සේවය කර ඇති බව වාර්තාවන්නේ යැයිද දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා කීවේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා