කාන්තා අයිතීන් සුරැකීමෙන් ශ්‍රී ලංකාව ඉදිරියෙන්

කාන්තා අයිතීන් සුරැකීමෙන් ශ්‍රී ලංකාව ඉදිරියෙන්

නියෝජ්‍ය ඇමැති නියොමාල් පෙරේරා

සංවර්ධනය වෙමින් පවත්නා රටවල් හා සසඳන කළ කාන්තාවන් වෙත සෑම අංශයකම අයිතිවාසිකම් ලබා දීම අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නියොමාල් පෙරේරා මහතා අවධාරණය කරයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට ඕනෑම ඉහළ තනතුරක් හෙබවීමේ හැකියාව තිබෙන බවට සමස්ත ලෝකයා ඉදිරියේ පෙන්නුම් කර තිබෙන බව ද, හෙතෙම අවධාරණය කරයි. නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඊයේ (8) පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් කතා කළ නියොමාල් පෙරේරා මහතා,

ජාත්‍යන්තර කාන්තා දිනය මුල්වරට සමරන ලද්දේ 1911 දීය. මේ දිනයේ මූලික අරමුණ වන්නේ කාන්තාවන්ට ගෞරව දැක්වීම හා ආර්ථික, සමාජයීය, දේශපාලන ක්ෂේත්‍රයේ අත්කරගෙන ඇති ජයග්‍රහණ ඇගයීමයි. ”කාන්තාවන්ට අභිමානවත් ලෙස කටයුතු කිරීමට, මංපෙත් සැළසීමට, අධ්‍යාපනයට, පුහුණුවට, විද්‍යාව හා තාක්ෂණයට සමානව ප්‍රවේශ වීමේ අයිතිය” යන්න මෙවර තේමාව වී තිබෙනවා. කාන්තාවන්ගේ අයිතිවාසිකම් පූර්ණ වශයෙන් ලබා දීමට නොහැකි වී තිබුණත් සෑම අංශයකින්ම යම් ප්‍රගතියක් ලබා තිබෙනවා.

ආර්ථික අර්බුදයේ බලපෑම ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශ්වයටම බලපෑවා. පසුගිය 2010 දී පුරුෂ විරැකියාව සියයට 6 ක් වූ නමුත් කාන්තා විරැකියාව සියයට 6.5 ක අගයක් ගත්තා. සංවර්ධනය වෙමින් පවත්නා රටවල් හා සසඳන කළ ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සෑම අංශයකින්ම අයිතිවාසිකම් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියෙන් සිටිනවා. ඔවුන්ට ඡන්ද අයිතිය, අධ්‍යාපනය හැදෑරීම ආදී අයිතිවාසිකම් ලබා දී තිබෙනවා. අපේ කාන්තාවන්ට ඉහළ තනතුරු හොබවන්න පුළුවන් බව සමස්ත ලෝකයාටම පෙන්වා දී තිබෙනවා. ලොව පළමු අගමැතිනිය බිහිවුණේ ශ්‍රී ලංකාවෙන්.

අපේ රටේ කාන්තාවන් ජනාධිපති ලෙස ද, කටයුතු කළා. ඒ වගේම ඇමැති ධූර, ඉහළ පෙළේ වෘත්තිකයන්, බහු ජාතික සමාගම්වල ප්‍රධානීන් වශයෙන් කටයුතු කරන අයත් සිටිති. පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සහ තීරණ ගැනීමේ කාර්යයේදී කාන්තා නියෝජනය තරමක පහළ මට්ටමක තිබෙනවා. ඇඟළුම් ක්ෂේත්‍රයේ සිටින හා විදේශගත කාන්තාවන් අපේ රටේ ආර්ථිකයට ලබා දෙන දායකත්වය ගැන විශේෂ ඇගයීමක් කළ යුතු වෙනවා. සමාජයේ සියලු ක්ෂේත්‍රවල කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් දිය යුතුයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කුසුමා කරුණාරත්න මහත්මිය - අපේ රටේ සෑම කාන්තාවක්ම රත්තරන් මවුවරුන් හා රත්තරන් දියණියන්. අද ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්නේ සියවැනි වරටයි. අපේ කාන්තාවට නිවෙසේදී සම තැන ලැබී තිබෙනවා. ඒ සියල්ල සාර්ථක වී තිබෙන්නේ කාන්තාවන්ගේ දැනුම හා දක්‍ෂතාවය නිසා බව විශ්වාසයයි. ශ්‍රී ලාංකීය සංස්කෘතිය තුළ අපි ඒ ශක්තිය ලබා තිබෙනවා. ගෙදර බුදුන් අම්මා ලෙස සළකන කාන්තාවට නිවෙසින් බැහැර දී සළකන ආකාරය පිළිබඳව ඇතැමුන් ප්‍රශ්න කරනවා. අපේ කාන්තාවන් නිවෙසේ කරන කාර්ය භාරයත් සමඟ සතුටින් කාලය ගතකරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන, විදේශ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රංජිත් උයංගොඩ, අධ්‍යක්‍ෂ ජනරාල් අරුණි විජේවර්ධන, සේවා වනිතා ඒකකයේ සභාපතිනි ශාන්ති නෙළුම් පීරිස්, උප සභාපතිනි ක්‍රිශාන්ති පෙරේරා, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කැති ක්ලුෆ්මන් මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා