ඉදිරියේදී ඇතිවන ආහාර අර්බුදයට මුහුණ දීමට සෑම බිම් අඟලක්ම වගාකිරීමට ජනතාව උනන්දු කළයුතුයි

ඉදිරියේදී ඇතිවන ආහාර අර්බුදයට මුහුණ දීමට
සෑම බිම් අඟලක්ම වගාකිරීමට ජනතාව උනන්දු කළයුතුයි

කෑගල්ල නගර සභා ශාලාවේදී ජනපති මහින්ද රාජපක්‍ෂ කියයි

සෑම බිම් අඟලකම වගා කරන්න ජනතාව උනන්දු කරවීම අපේ ප්‍රතිපත්තියයි. අපිට ඉදිරියේ ඇතිවන ආහාර අර්බුදයෙන් ගොඩඒමට ඇති මඟත් එය යැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කෙළේය. කෑගල්ල නගර සභා ශාලාවේ පෙරේදා (06) සවස පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා හා නගර සභා මැතිවරණයට ඉදිරිපත් වී සිටින පිරිසට ජය පැතීමේ හා දිරියදීමේ දිස්ත්‍රික් සමුළු අමතමින් ජනාධිපතිවරයා එසේ කීය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහාලේඛකාධිකාරී මහාචාර්ය වරාගොඩ පේමරතන, කෑගල්ල වෑවලදෙණිය රජමහා විහාරාධිපති හෙම්මාතගම ශ්‍රී සිද්ධාර්ථ මහා නාහිමිපාණෝ ප්‍රමුඛ මහා සංඝ රත්නය මෙහිදී ආගමික වතාවත් ඉටු කළහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

මාර්තු 17 වැනිදා පළාත් පාලන ආයතනවලට මහජන නියෝජිතයෝ තෝරාපත් කරගන්නා මැතිවරණය පැවැත්වෙනවා. මෙය ආණ්ඩුව ගෙදර යවන්න පුළුවන් මැතිවරණයක් නොවෙයි. සමහරු මෙයට රටේ ආණ්ඩුව ගෙදර යවන්න තබන පළමු වෙඩි මුරය කියලා නම් කළොත් ඉවරයි. ආණ්ඩුව ගෙදර යවන්න මැතිවරණයක් එන්න තව කල් තියෙනවා.අපිට මැතිවරණ ගැන කථා කර කර ඉන්න වේලාවක් නෑ. අපිට දැන් තිබෙන්නේ රටේ දියුණුව, සංවර්ධනය ගැන කථා කරන්නයි. අද අපේ රටේ ජනතාවට ඕනෑම තැනක බියෙන් හා සැකෙන් තොරව යන්න, එන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා. නිදහස ලැබිලා තිබෙනවා.

කොටි ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ , යකඩ සපත්තු පාලනය අපි නිමා කළා. කොටින් පරාජයට පත් කළා. අද රටේ ජනතාවට නිදහස ලැබිලා තිබෙනවා. අපි ඒ දේ ඉටු කෙළේ බොහෝ බලපෑම් මැදයි. අපිට එරෙහිව විවිධ අභියෝග, බලපෑම් ආවා. අපේ ගමන වළක්වන්න. අපි ජනතාවගේ නිදහස උදා කිරීම, රට නිදහස් කර ගැනීම අංක එකට තබා ඒ අභියෝග, බලපෑම්වලට නොබියව මුහුණ දුන්නා. අද විපක්‍ෂයේ අය දේශපාලනය කරන්නේ මේ රටේ ජනතාව සමඟ නොවෙයි. ඔවුන් දේශපාලනය කරන්නේ පිටරටවල්වලට උවමනා විදිහටයි. අපි මානුෂීය මෙහෙයුම් ක්‍රියාත්මක කරපු කාලේ මානව හිමිකම් කඩ උනාලු. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කළාලු කියා ඔවුන් දැන් තොරතුරු සොයනවා.

ලෝකය ඉදිරියේ අපිට එරෙහිව චෝදනා ගොනු කරනවා. යාපනයේ තරුණයෝ, අතුරුදහන් වුණා. ඒ අයට මොකද වුණේ කියා දේශප්‍රේමීන් කියා ගන්නා පක්‍ෂයක් දැන් අහනවා. මේවා සේරම සිදු කරමින් ඔවුන් වලි කන්නේ අපිව පෝරකයට යවන්නයි. ඒවාට මේරටේ ජනතාව කවමදාකවත් ඉඩ ලබා දෙන්නේ නැති බවට අපිට විශාල විශ්වාසයක් තිබෙනවා. අපි බලයට පැමිණිදා පටන් මානුෂීය මෙහෙයුම් තිබෙන කාලයේදීත් රටේ සංවර්ධන කටයුතු සමාජ සුබසාධන කටයුතු සිදු කළා. අපි බලයට එන කොට දවසකට පැය තුනක්, හතරක් විදුලිය කපනවා. පාරවල්, පාසල්, රෝහල්වල ප්‍රමාණවත් දියුණුවක් නෑ.

 ජනපති රැස්වූ පිරිස ඇමතූ අයුරු.

ජායාරූප-කමල් ජයමාන්න

අපි ආ සැටියේම යටිතල පහසුකම් දියුණු කරන්න වැඩපිළිවෙළ සකස් කළා. කියන්න සන්තෝෂයි අද කිසිම දවසක විදුලිය කපන්නේ නෑ. අපේ රටේ මාර්ග පද්ධතිය නවීකරණය කළ යුතුයි. අපි ප්‍රධාන මාර්ග ඔක්කෝම වැඩිදියුණු කරන්න පටන් ගත්තා. වැඩපිළිවෙළ සකස්කළා. අධිවේගී මාර්ග, හැදුවා. ඒ විතරක් නොවෙයි ග්‍රාමීය මාර්ග කොන්ක්‍රීට් කරන්න පටන් ගත්තා. මීට ඉස්සර ගමේ පාරට දැම්මේ බොරළු අපි ඒ ක්‍රමය වෙනස් කළා. බොරළු දානවා. ආයේ වැස්සක් ආවිට සෝදාගෙන යනවා. මේක විශාල මුදලක් නාස්ති වෙන වැඩක්. අපි ඒවා නතර කිරීමට ක්‍රියා කළා. අපි වරායන් පහක් එකවර හදන්න පටන් ගත්තු ආණ්ඩුවක්. මේ රටේ ඉතිහාසයේ එහෙම ආණ්ඩුවක් තිබිලා නෑ. වැව් අමුණු හදනවා. මහා වාර්ග යෝජනා ක්‍රම පටන් ගත්තා. ගොවිතැනට අවශ්‍ය ජලය ලබා දෙනවා.

පළාත් සභා මාර්ග ටික ටිකක් වැඩිදියුණු කිරීම ප්‍රමාද වුණා. අපි දැන් ඒවාත් දියුණු කරන්න වැඩ ආරම්භ කර තිබෙනවා. කඩිනමින් පළාත් මාර්ගත් අපි සකස් කර දෙනවා. අපි, රටේ පාලන බලය ලබා ගන්නා විට ඒක පුද්ගල ආදායම ඩොලර් 1000ට අඩුයි. අවුරුදු 55ක් තිස්සේ අපේ රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 1000ට අඩුවයි තිබුණේ. අපි 2005 ආරම්භ කළ ආර්ථික වැඩපිළිවෙළ නිසා ගත වූ පස් අවුරුද්ද ඇතුලත ඒක පුද්ගල ආදායම ඩොලර් 2250 ඉක්මවුවා. අපේ ඉලක්කය ඩොලර් 4000 සීමාවට යෑමයි. අපි අලුතින් ගෘහ ආර්ථික ඒකක දස දහසක් ගොඩනැගීමේ ජාතික වැඩපිළිවෙළ ලබන 12 වැනිදා ආරම්භ කරනවා. සෑම ගෙදරකම ගෙවත්ත එළවළු , පලතුරු වලින් පිරි තැනක් බවට පත් කිරීමට අපි කටයුතු කරනවා.

දැන් රටේ විශාල දියුණුවක් සිදු වී තිබෙනවා. ඕනෑම ගමක තිබෙන්නේ උළු සෙවිලිකළ ගෙවල්. පොල් අතු සෙවිලි කළ නිවාසයක් දෙකක් තිබෙන්න පුළුවන්. එදා ගම්වල සෑම ගෙදරකම ගෙවත්තක් තිබුණා. ගෙදර කෑමට අවශ්‍ය රම්පේ, කරපිංචා, එළවළු, පලතුරු ටික වත්තේම තිබුණා. ගෙදර පොල් අතුවහපු එකක් වෙන්න ඇති. නමුත් ! ගෙවත්ත සම්පූර්ණ එකක් වුණා. අද ගෙදර වහළේ උළු ගෙවත්තේ පලතුරු , එළවළු ගස් නෑ. ඒකයි ඇති වුණ වෙනස. අපි ගෙවත්ත වාගේම නිවසත් වෙනස් කරලා ස්වයංපෝෂිත ගෘහ ආර්ථික ඒකකයක් හදන්න ඕනෑ. සෑම බිම් අඟලකම වවන්න ගමේ ජනතාව උනන්දු කරවන්න ඕනෑ. ගෙදර කෑමට උවමනා මිරිස් ටික, එළවළු ටික ගෙවත්තෙන්ම සොයා ගන්න පුළුවන් වැඩපිළිවෙළකට අපි යා යුතුයි.

ගෙදර ස්වයංපෝෂිත නම් අපේ ජීවන වියදම අඩු කර ගත හැකියි. අපි ඒ අරමුණ ඉලක්කය ඇතිවයි අපේ දිවිනැ¼ගුම ජාතික වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන්නේ. ලංකාවේ කිතුල් ගස් ලක්‍ෂ 8ක් තිබෙනවා. මේවායින් අපිට කිතුල් හකුරු කිතුල් ,පැණි නිපදවා ගන්න පුළුවන්. නමුත් නීතියෙන් ඊට ඉඩක් ලැබිලා නෑ. අපි සුද්දාගේ කාලේ දාපු නීතිරීතිවලට යටත්ව තවත් කල් සිටිය යුතු නෑ. සුද්දෝ පිටරටින් ඒ අයගේ නිෂ්පාදන මෙහාට ගෙන එන්නට උවමනා නිසා කිතුල් ගස් මදින්න ඉඩ දුන්නේ නෑ. අපේ අයටත් ඉතින් ඉඩ දුන්නොත් සීමාවක් නැනේ. ( සභාවේ හිනා ) නමුත් ? ඒ කොයි හැටි වෙතත් දේශීය කර්මාන්තයක් ලෙස කිතුල් නිෂ්පාදන සිදුකර ගන්න ඉඩ දුන්නාට කමක් නෑ කියන තැනයි මම ඉන්නේ.

ගෘහ ආර්ථික දියුණුවට එක් අංශයක් ලෙස ඉබේ වැවිලා තිබෙන මේ කිතුල් ගසේ ප්‍රයෝජන ගන්න මම අවසර දෙන්න සූදානම්. පොලීසියටත් කියනවා කිතුල් ගස් මඳින අයට නීතියෙන් කටයුතු කරද්දී ලිහිල්වීමක් ඇතිව ක්‍රියා කරන්න කියලා. අපි 2010 ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වුණ වේලාවේ සමහරු හාල් හැංගුවා. තොග පිටින් ගෙනත් හංගලා රුපියල් 110ට කිලෝවක් විකුණුවා. මේවායේ මිල ඉහළ යෑමට කූට ලෙස ක්‍රියා කළා. අදත් සමහරු බඩු හංගලා වෙළෙඳපොළේ හිඟයක් මවලා මිල ඉහළදාන්න හදනවා. අපි ඒවා පරාජයට පත් කළ යුතුයි.

එළවළු , පලතුරු මිල ටිකක් වැඩි වුණහාම ගොවියාට හොඳයි. මම බුත්තල දී ගොවියෙකුගෙන් ඇහැව්වා දැන් මිරිස් කීයද? සරුද? කියලා එයා කිව්වා මිරිස් රුපියල් 600ට දුන්නා. හොඳයි කියලා. ඉතින් දැන් සෑම බෝගයකම මිල වැඩිවෙලා. ජනතාවගේ ආදායම් වැඩි වෙලා තිබෙන්නේ. රබර්, තේ, පොල් , කරාබු ආදායම් ඉහළ ගිහින් තිබෙන්නේ. රෑ හොරෙන් රබර් කිරි කපන තරමට රබර් මිල ඉහළ ගිහින් කියා මට ආරංචියි. අපි ගොවි ජනතාවට වාසි ලැබෙනවාට කැමැති පිරිසක්. අපේ අය අද තම තමන්ගේ පිරිසම මනාප පොරයට වැටිලා. ඒක හොඳ ;දයක් නොවෙයි. කවුරුත් සමඟියෙන් බුලත් කොළයට වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්න කැපවී කටයුතු කරන්න ඕනෑ. අපි රට දියුණු කරන්න සූදානම්. ගෘහ ආර්ථික ඒකක දස ලක්‍ෂයක් හදනවා. එහි නියමුවෝ වෙන්නේ ඔබයි. ඔබ සැමට සුබ අනාගතයක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෑගල්ල ආසන ප්‍රධාන සංවිධායක සහ ජාතික උරුමයන් පිළිබඳ කැබිනට් ඇමැති ආචාර්ය ජගත් බාලසූරිය මහතා - ජනාධිපතිතුමාගේ දූරදර්ශී නායකත්වයෙන් අද අපේ රට දැවැන්ත ආර්ථික වර්ධන පිම්මක් පැනීමට මුල් පියවර තබා තිබෙනවා. අපේ රටේ අවුරුදු 30 ක් තිස්සේ පැවැති මහා විනාශකාරී යුද්ධය නිමා කිරීමට අතිගරු ජනාධිපතිතුමාට හැකියාව ලැබුණා. ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරාජයට පත් කිරීම නව සංවර්ධන, දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ මූලික පියවරයි. අපි ඒ පියවර තබා තිබෙනවා. අපි අද දවසේ කළ යුත්තේ පශ්චාත් යුධ සමය ඉතා හොඳින් කළමනාකරණය කොට දෙපයින් නැගී සිටීමයි. එළැඹ තිබෙන ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය එක්සත් ජනතා නිදහස් සන්ධානය නිසැක විජයග්‍රහණයක් ලබනවා. අපේ මහජන නියෝජිතයෝ වැඩිවන තරමට රටේ අනාගතය දීප්තිමත් කරවන වැඩපිළිවෙළ වේගවත් වෙනවා.

ග්‍රාමීය ආර්ථික කටයුතු සංවර්ධන ජ්‍යෙෂ්ඨ ඇමැති අතාවුද සෙනෙවිරත්න මහතා - අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අද අපේ රට ආසියාවේ ආශ්චර්යමත් රට බවට පත් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ වී තිබෙනවා. අපි කොහොමද ? ආසියාවේ ආශ්චර්ය බවට පත් වන්නේ කියා මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කොට තිබෙනවා. අපි ගුවන්, නාවුක, බලශක්ති, දැනුම ඒවාගේම වෙළෙඳ යන අංශ පහෙන් ආසියාවේ ප්‍රමුඛයා බවට පත්වීමට ඉලක්ක කොට තිබෙනවා. ඒ ඉලක්කය අපි ජයගත යුතුයි. අපිට එය ජයගත හැකියි. අපේ රටේ මාර්ග, විදුලිබල, පානීය ජලය, පාසල්, රෝහල් වැනි අංශවල විශාල දියුණුවක් පසුගිය අවුරුදු පහේ සිදුවුණා. ඒ දියුණුව සමඟින් ජනතාවගේ ආදායම් ඉහළ ගියා. අද රටේ ඕනෑම කෙනෙකුට ඕනෑම තැනකට නිදහසේ යන්න එන්න පුළුවන්කම තිබෙනවා. ඒ මහා කාලකන්නි යුද්ධය නිමා කළ නිසායි යුද්ධය නිමාවීමත් සමඟ අපේ රටට නව ආයෝජකයෝ, සංචාරකයෝ එන්න පටන් ගත්තා. අපි දැන් ගෘහ ආර්ථික ඒකක දශලක්ෂයක් හදන වැඩපිළිවෙළ ආරම්භ කිරීමටයි යන්නේ.

සෑම ග්‍රාම නිලධාරි වසමකින්ම පවුල් 100 ක් තෝරාගෙන ඒ අයට ගෙවත්ත වැඩිදියුණු කර ගන්න කර්මාන්තයක් ආරම්භ කරන්න ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට උදව් කරනවා. රජයෙන් සෑම පවුලකටම රුපියල් දහදහක් ලබාදෙනවා. ජනාධිපතිතුමාගේ නායකත්වය ඉතාම ඉහළින් මේ රටේ ජනතාව පිළිගන්නවා. එදා එතුමාට විරුද්ධව ඡන්දය ලබාදුන් පක්ෂ, කණ්ඩායම් පවා අද එතුමා වටා ඒකරාශී වී තිබෙනවා. අපිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 118 යි තිබුණේ.  දැන් එය 161 දක්වා තුනෙන් දෙකකටත් එහාට ඉහළ ගිහින් තිබෙනවා. ඒ මේ නායකයාගේ තිබෙන දක්ෂතාවය නිසායි. අද රටේ, ලෝකයේ ඕනෑම තැනක දියුණුවක් වෙන්න නම් අනිවාර්යෙන්ම පවුල, ගම, ශක්තිමත් කළයුතුයි කියන මතයේ ඉන්නේ. අපිට වඩා ධනවත් රටවල් පවා ගෘහ ඒකක දියුණු කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කොට තිබෙනවා. අපි ඒ සැමට වඩා සාර්ථක සැළසුම්ගත වැඩපිළිවෙළක් ආරම්භ කළා.

සබරගමු පළාත් ආණ්ඩුකාර වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතා - මම තිස්තුන් අවුරුද්දක් නොකඩවාම එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදිලා අංක එක වෙලා පාර්ලිමේන්තුවේ හිටියේ. මැති ඇමැතිකම් ගණනාවක් දැරුවා. රටේ නායකයෝ රැසක් එක්ක සේවය කළා. ඒ සියලු නායකයින්ට වඩා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා රටට, ජනතාවට සේවය කළා කියා නොබියව කියන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂය ශූර වීර දක්ෂ නායකයෝ ගණනාවක් හිටිය උදාර පක්ෂයක්. අපේ පක්ෂයේ හිටපු කෙනෙක් තමයි එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් පවා. එතුමා 1956 දී මහා විශාල පෙරළියක් කළා. ආර්ථික, ආගමික හා සංස්කෘතික අංශ සියල්ලන්ගේම පෙරළියක් කළා. එදා කලිසම ඇදපු අපි කලිසම ඔළුවෙන් ගැලෙව්වේ එතුමාගේ සංකල්ප මත ක්‍රියා කිරීමට පෙළැඹුණු නිසායි.

අද වසර 2011 යි. 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය යෙදිලා තිබෙන්නේ මේ අවුරුද්දෙයි. ඒවා නිකම් අහම්බෙන් යෙදෙන දේවල් නොවෙයි. රටේ වාසනාවටයි, උදාර නායකයෙකුගේ් කාලයේදී උදාවන්නේ. අපේ රට පුදුමාකාර දුක් වින්ද රටක්. රට දුක් වින්දා දැන් හොඳටෝම ඇති. මහා විනාශකාරී යුද්ධය නිමා කළා කියන්නේ රට නිදහස් වුණා කියන එකයි. ඒක කරන්නට විධායක ජනාධිපතිවරු 4 දෙනෙකුට බැරිවුණා. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ දේ කළා. දේශපාලන වශයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා තරම් බැට කාපු කෙනෙක් ලංකාවේ තවත් නැතිව ඇති. එක්සත් ජාතික පක්ෂයෙන් හොඳටම බැට කාපු කෙනෙක් තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා. නමුත් එතුමා ඒවා සියල්ල අමතක කරලා රටේ දියුණුවට, සංවර්ධනයට රට ගැන සිතලා අද එක්සත් ජාතික පක්ෂයේ විශාල පිරිසක් එකතු කරගෙන සිටිනවා. එහේම කරන්න පුළුවන්කම තිබෙන්නේ පපුවේ මහා තෙත් ගතියක් මහා කරුණාවක් තිබෙන කෙනකුට පමණයි. එතුªමා කුළුණු මෙත් සිතක්, හදවතක් තිබෙන උදාර නායකයෙක්.

ලංකා සම සමාජ පක්‍ෂයේ නායක සහ විද්‍යා හා තාක්‍ෂණ ජ්‍යෙෂ්ඨ ඇමැති මහාචාර්ය තිස්ස විතාරණ මහතා - අද බඩු මිල වැඩියි, විරැකියාව ඉහළයි, ඒ නිසා මේ ආණ්ඩුවට පාඩමක් උගන්වන්න කියා සන්ධානයට ඡන්දය නොදීමට හෝ ඡන්දය වෙනත් කෙනෙකුට ලබාදීමට හෝ කෙනෙකු සිතන්නට පුළුවන්. නමුත් එසේ කිරීමෙන් බඩු මිල අඩු වන්නේවත්, රැකියා ලැබෙන්නේවත් නෑ. මොකද? අපේ ආණ්ඩුවේ මේ ප්‍රතිපත්තිය නොවන්නට, බඩු මිල මීටත් වඩා වැඩි වෙන්නට ඉඩ තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය සෑම භාණ්ඩයක්ම මෙහේ නිෂ්පාදනය නොකර පිටරටින් ගෙන්වා ගැනීමයි. පිටරටවල මිල ඉහළ යනකොට මෙහේ බඩු මිල නිකම්ම ඉහළ යනවා. දැන් ලෝකේ සෑම රටකම ආහාර අර්බුදයක් මතු වෙලා. ඉන් මිදීමට හොඳම මඟ තමතමන් වගාව දියුණු කිරීමයි. අපි විදාතා මධ්‍යස්ථාන ජාලයක් රට පුරා ආරම්භ කළා. අපේ ගම්බද තරුණ දරුවන්ට නව තාක්‍ෂණය ඉගැන්නුවා. ඔවුන්ගේ හැකියාවන් ඉහළ නැංවුණා. ගම් දනව් ආලෝකමත් කරන්න දැනුම ඇති මානව සම්පතකට පුළුවන්. රටක් දියුණු කරන්න නම් අපි කැපවීමෙන් වැඩ කළ යුතුයි. එවිටයි සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ගලිගමුව ආසන ප්‍රධාන සංවිධායක හා විදුලි සංදේශ සහ තොරතුරු තාක්‍ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා - අද එක්සත් ජාතික පක්‍ෂයටත්, ජනතා විමුක්ති පෙරමුණටත් සටන් පාඨවල හිඟයක් තිබෙනවා. මම පාර්ලිිමේන්තුවේදී එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රබලයකුගෙන් ඇහැව්වා, “කොහොමද? ඡන්දය මෙදා දිනන්න පුළුවන්ද? කියා. ඒයා කිව්වා දිනන්න බෑ නමුත්! අපිට වෙන ගේමක් තියෙනවා. අපි ඒකටයි මේ ඡන්දය යොදා ගන්නේ කියා. අද එක්සත් ජාතික පක්‍ෂයට තිබෙන “ගේම” පක්‍ෂ නායකත්වයට තිබෙන සටනයි. අපිට ඒ අය සමග තරගයක් නෑ. රටේ ප්‍රධාන විපක්‍ෂයට ඡන්ද දිනන්න හිතකවත් නෑ. ජනතා විමුක්ති පෙරමුණ අද මොනවාද කියන්නේ. රැවටිල්ලට නිමාවක්ලු! මොන බොරු කථාද ඒවා. කවුද මේ රටේ ජනතාව රැවැට්ටුවේ. ජනතා විමුක්ති පෙරමුණ අවස්ථා දෙකකදීම මේ රටේ ජනතාව, තරුණ තරුණියෝ රැවැට්ටුවා. එදා 1971 දී රට නංවන වැඩ පිළිවෙළක් ඇතිව ආ ලාබාල ආණ්ඩුවට එරෙහිව වැඩ කළා.

88 / 89 නැවත වතාවක් මේ රටේ තරුණ තරුණියෝ 60,000ක් මරා දැමීමේ තැනට වැඩ කළා. අපිට ඒ අය සමගත් සටනක් නෑ. තව ඉන්නවා එක එක්කෙනා මට්ටු කරන්න ආ කණ්ඩායම්. තව ඉන්නවා එක එක්කෙනාට උදව්වට ආ කණ්ඩායම්. මේ කණ්ඩායම් අතරයි, අපි අතරයි තරගයක් ඇත්තට ම නෑ. නමුත්, අපි මේ ඡන්දය සටනක් නෑ කියලා සිතන්නත් හොඳ නෑ. එතකොටත් සටන මොට වෙනවා. සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති අධිනීතිඥ ලලිත් දිසානායක මහතා - අද එක්සත් ජාතික පක්ෂයයි ජනතා විමුක්ති පෙරමුණයි රටේ නැති බිල්ලෝ මවන්න උත්සාහ කරනවා. අපේ රටේ ත්‍රස්තවාදය නෑ. මානව හිමිකම් කඩනවා කියා කෑගහනවා. අපිට බොහෝම හොඳට මතකයි එදා 88/89 කාලේ මැතිවරණවලට නාමයෝජනා දීලා ඇවිත් මැතිවරණ රැස්වීමක් තියන්න එක්සත් ජාතික පක්ෂය ඉඩ දුන්නේ නෑ. මැරයෝ ඇවිත් අපිට ගහනවා. රැස්වීම් තිබෙන තැන්වලට වෙඩි තියෙනවා, මරනවා.

ජනතා විමුක්ති පෙරමුණත් එහේමයි. මුලින්ම ඡන්දය දාන්න ගිය 10 දෙනාගේ අත කපනවා. වෙඩි තියලා මරනවා. මරණයවත් හරියට කරන්න ඉඩ දුන්නේ නෑ. එහේම කරපු අය දැන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. එක්සත් ජාතික පක්ෂයයි, ජනතා විමුක්ති පෙරමුණයි ඉතිහාසයේ හැමදාම කළේ ප්‍රජාතන්ත්‍රවාදය වළපල්ලට යැවීමයි. එදා අපිට ඡන්දයට ඉදිරිපත් වූ දවසේ ඉඳලා ජනතා විමුක්ති පෙරමුණේ අය තුණ්ඩු කෑලි එවනවා. නාම යෝජනා අස්කර ගන්න. ඡන්දය ඉල්ලන්න එපා. එක්සත් ජාතික පක්ෂයේ අද ජාතික මට්ටමේ නායකයෝ නෑ. හිටපු ඔක්කෝම අය අපි සමඟ එකතු වුණා. අද අතිගරු ජනාධිපතිතුමා සියලුම දේශපාලන පක්ෂ සමඟ මිත්‍රශීලී, සංවාදශීලී දේශපාලන කතාබහක් කරනවා. ටී. එන්. ඒ. එක සමඟත් දැන් කතාබහ ආරම්භ කොට තිබෙන්නේ . ඒ එතුමාගේ තිබෙන දේශපාලන පරිණතභාවය නිසයි. ගම , නගරය දියුණු කරන්න නියම නායකයා අපේ සන්ධානයෙන් බිහිකර ගන්න ජනතාව පෙළගැසී සිටිනවා.

පශු සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැති අධිනීතිඥ එච්. ආර්. මිත්‍රපාල මහතා - ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ මෙතෙක් බිහි වූ ශ්‍රේෂ්ඨම ජන නායකයා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බව දැනටමත් ඉතිහාස පොතේ සටහන් වී අවසන්. එය ඉවත් කිරීමට කිසිවෙකුට බෑ. එදා ලංකාවේ ලාබාලම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස 1970 දී මහින්ද රාජපක්ෂ මැතිතුමා පත්වුණා. එතුමා එදා සිට අද දක්වා ආ ගමන් මඟ මහා පුදුමාකාර එකක්. එතුමා වැනි දේශපාලන අත්දැකීම් සහිත චරිතයක් අපේ දේශපාලන ඉතිහාසයේ ම නෑ.

ඔබ සැම දන්නවා රටක පවතින සම්පත් සීමිතයි. ජනතාවගේ අවශ්‍යතා අසීමිතයි. මේ නිසා සියලු දෙනාගේම උවමනා ඉටු කිරීමට මනා කළමනාකාරීත්වයක් අවශ්‍යයයි. එය තිබෙන්නේ සන්ධානයේ අතේයි. අපේ ආර්ථික ප්‍රතිපත්තිය ඉතාම හොඳ එකක් බව ඔප්පු වී තිබෙනවා. අද තේ, රබර්, පොල්, අනිකුත් වැවිලි බෝගවල ආදායම් ඉහළ ගිහින් තිබෙනවා. මිල වැඩි වී තිබෙනවා. අපේ ගම්පළාත්වල එදා රබර් ගස් ගලවා ඉවත් කිරීමටයි හිටියේ. දැන් රබර් මිල ඉහළ ගිහින්. දැන් රෑට හොරෙන් රබර් කිරි කපනවා. දැන් රබර් ගස්වලින් එන කිරි ටිකකට “දියමන්තිවල” වටිනාකමක් එක් වී තිබෙනවා. අපි ආණ්ඩුවයි, රජයයි කියන සංකල්ප දෙක හඳුනා ගන්න ඕනෑ. ආණ්ඩුව කියන්නේ පාලක පක්ෂයයි. පාලක පක්ෂය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ රජයයි. රජයේ නිලධාරීන් ආණ්ඩුවේ පිළිවෙත මනාව හඳුනා ගත යුතුයි. එවිට රටට වේගවත් දියුණුවක් ජනතාවට හොඳ අනාගතයක් උදා කළ හැකියි.

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා - කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාව අද පමණක් නොවෙයි හැමදාමත් ඉන්නේ මැතිවරණ දිනන්න පුළුවන් කියන ජයග්‍රාහී මානසිකත්වයෙන්. මට ඒක ඉතාම පැහැදිලිව තේරුම් ගියේ මෙවර මැතිවරණයට තරඟ කරන අපේ සන්ධානයේ අපේක්ෂක, අපේක්ෂිකාවෝ තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සිටි නිසායි. මේ සම්මුඛ පරීක්ෂණයට ආව පිරිස බොහෝම දැන උගත්, බුද්ධිමත් පිිරිසක් වුණා. ඒවාගේම ව්‍යාපාරික අංශවල අය සිිටියා. ඉතාම හොඳ කණ්ඩායමක් සෑම ආසනයකින්ම මැතිවරණයට ඉදිරිපත් කර තිබෙන්නේ. තමුන්නාන්සේලා පොඩි පොඩි ප්‍රශ්න අමනාප තිබෙනවා නම්, ඒවා ඉවත් කර අද සිට බුලත් කොළයට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගන්න සටනට කැපවෙන්න.

මම දිස්ත්‍රික් සමුළුවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සහ ඛණිජ සම්පත් සංවර්ධන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ආර්. පී. සූරියප්පෙරුම, කණක හේරත්, සබරගමු පළාත් මහ ඇමැති මහීපාල හේරත්, පළාත් අමාත්‍යවරුන් වන ශ්‍රී ලාල් වික්‍රමසිංහ, පළාත් සභා මන්ත්‍රීවරුන් වන උදයකාන්ත ගුණතිලක, ආනන්ද මිල්ලන්ගොඩ, පරාක්‍රම අතාවුද, හර්ෂ සියඹලාපිටිය, සමන් ජයසිංහ, ඉමිතියාස් කාදර්, පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරු මහජන මන්ත්‍රීවරු ඇතුළු සන්ධානයේ හවුල්කාර දේශපාලන පක්ෂවල නියෝජිතයෝ විශාල පිරිසක් එක්ව සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා