තෙල් මිල ගැන කටකතා බොරු

තෙල් මිල ගැන කටකතා බොරු

ඇමැති සුසිල් ප්‍රේමජයන්ත්

තෙල් මිල ඉහළ දැමීමට රජය කටයුතු කරන බවට විපක්ෂය ගෙන යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවයක් නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි. තෙල් මිල ඉහළ නැංවීම හා තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරන බව පවසමින් විපක්ෂය දේශපාලන වාසි ගැනීමේ කුමන්ත්‍රණයක නියැලී සිටින බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ඉන්ධන ලීටරයක් සඳහා රුපියල් 10 ක බදු සහනයක් ලබාදීමෙන් තෙල් මිල ඉහළ නොදැමීමට රජය පියවර ගෙන ඇති බවත් එක්සත් ජාතික පක්ෂ රජය කාලයේ කරු ජයසූරිය මහතා තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට ගත් උත්සාහය හා එය වළකා දැමීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය ගත් ක්‍රියාමාර්ග පිළිබඳව පෙන්වාදීමත් නිසා විපක්ෂයේ තෙල් සංස්ථාව සම්බන්ධ සටන් පාඨ ඉවත්ව ඇති බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ලෝක වෙළෙඳ පළ ඉල්ලුම සැපයුම මත තෙල් මිල තීරණය වන බවත් ටියුනීසියාව, ඊජිප්තුව, ඇල්ජීරියාව, යේමනය, හා සූවස් ඇළ ආශ්‍රිත තෙල් නිපදවන රටවල ඇතිවන ඕනෑම තත්ත්වයක් තෙල් මිලට බලපාන බවත් පෙන්වා දෙන ඇමැතිවරයා දැනට ලිබියාවේ නිර්මාණය වී ඇති තත්ත්වය සමතයට පත්වුවහොත් තෙල් මිල පහළ යා හැකි බවත් කීය. ඉදිරියේදී ඉන්ධන ඇණවුම් කිරීමේදී එහි වාසිය ලබා ගත හැකි බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා