පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ජනපති අතින් ජනතා අයිතියට

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ජනපති අතින් ජනතා අයිතියට

රුපියල් කෝටි 170ක වියදමින් ඉදි කෙරුණු පෑලියගොඩ අති නවීන මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය මෙම 26 දා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වීමට නියමිතය. ශ්‍රී ලංකා රජය සහ ආසියානු සංවර්ධන බැංකුව මුල්‍ය ප්‍රතිපාදන සපයා ඇති මෙම වෙළෙඳ සංකීර්ණය හෙක්ටයාර 3.17ක භූමි භාගයක පිහිටා ඇත. මෙම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ තොග වෙළෙඳ මධ්‍යස්ථානය කරා එන වාහන පහසුකම් ස්ථාපිත කිරීම හැසිරවීම සම්බන්ධයෙන් කටයුතු කරන පවර් ඒෂියා ඉන්ටර්නැෂනල් සමාගම සහ ලංකා ධීවර සංස්ථාව ඊයේ (07) ඒ සම්බන්ධයෙන් වූ ගිවිසුමකට අස්සන් තබන ලදී.

ලෝකයේ ඇති ඉහළම තාක්‍ෂණය යොදා ගනිමින් සැකසෙන පරිගණක පද්ධතියක් මගින් මෙම වෙළෙඳ පොළ තුළ වාහන ගාල් කිරීම හැසිරවීම සිදුකරන අතර එයට ඇතුළු වීමේ සිට පිටවන තෙක් වාහන සම්බන්ධයෙන් වූ ක්‍රියාකාරකම් පරිගණක මගින් ඉටුකිරීම විශේෂත්වයකි. ජංගම දුරකථනයකින් පවා මෙම වාහන නවතා තැබීම් පිළිබඳ නිරීක්‍ෂණය කළ හැකි අතර වෙළෙඳපොළ කරා එන ලොරි ඇතුළු වාහන තදබදයක් ඇති නොවන සේ කටයුතු කිරීමට මෙම සමාගම පියවර ගෙන ඇතැයි එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි චමත් ද සිල්වා මහතා පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා