පානදුර ප්‍රාදේශීය සභාව අපේක්ෂක ලැයිස්තුවකට හොරෙන් නම දාලා

පානදුර ප්‍රාදේශීය සභාව අපේක්ෂක ලැයිස්තුවකට හොරෙන් නම දාලා

ගොරකානේ අයෙක් පොලිසි යයි

කිසිදු දැනුම්දීමකින් තොරව තම අස්සන හොරට යොදා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග වදින කණ්ඩායමට තමා අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කර ඇතැයි පානදුර ගොරකානේ පදිංචි 23 හැවිරිදි ඩබ්ලිව්. ඒ. ලහිරු චතුරංග නැමැත්තා පොලිසියට හා මැතිවරණ කාර්යාලයට පැමිණිලි කර තිබේ. කිසිදු පක්ෂයකින් තරග කිරීමට ඉදිරිපත් වී නොමැති තමන්ට අපේක්ෂක හැඳුනුම්පත ලබා ගැනීමට එන ලෙස මැතිවරණ කාර්යාලය මගින් කළ දැනුම්දීමකින් පසු තමා අපේකෂකයකු බව දැනගත්තේ යැයි හෙතෙම පොලිසියට ප්‍රකාශ කර තිබේ.

කළුතර දකුණ, පානදුර උතුර (කෙසෙල්වත්ත) හා කළුතර මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත මේ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කර ඇත. ලහිරු චතුරංග හා ඔහුගේ මාමා වන සුදත් මැන්ඩිස් මහතා ඒ පිළිබඳ දිනමිණට අදහස් දක්වමින් මෙසේ පැවැසීය. එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමැති පක්ෂයකින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයක 16 වැනි අපේක්ෂකයා ලෙස ලහිරුගෙ නම ඉදිරිපත් කර ඇති බව අපට දැනගන්න ලැබුණා.

අපේක්ෂක හැඳුනුම්පත ලබා ගැනීමට එන ලෙස ලිපිය ලැබීමෙන් පසු කළ සොයා බැලීමේදී මේ වංචාව හෙළිවුණා. අපි මේ පිළිබඳ කළුතර ජ්‍යෙෂ්ඨ සහකාර මැතිවරණ කොමසාරිස් රසික පීරිස් මහතාට ලිඛිතව පැමිණිලි කළා. ඔහු අපට කිව්වේ මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දී ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට උපදෙස් ලබා ගන්නා බවයි. හොරට අස්සන යොදා ඉදිරිපත් කළ අපේක්ෂක නාම යෝජනා පත්‍රය මැතිවරණ කාර්යාලය මගින් සම්මත වී තිබීම පුදුම සහගත බවත් ජාතික හැඳුනුම්පත නොමැතිව එසේ වූයේ කෙසේද යන්න ගැටලුවක් බවත් ඔවුන් වැඩිදුරටත් පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා